2018 මැයි 19 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

පහුගිය දවසක සැමරුවා මදර්ස් ඩේ එක. මම දැක්කා සමහර අම්මලට කේක්, මල්, තෑගි යවපු දරුවෝ. එහෙම යවපුවා දැක්කේ ගෙවල් වල ගිහින් නෙමෙයි, හැම මඟුලම දාන ෆේස් බුක් එකෙන්. සමහර අය අම්මව බදාගෙන  ‍ෆොටෝ දාලා තියෙනවා. සමහර අය අම්මට උම්මා දිදී ‍ෆොටෝ දාලා තියෙනවා. එක එක  ‍ෆොටෝ තිබ්බා. කොහොම හරි කමක් නෑ එදාට හරි අම්මව මතක් වුණ එක මදැයි.

ඔය ඔහොම මදර්ස් ඩේ එක සැමරුවට ඇත්තටම අපේ රටේ අම්මලා තරම් දුක් වින්ද අම්මලා ටිකක් මේ ලෝකෙත් නැතුව ඇති. ඇයි? මේ පොළොවට කතා කරන්න පුළුවන්නම් කියයි මේ අම්මලගේ දුක. මේ පොළොවේ බර ගත්තොත් වැඩියෙන්ම බර වෙලා තියෙන්නේ අම්මලගේ කඳුළුයි දරුවන්ගේ ලේයි නිසා. යුගයෙන් යුගය අවස්ථාවෙන් අවස්ථාව මේ පොළව කඳුළුයි, ලේයි උරාගත්තා.

88/89 කාලේ නැති වුණේ නැවුම් සශ්‍රීරීක  හදවත් තියෙන දරුවෝ. උන් අලුත් මතයක්, අලුත් දේශපාලන දර්ශනයක් ඇදැහැව්ව නිසා උන්ට උරුම වුණේ මරණය. හන්දියක් ගානේ ලයිට් කණුවල තරුණ ශරීර එල්ලුණා. සශ්‍රීරීක  මොළ, හදවත් ටයර් සෑයවල් අස්සේ අඟුරු වුණා. මේ අපේ රටේ දුප්පත් අම්මලගේ  දරුවෝ. අම්මලගේ චීත්ත අස්සේ හංඟන් හිටිය තරුණ තරුණියෝ ඇදන් ගියේ ඒ අම්මලගේ බර කඳුළු කැට පොළවට වැටෙද්දී. ඒ අම්මලා සති අවුරුදු ගණන් බලන් හිටියා ඒ දරුවෝ ආයි ගෙදර එනකල්. ඒත් උන් ආවේ නෑ. ඒ අම්මලා තවමත් කළු සුදු පොටෝවල දූවිලි පිහිද පිහිද උන්ගේ මතකය ආවර්ජනය කරනවා.

දකුණේ ඒ අඳුරු යුගය බොහෝම අමාරුවෙන් ඉවර වෙනකොට උතුරේ පටන් ගත්තා ආයි ලේ හලන්නයි කඳුළු හලන්නයි. දකුණේ කොල්ලන්ගේ දුප්පත්කමයි දරිද්‍රතාවය  නිසා බොහොමයක් කොල්ලෝ යුද හමුදාවට බැඳුනා. එක පැත්තකින් උන් ජීවත් වෙච්චි පැළ හදන්න. අනෙක් පැත්තෙන් දුප්පත් අම්මලව රකින්න. ඒත් අන්තිමට උන්ගේ මිනියවත් ගමට ආපු නැති යුගයක් තිබ්බා. නාපු මිනිය වෙනුවට ඉතිරි වුණේ අම්මලට පැන්ෂන් එකයි, පදක්කම් ටිකයි විතරයි. දරුවෙක් නැතුව මොකටද? හැබැයි මුළු රටක් උන්ව රණවිරුවන් කරලා උන්ගේ මරණයට වටිනාකමක් දුන්නට ඒ අම්මලට ආයි දරුවෝ ලැබුණේ නෑ. ලැබුණේ නොනවතින කඳුළු විතරමයි.

ඒ විතරක් නෙමෙයි දකුණේ කොල්ලෝ කැමැත්තෙන් ආමි එකට ගියාට උතුරේ කොල්ලෝ එල්.ටී.ටී.ඊ. එකට අරගෙන ගියේ බලෙන්. උදේට සුදු ඇඳුම ඇඳන් ඉස්කෝලේ ගිය පුංචි උන් හවස ගෙදර ආවේ ටී 56 තුවක්කුවකුත් කරේ එල්ලෙගෙන. උන්ගේ අම්මලත් පපුවට ගහගෙන දරුවෝ ගෙනියන්න එපා කියලා ගිනි ගහන වැල්ලේ බිම පෙරළුණත් උන්ට දරුවෝ ලැබුණේ නෑ. අන්තිමේදී ඒ අම්මලට දරුවන්ගේ මිනියවත් දකින්න හම්බුණේ නෑ. ඒ අම්මලට තමන්ගේ දරුවගේ මිනිය වෙනුවට ලැබුණේ  ‍දේශද්‍රෝහී  ලේබලය. උන්‍ට අදටත් අපේ උන් වෛරකරනවා. හැබැයි උනුත් අපිට වෛර කරනවා. කොහොම වුණත් ඒ හැලුනෙත් අම්මලගේ කඳුළු.

