2017 ජනවාරි 21 වන සෙනසුරාදා

නියං රකුසා රජරටම ගිනි තබයි

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 03:00 170

අප රට හමුවේ මේ වනවිට තිබෙන ප්‍රධාන ගැටලුවකි, දරුණු නියඟයක අවදානම. වැසි නොලැබ මාස ගණනාවක් තිස්සේ එකදිගට බලපෑ වියළි කාලගුණික තත්ත්වය එලෙසින්ම පැවතීමෙන් රජරට ඇතුළු දිවයිනේ බත නිපදවන දිස්ත්‍රික්ක රැසකට තවමත් මාස් මෝසම් වැසි අහිමිව තිබේ. එහෙයින් වෙනත් මාස් කන්නවලදී සෑම බිම් අඟලක්ම පාහේ වී වගාවේ නිල්ල දිලෙන සරු කෙත් යායවල් වෙනුවට දැන් දක්නට ඇත්තේ ඉමක් නොපෙනෙන පුරන් කුඹුරු යායවල්ය. එය සුළු පටු ප්‍රමාණයක් නොව කුඹුරු අක්කර ලක්ෂ 25 - 30ක් පමණ වේ. තවත් විදියකින් කිවහොත් රටේ සමස්ත වී වගා කෙරෙන කුඹුරු බිම් ප්‍රමාණයෙන් සියයට 80ක් පමණය. මෙරට ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත නිපදවීම මෙලෙස එකවර විශාල වශයෙන් ඇණ හිටීම යනු විශාල අර්බුදයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙයට අවුරුද්දකට එකහමාරකට පමණ පෙර ආණ්ඩුවේ ගණන් හිලව්වලට අනුව වී නිෂ්පාදනයේ අතිරික්තයක් තිබෙන බවත් එහෙයින් වී වගාව කිසියම් ප්‍රමාණයක් අත්හැරිය යුතුයැයිද කියනු අසන්නට ලැබුණු අපට දැන් මහා සාගරයක් අභිමුව සුසුම් හෙළන්නට සිදුව තිබීම එක්තරා අන්දමක දෛවෝපගත කාරණයකි. සොබාදහමේ අකාරුණිකත්වයට පිටුපෑමට නොහැකිව ඉන් පීඩාවට පත්ව සිටින පිරිස මේ වනවිට ලක්ෂ 02කට ආසන්නය. දිවයිනේ උතුරු නැගෙනහිර මෙන්ම බස්නාහිර සහ දකුණු පළාතේ ජනයාද මෙවර නියඟයෙන් ආපදාවට පත්ව සිටිති.

අපේක්ෂිත වර්ෂාව නොලැබීම සහ ප්‍රමාණවත් තරම් ජලය ජලාශවල නොතිබීමෙන් මෙවර මාස් කන්නයේ වී වගාවත් වෙනත් ආහාර බෝග නිෂ්පාදනයත් විශාල වශයෙන් පහළ බැසීම යනු මේ රටේ ගොවිතැන ජීවිකාව කරගත් පිරිස නැතහොත් ගොවි ජනතාව මුහුණදෙන අර්බුදයක් පමණක් නොවේ, ජාතික ආහාර නිෂ්පාදනය විශාල වශයෙන් අඩුවීම රටටම බලපාන්නකි. විශේෂයෙන්ම නුදුරේදී අනිවාර්යයෙන් ඇතිවන දේශීය සහල් හිඟය අපට ඉතා තදින් දැනෙනු නොඅනුමානය. එම නිසා රටේ අවශ්‍යතාවයට සරිලන තරම් සහල් පිටරටින් ගෙන්වීමට රජයට සිදුවනු ඇත. විදේශ වෙළෙඳපොළේ සහල් මිල, ඒවායේ ගුණාත්මක භාවය යනාදිය කෙබඳුවේද යන්න කල්වේලා ඇතිව කිව නොහැක්කකි. මක්නිසාද යත් වෙළෙඳපොළ ස්වභාවය එම නිසාවෙනි.

