2018 මැයි 12 වන සෙනසුරාදා

ජලවිපත්වලට පාර කපන සෙනසුරු ඒරාෂ්ඨකය

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 255

සෑම පුද්ගලයෙක්ම මෙලොව එළිය දකින්නේ ඔහුට උරුම වූ කිසියම් අනන්‍යතාවයකිනි. පෙර කරන ලද කර්මවල ප්‍රතිඵල එහි ගැබ්වී ඇත. ඊට අමතරව ආරයෙන් සහ දෙමාපියන්ගේ ජාන ශක්තීන් මත වැඩෙන ජන්මියා මිනිස් සමාජය විසින් නිරන්තරයෙන් නිර්මාණය කෙරෙන පරිසරය තුළ එයට අනුගතව උරැම කරගත් මරණය තෙක් ජීවත් වේ. 

ජ්‍යොතිෂය යනු පුද්ගලයා තුළ නොපෙන්වන කර්ම විපාක ග්‍රහයන් මාර්ගයෙන් විස්තර කිරීමට උත්සාහ දරණ විද්‍යාත්මක පදනමක් සහිත ශාස්ත්‍රයකි. දරුවකු මෙලොව එළිය දකින මොහොතේ සූර්යාලෝකයේ පරාවර්ථනයෙන් ග්‍රහ කිරණ ශක්ති සමූහයන්ගෙන් මූර්තිමත් වන බව විද්‍යාත්මකව ඔප්පු කර නැතත් පුරාණ මහ සෘෂිවරැන් ස්වකීය අන්තර්ඥානය තුළින් ඒ බව නිරීක්ෂණය කොට ඇත.

පසුගිය දිනවල අපට නිතර අසන්නට ලැබුණු සිදුවීම් අතර දියේ ගිලීමෙන් සිදු වූ මරණ ඉතාමත් කනගාටුදායකය. නොපෙන්වන කර්ම ශක්තීන්ට අනුව උපන් මොහොතේ පිහිටි ග්‍රහ චාරය වන උපන් කේන්දර සටහනට අනුව මරණය සිදුවන ආකාරය කල් ඇතිව දැනගන්නට තිබෙන කදිම කැඩපතකි කෙනෙකුගේ කේන්ද්‍ර සටහන.

ජ්‍යොතිෂයට අනුව මරණය ස්වාභාවික හා අස්වාභාවික වශයෙන් දෙයාකාරයකි. රෝගයක් වැළඳීමෙන් හෝ මහළු වයසට පැමිණීමෙන් සිදුවන මරණය ස්වාභාවික මරණයකි. බලාපොරොත්තු රහිත හදිසි අනතුරකින්  සිදුවන මරණය අස්වාභාවික වේ.
ජ්‍යොතිෂයේ ඇති එක් සිද්ධාන්තයක් නම් සඳු, කුජ, ගුරු යන ග්‍රහයන් කටක, වෘශ්චික, මීන යන ජල රාශිවලට අධිපති බැවින් එම රාශි ගත එකී ග්‍රහයන්ගෙන් රවි ග්‍රහයා අශුභ දෘෂ්ටි හෝ සංයෝග ආදියෙන් දුර්වල නම් එම ජන්මියාට ජලයෙන් සිදුවන අනතුරැවලට මුහුණ පාන්නට සිදුවන බවයි. එය සිද්ධාන්තයක් මිස අනාවැකියක් නොවන බව තරයේ කිවයුතුයි. එය එක් නිදසුනක් පමණි. මේ සම්බන්ධව සිද්ධාන්තයන් විශාල සංඛ්‍යාවක් ජ්‍යොතිෂයේ සඳහන් වී තිබේ. ඔබ මතක තබාගතයුතු වන්නේ මෙවැනි පිහිටීම් තිබූ පමණින් එසේ සිදු නොවන බවයි. ඒ සඳහා ඛර (කටුක) හා චිද්‍ර ( බාධා) ග්‍රහයන්ගේ පිහිටීම හා ගෝචර ග්‍රහ බලපෑම හා මහ දශා, අතුරු දශා එයට ගැලපෙන ආකාරයට සම්බන්ධ වූවා නම් දියේ ගිලීමෙන් නියත ලෙස මරණයට පත්වන බව කිව යුතුයි. එය මෙවැනි ලිපියකින් විස්තර කළ නොහැක. මහාචාර්ය ඒභ්‍රහම් කොවුර් මහතා පවා නොමග ගියේ මෙම සිද්ධාන්තයන් අනාවැකි යැයි සිතීම නිසා බව ජ්‍යොතිෂ පර් යේෂකයන්ට දැනගැනීම සඳහා සඳහන් කරමි.

