2018 මැයි 12 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

මේ කතාව පටන් ගන්න හිතුවේ පහුගිය දවසක ඇතිවෙච්චි සිද්ධියක් එක්ක. මතකනේ මහනුවර දිගන ඇති වෙච්ච සිංහල මුස්ලිම් කෝලහලේ. අන්තිමට සිංහල කොල්ලෙකුත් නැති වුණා. ඒවගේම මුස්ලිම් කොල්ලෙකුත් නැති වුණා. ඒ විතරද මේ කෝලහාලයට සම්බන්ධ වුණු තරුණයොත් තවම හිරේ.

හරි දැන් මේ සිද්ධියෙන් කවුද දින්නේ? සිංහල අය? නැත්තම් මුස්ලිම් අය? එහෙමත් නැත්තම් ආණ්ඩුව? නැත්තන් කිසිදේකට සම්බන්ධ නැති අපි? නෑ කවුරුත් දින්නේ නෑ. ලැබුවේ පරාජයක් විතරයි. දැන් බලන්න බීමත් පිරිසකගේ මෝඩ වැඩක් නිසා සිංහල කොල්ලෙක් මැරුණා. එහෙම මැරුණම ඒ කොල්ලට ඒ කොල්ලගේ ජීවිතේ නැතිවුණා. ඒ කොල්ලගේ මව්පියන්ට පුතෙක් නැති වුණා. සහකාරිට ප්‍රේමයක් නැතිවුණා. මරපු අයට හිරේ යන්න වුණා. ඒ අයගේ අම්මා, තාත්තා.. ඒ මිනිස්සුත් දැන් ඉන්නේ ගින්දරක. දැන් මේක අල්ලගෙන දිගන පැත්තේ හැම මුස්ලිම් ගෙදරකටම ගැහුවා. මුස්ලිම් පවුල් කීයක් පාරට වැටුණද? ඒ අස්සේ ශ්‍රවණ ආබාධිත මුස්ලිම් තරුණයෙක් නැති වුණා. මව්පියන්ට දරුවෙක් නැතිවුණා. ඒ පැත්තේ මිනිස්සුන්ට ඉන්න තැනක්, කෑමක් බීමක් නැතිවුණා. ඊට පස්සේ මේ සිද්ධියට සම්බන්ධ අය හිරේ ගියා. අම්මා, තාත්තා, බිරිඳ, දරුවන් ඒ අය නැතුව ගින්නේ. හැමදාම උසාවි එනවා. හැමදාම බන්ධනාගාර බස් එකේ යන පුතා, ස්වාමියා, පියා දැකලා ඒ අය කඳුළු කැට වගුරනවා. දුකක් නෙමෙයිද? දැන් ජයග්‍රහණය මොකක්ද? නෑ කිසිදෙයක් වුණේ නෑ. වුණේ අති විශාල පාඩුවක්.

ඇත්‍තටම මේ සියල්ලටම සම්බන්ධ තරුණ ප්‍රජාව. ඇයි? තරැණ ප්‍රජාව විප්ලවකාරී. අර ගමේ භාෂාවෙන් කියනවා නම් කකියන ලේ තියෙන්නේ. තරුණ ප්‍රජාව කැමතියි ඉක්මනින් ලොකු වෙන්න. චරිතයක් වෙන්න. කතාබහට ලක්වෙන්න. දැන් මේක බලලා කවුරුහරි කියයි මේ ලියන එකා පිස්සෙක් කියලා. නෑ. ඇත්ත ඒක තමයි. ඔය කියන කාරණා උඩ මේ සිද්ධිවලට විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතයට ඇතුළු කරගෙන බලන්න. එතකොට තේරෙයි ඇත්ත.

කොහොම වුණත් මේ විප්ලවකාරී, බුද්ධියට වඩා හැඟීම්වලට මූලිකත්වය දෙන තරුණ ප්‍රජාව ඕනම කෙනකුට යොදා ගන්න පුළුවන් ඉක්මනින්. එහෙම නැත්තම් තව කෙනෙක්ට ඉක්මනින් භාවිතයට ගන්න පුළුවන්. ඕනෑම අයකුට මේ තරුණ ප්‍රජාවගේ මොළගෙඩි ඇතුළේ ඕනෑ විෂබීජයක් ඉක්මනින් පැළ කරවන්න පුළුවන්.