මේ වනවිට රටේ දිස්ත්‍රික්ක ගණනාවකට බලපා තිබෙන වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් නිර්මාණය වී ඇති අලුත්ම අර්බුදය පානීය ජල හිඟය බව වාර්තා වේ.

පසුගිය මාස කිහිපයේද ඊට පෙර බොහෝ අවස්ථාවලද වියළි කලාපයේ ජනයා මුහුණදුන්  පානීය ජල හිඟය රට මැද ඇතුළු සෙසු බොහෝ ප්‍රදේශවලට බලපා තිබීමෙන් මෙම වියළි බවේ තරම කදිමට පෙන්නුම් කරයි. එමෙන්ම ආහාර හිඟයට පෙරාතුව බීමට පවා ජලය නොමැති තත්ත්වයට රටේ ප්‍රදේශ රැසක ජනයා පත්ව සිටිති. එහෙයින් සෙසු කාර්යයන්, රටේ සංවර්ධන කටයුතු සියල්ලට වඩා ප්‍රමුඛව මහජනතාවගේ පානීය ජල හිඟයට විසඳුම් දෙන්නට සිදුව තිබේ.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මේ සඳහා වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.

යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය, හම්බන්තොට, මොණරාගල, බදුල්ල, මහනුවර, ගම්පහ, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රාදේශීය මහ ලේකම්වරුන් වෙත මහජනතාවට අවශ්‍ය පානීය ජල සැපයුමේ වගකීම පැවරී තිබේ. පානීය ජල හිඟය පවතින ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන් මගින් දෛනිකව ලබාගන්නා තොරතුරු, සංඛ්‍යා ලේඛනවලට අනුව ජල සැපයීම් අඛණ්ඩව සිදුකිරීමට පියවර ගෙන ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරු පැවැසූහ. මේ අතර මෙවර මාස් කන්නයේ වී වගාකර ඇති කුඹුරු බිම් ප්‍රමාණය අක්කර ලක්ෂ පහක් පමණ බව ගොවිජන සේවා දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වෙයි.

දැනට පවතින වියළි කාලගුණය සහ වාරිපෝෂිත ජලය ප්‍රමාණවත් තරම් නොලැබීම හේතුවෙන් එම වී වගාවන්ද විනාශ වීමේ තර්ජනයකට ලක්ව තිබෙන බව ගොවි ජනතාව පෙන්වා දෙති. දිවයිනේ ඇතැම් කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල මහා වාරිමාර්ග යටතේ වී වගාකර තිබියදී ඇත්තේ ප්‍රමාණවක් තරම් ජලය වැව්වල තිබියදී නොවන බවද ගොවීහු කීහ. ඉදිරි කාලයේ දී මහවැලි ජලය හෝ අපේක්ෂිත වර්ෂාව වැව්වලට ලැබෙනු ඇතැයි විශ්වාසයෙන් ගොවිතැන් කළ ගොවීන්ට දැන් බලාපොරොත්තු සුන්කර ගැනීමට සිදුව ඇතැයි අනුරාධපුර, පොළොන්නරැව දිස්ත්‍රික්කවල වී වගාවට ජල හිඟය පවතින යායවල ගොවි ජනතාව අප සමඟ කියා සිටියහ.

මාස් කන්නේ කියන්නේ කවදාවත් වතුර නැතිවෙන කන්නයක් නෙවෙයි. පමාවෙලා හරි වැස්ස වහීවි කියන විශ්වාසයෙන් තමයි ගොඩක් දෙනෙක් කුඹුරු වගා කළේ. නමුත් බලාපොරොත්තු වුණ වැස්සත් නෑ. මහවැලි වතුර වැව්වලට ලැබුණෙත් නෑ. ඒ හින්දා අපේ කුඹුරැවල මෙදා වී වගාවේ හෙට දවස් ගැන කිසිම විශ්වාසයක් නෑ. හැබැයි අපේ කුඹුරු මැරුණට වහ කොම්පැණිකාරයන්ගේ අරමුණු නම් ඉෂ්ඨ වුණා. අපි මේ වගාවට මූලික පොහොර, වල් නාශක, කෘමිනාශක මේ හැම දෙයක්ම දැන් යොදලා විශාල මුදලක් මේ වගාව වෙනුවෙන් වියදම් කරලානේ තියෙන්නේ