කෙනකුගේ ජන්ම පත්‍රයේ ලග්නයේ 22 වැනි දෙකර්ණාධිපති හා ලග්නයේ 64 වැනි නවාංශකාධිපති ද සඳු ග්‍රහයාගේ 22 වැනි දෙකර්ණාධිපති හා සඳුගේ 64 වැනි නවාංශකාධිපති යන ග්‍රහයන් කිසියම් අවස්ථාවක ජන්මියාට අනතුරුදායක තත්ත්වයන්ට අවස්ථාව උදාකරදීමට සමත් වේ. ඊට අමතරව උපන් කේන්දර සටහනේ අටවැන්න අධිපති, අටවැන්නට දෘෂ්ටි දෙන ග්‍රහයන් හා අටවැන්නාධිපතිගේ අධි සතුරු ග්‍රහයන්, අටවැන්නාධිපති සමඟ සංයෝග වුණු ග්‍රහයන් ජන්මියාට අනතුරුදායක බව පෙන්වා දෙන ඛර හා චිද්‍ර ග්‍රහයන් ලෙස ජ්‍යොතිෂයේ හඳුන්වයි.

සෙනසුරු ඒරාෂ්ටකය ගැන බොහෝ දෙනා අතර පවතින්නේ අනියත බියකි. එහෙත් ජන්මියකුට කිසියම් කාලයකදී සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටකයක් පවතී නම් වඩාත් උචිත වන්නේ දක්ෂ ජ්‍යොතිෂවේදියකු ලවා තම ජන්ම පත පරීක්ෂා කරගැනීමයි. එයට හේතුව වන්නේ ජන්ම පතෙහි ඉහත සඳහන් වූ පරිදි  අනතුරුදායක බව පවතින කාල පරාසයක් තුළ මෙම ජන්ම ඒරාෂ්ටකය පවතී නම් එම අනතුර ක්‍රියාත්මක කරන්නට ඒරාෂ්ටකයට උපරිම හැකියාවක් පැවතීමයි. එය තවදුරටත් පැහැදිළි කරනවා නම්, සඳු, කුජ හෝ ගුරැ ග්‍රහයන් අතරින් එක් ග්‍රහයකු හෝ දෙදෙනකු හෝ තිදෙනාම ජල රාශි වන කටක, වෘශ්චික හෝ මීන යන රාශිවල තැන්පත්ව එලෙස තැන්පත් ග්‍රහයාගේ සිට අංශක 45, 90, 135 හෝ 180 යන අංශකයට ආසන්නයේ රවි ග්‍රහයා තැන්පත්ව පිහිටා ඇති ජන්ම පතක එම ග්‍රහයෙක් ඛර (කටුක) හෝ චිද්‍ර (බාධා) ග්‍රහයකු ද වී එම ග්‍රහයාගේ දශාවක් ද පවතින අවස්ථාවක සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටකය ද පැවතුණහොත් ඔහුට අනතුරැදායක තැනක දිය නෑමට පොළඹවයි. එය ඔහුගේ ජීවිතයේ අවසන් දිය නෑමද විය හැක. මේ සම්බන්ධව කිසියම් අවබෝධයක් ඔහු තුළ පවතී නම් එයින් වැළකීමට ඔහුට හැකිවනු ඇත. සියලුම ග්‍රහ බලපෑම් තමන්ගේ බුද්ධියට යටත් වන බව දත යුතුයි. තවත් වැදගත් කාරණයක් වන්නේ සෙනසුරැගේ ඒරාෂ්ටකයක් තිබූ පලියට ජන්මියාට කරදරයක් හෝ විපතක් සිදු නොවන බවයි. අප කවදා හෝ දිනක නියත ලෙස ජීවිතයෙන් සමුගන්නා බව සත්‍යයකි. එහෙත් එය අස්වාභාවික නොවී ස්වාභාවික මරණයක් බවට පත්කරගන්නට හැකියාව මිනිසාට හැකිය.

ජ්‍යොතිෂ විඥාණාචාර්ය 
සාම විනිසුරු,
වෛද්‍ය ඩබ්. තිලක් ද සිල්වා.