මතකයි නේද අහිංසක අංගුලිමාල කළේ තරැණ කාලයේ ගුරුවරයකු දුන්න වැරදි උපදෙසක් නිසා. ප්‍රභාකරන් ත්‍රස්තවාදී නායකයෙක් වුණා තරුණ අවදියේදී ඔහුගේ ගුරුවරයෙක් ඔහුගේ ඔළුවට දැම්ම විමුක්තිකාමය නිසා. රෝහණ විජේවීර ලුමුම්බා විශ්ව විද්‍යාලයෙන් එළියට ඇවිත් සමාජවාදය කරන්න ගත්තේ තරුණ කාලයේ. අඩෝල්ෆ් හිට්ලර් ඒත් තරුණ කාලයේ ඉඳන්. දැන් මේ අය තමන්ගේ අනුගාමිකයන් ලෙස ගත්තේ කවුද? ඒත් තරුණ ප්‍රජාව. අපේ වචනයෙන් කියනවා නම් ඔළුවට තෙල බෙදලා තරුණ ප්‍රජාව යූස් කළා මේ අය අත්දැකීමෙන්ම. රෝහණ විජේවීරගේ දේශනා අහලා සමාජවාදයට ඇළුම් කළ තරුණයෝ විප්ලවයකින් බලය අල්ලන්න ගිහින් 88/ 89 කාලයේ බුරුතු පිටින් මැරුම් කෑවා. ප්‍රභාකරන් විමුක්ති අරගලයක් කියලා පෙන්නලා යාපනයෙන් වෛද්‍යවරු වෙන්න හිටිය කොල්ලෝ කෙල්ලෝ මරාගෙන මැරෙන උන් බවට පත් කළා. පාතාලයේ බහුතරයක් තරුණයෝ. ඒ නිසා තරුණයෝ පුදුම විදිහට යොදාගත්‍ත හැටි උදාහරණ අපි ගාව ගෝනි ගණන් තියෙනවා. හැබැයි අපිට අමතකයි. ඒ අඳුරු අතීතය ඔළුවෙන් වාශ්ප වෙලා. නැවතත් අඳුරකට යන්න හදනවා. ඒක භයානකයි.

එය භයානක වෙන්නේ වර්තමාන ප්‍රජාවත් එක්ක. ඒකට හේතු කිහිපයක් තියෙනවා. 1988-2009 වෙනකල්ම අපි පහු කළේ ලේ දැක දැක. මේ කාලයේ ගැබ්බර වුණු අම්මලා සහ දරුවන් සිටි අම්මලා හිටියේ සැකයෙන්, බයෙන්. හේතුව තමන්ගේ පවුලේ ස්වාමියා, සහෝදරයා උස්සන් යයිද? ළමයව මරයිද? වගේ ප්‍රශ්න ගොඩක. හැම මොහොතෙම ලේ රත් වෙලා. ඒ මව්වරැ පාරේ යනකොට දැක්කේ දැනුණේ හංදියක් ගානේ මරලා දාපු මිනිස්සුන්ගේ මිනී, අත් පා බල්ලෝ ඇදන් යන හැටි. මිනී පිළිස්සෙන පුළුටු ගඳ, කුණු වෙච්ච මිනී ගඳ, ලේ සුවඳ වගේ ජුගුප්සාජනක දේවල්. ඒවා දැක දැක ඒ මව්වරු ජීවත් වුණා, වෛර බැන්දා.

ඊට පස්සේ යුද්ධය. යුද්ධය ආපු වෙලේ ඉඳන් ඒ පැත්තෙනුයි මේ පැත්තෙනුයි මිනී ගොඩගැහුණා. මිනී ගාන අහලා අපි සතුටු වුණා. ඒ පැත්තේ වැඩියෙන් මැරුණොත්(ෂා මරුණේ) කියවුණා. බස් එකේ ගියේ සැකයෙන්. අල්ලපු සීට් එකේ හිටිය දෙමළා ගැන බැලුවේ සැකයෙන්. හරියට මිනීමරුවෝ දිහා බලනවා වගේ. අන්න එවන් පසුබිමක බිහිවන දරුවන් ඔවුන්ගේ මතය ගොඩනගන්නේ මව්පියන්ගේ මතයත් එක්ක. එහෙම නොවන අයත් ඉන්නවා. හැබැයි බොහෝ තරුණයන් විප්ලවකාරී වෙනවා. තරහව, බිය, ත්‍රාසය, නොඉවසීම, වේදනාව, සාමාන්‍ය වෙනවා. ඒ තුළින් තැන් තැන්වල කල්ලි හැදෙනවා. අන්න ඒ කල්ලි බාහිර අන්තවාදීන් විසින් ඔවුන්ගේ අන්තවාදී වැඩවලට යොදවගන්නවා. යොදවගන්න ලේසි වෙනවා. ඒ ලේසිවීම තුළ නැවතත් කැරලි, කෝලහාල ඇතිවීමේ අවදානම වැඩියි. ඒක තමයි දිගන සිද්ධියට හේතුව. බහුතරයක් ආවේ මේ හරහා සිදුවන අවධානම ගැන තැකීමකින් තොරව. සමහර අය කියයි අපෝ නෑ ආවේ රට ජාතිය වෙනුවෙන් කියලා. නෑ බලන්න ඔවුන්ගේ සාක්ෂි. බොහෝ දෙනෙක් කියන්නේ මේකට සම්බන්ධ නෑ කියලා. ඇයි? අමාරුවේ වැටුණමයි තේරෙන්නේ අවදානම.

ඒ නිසා මේ රටේ තරුණ ප්‍රජාව මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. ගැටුමකට නොගිහින් විප්ලවීය ක්‍රමයකට සටන් ජයග්‍රහණය කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම නැතුව කාටවත් භාවිතා වෙලා ලේ හලන්න උදව් වෙන්න එපා. මොකද ඊට පස්සේ එන ප්‍රශ්නවලට අසරණ වෙන්නේ තමන්ගේම පවුලේ අය විතරයි.

► මම, බ්‍රෝ