වතුර නොමැති කමින් මියැදෙන්නට දඟලන තම වී වගාව දෙස බලමින් සුසුම් හෙළන ගොවීන් විශාල පිරිසක් අප හමුවේ අදහස් ප්‍රකාශ කළේ ඒ අන්දමටය.

මින්නේරිය මහ ගොවි ජනපදයේ දෙවැනි පරපුරේ ගොවි නායකයකු වන එම්.කේ. ජයතිස්ස මහතාද ගොවීන් පෙන්වා දෙන කරුණු සැබෑවක්යැයි අප සමඟ කියා සිටියේය. මෙම කන්නයේ වී ගොවිතැනින් ගොවීන් පරාජයට පත්වී ඇති නමුත් කෘෂි රසායන අලෙවි කරන සමාගම්කරුවන් ජයග්‍රහණය කර ඇතැයි හෙතෙම කීවේය.

මේක බොරුවක් නෙවෙයි ඇත්තක්. නිලධාරීන් වැවේ වතුර ටික දෙන්නේ, කෘෂිකර්ම කාල සටහන හදන්නේ වහ කොම්පැණිකාරයන්ගේ උපදෙස් මඟපෙන්වීම්වලට කියලයි මට හිතෙන්නේ. ඒ නිසා තමයි කන්නය අවසන් වෙන තෙක් දෙන්න වැවේ වතුර ටික නැති වුණත් මුළු කුඹුරු ප්‍රමාණයම වගා කරන්න කියලා වතුර දෙනවා. වී වගාවට වඩා අඩු වතුර ප්‍රමාණයක් දීලා වීවලට වඩා වැඩි කාලයක් යන්නේ නැතුව අස්වැන්න ගන්න පුළුවන් අතිරේක බෝග වර්ග තිබෙනවා. උදාහරණයක් විදියට බඩ ඉරිඟු, උඳු, මුංඇට, කව්පි මේ වගේ දේවල්. නමුත් ඒ සඳහා කිසිම දිරිගැන්වීමක් නෑ. වී වගා කළොත් අනිවාර්යයෙන්ම වල් නාශක යොදන්න ඕන. රසායනික පොහොර යොදන්න ඕන, කෘමිනාශක වර්ග භාවිතා කරන්න ඕන. දැන් වැවේ වතුර දෙන්නේ සීමාකරලා. ඒ හින්දා ගොයම මැරෙනවා. නමුත් පොහොර, කෘමිනාශක, වල් නාශක මේ සියල්ලම වගාවට යොදලා ඉවරයි. කුඹුර වතුර නැතුව විනාශ වෙන අවදානම වැඩියි. එහෙම වුණත් වහ කොම්පැණිකාරයෝ දිනුම්. ගොවියා පරාදයි. ඒක තමයි ඇත්ත.

මෙවර මාස් කන්නයේ රජරට වැව්වල ඇතිවී තිබෙන ජල හිඟය, වර්ෂාව නොමැති වීම මෑත කාලයේ මීට පෙර දක්නට නොලැබුණු සොබාදහමේ අපල උපද්‍රවයක් බව ජයතිස්ස මහතා කීය.  මින්නේරිය මහ ගොවි ජනපදයේ ආරම්භක අවදියේ එනම් මෙයට වසර 75කට පමණ පෙර මෙහි පැමිණි ගොවි පරපුරේ පුරෝගාමීන් වන තම මවුපියන්ගෙන් අසා දැනගත් කරැණු අනුව මෙය ඉතාමත් දරුණු නියඟයක් පැවතී ඇත්තේ 1954 – 1955 වර්ෂවලදී පැවති එම අවුරුදුවල අතිවූ දරුණු නියඟය හේතුවෙන් යල-මහ දෙකන්නයේම කුඹුරු මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ. කැඳ උගුරක් බොන්නට එක් වී ඇටයක් ගන්නට නොහැකි වූ බව මාපියන් පැවැසූ බවද ජයතිස්ස මහතා අපට කීවේය.