ඒ වගේම තමයි මෑතක වෙනත් දේශපාලන දර්ශනයක් ඇදැහුව උනුත්. උන්ටත් අත් වුණේ නන්නාඳුනන, අභිරහස් මරණ. එතනත් අම්මලට කඳුළු සහ ලේ විතරයි ලැබුණේ. ඒ විතරද ඉගෙන ගන්න කොල්ලෝ දේශපාලන මහ උන්දැලගේ ගෙවල් වල බැල මෙහෙවර කරලා, ඌ තමයි විශ්වාසවන්තම මිනිහා කියලා ආයුධයකුත් අතට දීලා එළියට දාපු උන්ටත් අවසානයේදී අත් වුණේ මරණය. උන්ව පාතලයෝ කරලා අන්තිමේදී උන්ව මර්දනය කරන්න දේශපාලකයෝම ස්පෙෂල් යුනිට් දාපු රටක්. අන්තිමේදී උන් තැන් තැන්වල ආයුධ හොයන්න ගිහින් වෙඩිකාලා මළා. අන්තිමේදී උන්ගේ අම්මලට ඉතුරැ වුණේ ලෝකෙන්ම ආපු අපවාද සහ කඳුළු විතරයි. හැබැයි ඒත් අම්මලා.

ඒ නිසා මේ රටේ අම්මලා එක එක කාලවලදී විවිධ සිද්ධින් වලින් පීඩාවට ලක්වෙච්ච ජාතියක්. සමහර අම්මලා ඒ පීඩාව දරාගන්න බැරුව කළු ගඟට පැන්න කාලයකුත් තිබ්බා. මේ ඔක්කොටම හේතුව කාලයෙන් කාලයට අයිසින් දාලා ගේන එකම අසූචි ගොඩ නිසා. මොන කැටයම් දාලා ගෙනාවත් ඇතුළේ තියෙන්නේ එකම දේ. මොකක්ද? ඒ අවුල් සහගත සිස්ටම් එක.ඒ සිස්ටම් එක ඇතුළේ දේශපාලන, සමාජීය, සංස්කෘතික, ආර්ථික කාරණා ඇතුළේ මේ දහසකුත් අම්මලා පීඩාවට පත් වුණා. සමහර අම්මලා බැන්ඳ මිනිහා නැතුව කණවැන්දුම් වුණා. ගොඩක් මේ රටේ අම්මලා පටාචාරාවරු, කිසාගෝතමීලා. හැබැයි ඒක වහගෙන ඉන්නේ. මේ සිස්ටම් එක නිසා අම්මෙක් කඳුළු නොහලපු ගේකින් අබ ගේන්න කිව්වොත් ගේන්න වෙන්නේ කනත්තෙන් විතරයි. ඒ තරම් මේ අම්මලා කඳුළු හලලා ඉවරයි.

හැබැයි මේ අම්මලගේ කඳුළු නොදන්න උන් ඒ අම්මලව වර්ග කරලා. හැබැයි මතක තියාගන්න උතුරෙත් දකුණෙත්, දෙහිඅත්තකණ්ඩියෙත් කොළඹ හතෙත්, සීලවන්තයගෙත් අපරාධකාරයගෙත් අම්මලා එකයි. උන්ට තියෙන්නෙ සීමාවක් නැති දරු සෙනෙහස විතරයි. ඒ නිසා අපි මදර්ස් ඩේ එක සමරන්න ඕනේ අපේ අම්මා එක්ක විතරක් නෙමෙයි. අපි හැමෝගෙම අම්මලා එක්ක. ඒක කරන්න මේ   ක්‍රමය වෙනස් කරන්න ඕනේ. එහෙම නොකළොත් හෙට දවසේ මගේ අම්මටත් මාව නැති වෙයි. ඇයත් සමහරවිට  ‍දේශද්‍රෝහී මවක් වෙයි. ඒ නිසා එන්න අපි හැමෝම එකතුවෙලා අපේ අම්මලට හිනාවෙලා ඉන්න පුළුවන් දවසක් උදාකරමු. අන්න එදාට අපි මදර්ස් ඩේ සමරමු. නැත්තන් එක දවසක් මේ දිනය සමරලා මව්වරැ දහස් ගණනක් අනෙක් දවස් ටිකේ අසරණ එක විතරයි වෙන්නේ.

මම
බ්‍රෝ