මෙවර ඇතිවී තිබෙන්නේද එවැනි නියං සායක පෙර නිමිති හෙයින් එයට මුහුණදීම සඳහා ජනතාව සූදානම් කිරීම රජයේ සහ සියලුම වගකිය යුතු අංශවල අනිවාර්යය වගකීමක් බවද ජයතිස්ස මහතා පෙන්වා දෙයි. රජය මේ වෙලාවේ වගා සංග්‍රාමයක් ප්‍රකාශයට පත් කරන්න ඕන. දේශපාලන මත වාද බේද සියල්ල අමතක කරලා දාලා රට හමුවේ තිබෙන මේ ව්‍යවසනය පරාජය කිරීම සඳහායි ඒ මහා සංග්‍රාමය ක්‍රියාත්මක කළ යුත්තේ. මෙහිදී වී වගාව හැර අඩු ජල ප්‍රමාණයක් ප්‍රයෝජනයට අරගෙන වගා කරන්න පුළුවන් බෝග වර්ග මොනවද කියලා හඳුනාගෙන ඒ සඳහා ගොවි ජනතාව දිරිමත් කළ යුතුයි. ඊට අවශ්‍ය බීජ වර්ග සපයාදීම, පස් සකස් කර ගැනීමට වුවමනා කරන යන්ත්‍ර සූත්‍ර සපයාදීම රජයට කළ හැකි දේවල් කවුපි, මුං ඇට, බතල වැනි දේවල් මාස දෙක හමාරක් වැනි කෙටි කාලයකින් අස්වැන්න ලබා ගත හැකියි.

මඤ්ඤොක්කා, තල වැනි දේවල් ජලය නොමැතිව වුවත් වගා කරන්න පුළුවන්. එම නිසා මුළු රට පුරාම වගා කළ හැකි සෑම බිම් අඟලකම ඒ විදියට වැඩපිළිවෙළින් දියත් කළොත් අපට ඉදිරියේදී ඇතිවන ආහාර අර්බුදය ජයගන්න අපහසු වෙන එකක් නෑ. මේ කාර්යය සඳහා අපිට කැප වෙන්න සිද්ධ වෙන්නේ ඊළඟ වර්ෂා සමය ආරම්භවෙලා නැවත සිරිත් පරිදි වී වගාව රටේ ආරම්භ කරන තෙක් පමණයි. එම නිසා සියලු දෙනාම වැඩි කැපවීමක් කළ යුතුයි කියන එකයි මගේ අදහස. මේ වැඩපිළිවෙළට රාජ්‍ය අංශය පමණක් නොවෙයි. පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන මේ සියලුම අංශවල සහයෝගය ලබා ගැනීමෙන් එය සාර්ථක කරගන්න පුළුවන් වේවී. ආහාර අර්බුදයට එකම පිළියම රටින් හාල් ගෙන ඒම කියන එක මම පිළිගන්නේ නෑ. විදේශීය වෙළඳපොළේ අපට අවශ්‍ය පරිදි ඔරොත්තු දෙන මිල ගණන්වලට සහල් මිලදී ගන්න පුළුවන් වේවිද කියන එක අපි දන්නේ නෑ.

නියඟය හේතුවෙන් ඉදිරි කාලයේ රටේ ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසඳුම් සෙවිය යුතු ආකාරය පිළිබඳව ගොවි නායක ජයතිස්ස මහතාගේ අදහසයි ඒ.

වර්තමානයේ ජීවත් වන ගොවි පරපුරේ බොහෝ දෙනා මෙන්ම වෙනත් අයද පවසන්නේ මෑත කාලයේ මෙවැනි දරුණු නියං තත්ත්වයක් ඇතිවී නොමැති බවයි.

අදින් වසර 63කට පමණ පෙර අප රටේ දරුණු නියඟයක් ඇතිවී යල මහ දෙකන්නයේ ගොවිතැන් බත් ගිලගත් බව අපට සිහිපත් කළේ එහි අත්දැකීම් ලද මින්නේරී ජනපදයේ පැරැණි ගොවි මහතකු වන 85 හැවිරිදි පී.ඒ. එඩ්වින් මහතාය.
“මට හොඳට මතකයි මින්නේරිය වැව දිය කඩිත්තක් බවට පත් වුණා. එකදාස් නවසිය පනස් හතර, පනස් පහ අවුරුදුවල, යල මහ දෙකන්නෙම කුඹුරු වගා කරන්න බැරුව ගියා. මින්නේරිය වැවේ ඉතුරු වෙලා තිබුණු වතුර ටික තමයි හැතැප්ම ගණන් දුර ඉඳලා ඇවිත් කට්ටිය නා ගත්තේ. යුද්දෙ කාලේ මින්නේරිය වැවට කඩා වැටිලා තිබුණු ගුවන් යානාවල කොටස් පවා වතුර හිඳුණට පස්සේ දැකගන්න පුළුවන් වුණා. ඉන් පස්සේ කවදාවත් ඒ විදියට වැව හිඳිලා තියෙනවා අපි දැක්කෙ නෑ. ඒ මහා නියඟයෙන් පස්සේ මේ මාස් කන්නයේ හැර වැස්ස නැතුව ගියෙත් නෑ. ඒ හින්දා මට හිතෙනවා ඒ පනස් ගණන්වල ඇතිවුණු මහා නියඟය වගේ නියං සායක් ඉදිරියටත් ඇති වෙයි කියලා.

දශක තුනකට නොඅඩු කාලයක් අපේ රටේ පැවැති යුද්ධයෙන් අදින් වසර 12කට පමණ පෙර ඇති වූ සුනාමි ව්‍යසනයේත් බිහිසුණු බව බොහෝ දෙනා දනිති. එහෙත් දරුණු නියං සායක සහ එය අනිටු ප්‍රතිවිපාක බොහෝ දෙනකුට ආගන්තුක විය හැකි. කෙසේ නමුදු දැන් අප මුහුණදී සිටින්නේ රටේ ප්‍රධාන ආහාරය, බත නිපදවීම විශාල වශයෙන් අඩාල වූ තත්ත්වයකය. එමගින් දිවි රැකගත් ලක්ෂ සංඛ්‍යාත ගොවි පවුල්වල ජන ජීවිතද දැන් බිඳ වැටෙමින් තිබේ. ඔවුන්ගේ හෙට දවසේ ජීවත්වීම, දරු පැටවුන් පාසැල් යැවීම, ඇඳුම්, පැළඳුම්, පොත්පත් සපයාදීම මේ ආදී ප්‍රශ්න රැසක් විසඳුම් නොමැතිව ඔවුන් හමුවේ පවතී. ජාතික ආහාර නිෂ්පාදනයේ ඇතිවන හිඩැස, රික්තය පිරවීම සඳහා විදේශ වෙළෙඳපොළ වෙත යොමුවන්නට රජයට අනිවාර්යයෙන්ම සිදුවන අතර ඒ සඳහා විශාල ආර්ථික බරක්ද දැරීමට සිදුවේ. 

ජල විදුලිය නිපදවීම සඳහා ජලය සැපයෙන විශාල ජලාශයන්හි ජල මට්ටම්ද මේ වනවිට සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන අතර ඉදිරියේදී විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා විකල්ප ක්‍රියා මාර්ගවලට යොමුවිය යුතු වනු ඇත. එමෙන්ම අප ඉහතින්ද සඳහන් කර ඇති පරිදි රටේ බොහෝ ප්‍රදේශවල දැනටමත් පවතින පානීය ජල හිඟය වඩාත් උග්‍ර තත්ත්වයට පත්වීම අනිවාර්යයෙන්ම අපේක්ෂා කළ යුත්තකි. එහෙයින් ඊට විසඳුම් ලබාදීමද ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවද පෙන්වා දිය යුතුය. එපමණක් නොව මෙම මූලික කරුණු මුල් කරගෙන ජන සමාජය තුළ තවත් බොහෝ ප්‍රශ්න ගැටලු රාශියක් නිර්මාණය වීමට ඉඩ තිබෙන බවට සැකයක් නැත. එහෙයින් නියඟයේ සහැසි බව රුදුරු බව කල්වේලා ඇතිව වටහාගෙන ඒ සඳහා මුහුණදීමට පෙර සූදානමක් ඇති කරගැනීම ඉතාමත් කාලෝචිත වනු ඇතැයි යන්න අපගේ හැඟීමයි.

එහිදී ගොවි නායක එම්.කේ. ජයතිස්ස මහතා ඉදිරිපත් කරන කරැණු කාරණා කෙරෙහිද වගකිව යුතු අංශ කිසියම් අවධානයක් යොමු කළහොත් අඳුරට ශාප නොකොට එකදු පහනක් හෝ දැල්වීමට හැකියාව ලැබෙනු ඇත.

 

මුදල් සහ ආහාර සලාක ලබාදෙනවා

- පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්

 

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ගොවි ජනතාවට සහන ලබාදීමට පියවර ගෙන ඇතැයි දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා පවසයි.

ගිරිතලේ සහ කවුඩුල්ල ව්‍යාපාරවල ගොවි පවුල් 30,000කට පමණ ලෝක ආහාර සංවිධානයෙන් අවශ්‍ය සහන සැලසීමට රජය මගින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මුදල් සහ වැඩ සඳහා ආහාර සළාක ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. එයට අමතරව එම ගොවි ජනපද ව්‍යාපාරවල වාරිමාර්ග නිර්මිත, ඇළවේලි ප්‍රතිසංස්කරණ ආදී කටයුතු නිම කිරීම සඳහා එක් ගොවි සංවිධානයකට රුපියල් මිලියන 05 බැගින් වන කොන්ත්‍රාත් පිරිනැමීමට තීරණය කර තිබෙනවා යැයි ද ඒ මහතා කීය.

මෙවර මාස් කන්නයේ වී වගා කර ඇති පරාක්‍රම සමුද්‍රය සහ මින්නේරිය ව්‍යාපාරයන්හි කුඹුරුවලට කන්නය අවසාන වනතෙක් ජලය සැපයීමේ ගැටලුවක් ඇති නොවන බව කී දිස්ත්‍රික් ලේකම්වරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මහවැලි බී.සී. සහ ජී. කලාපවල ගොවීන් කන්න රැස්වීම්වලදී ගනු ලැබූ තීරණයන්ට වඩා එහා යමින් නිර්දේශිත ප්‍රමාණයට වඩා කුඹුරු වගා කර තිබෙන බවත් එම කුඹුරුවලට කන්නය අවසාන වනතෙක් ප්‍රමාණවත් තරම් ජලය සැපයීම පිළිබඳව අවදානමක් පවතින බවත් කීවේය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුවෙන් පීඩා විඳින පිරිස් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවත් ඉදිරි කාලයේදී එවැනි තත්ත්වයන් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා පෙර සූදානමක් තිබෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

 

කුඹුරුවලට ජලය මුර ක්‍රමයට

- කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ

 

පරාක්‍රම සමුද්‍රය සහ මින්නේරිය ජලාශවලටද මේ වනවිට මහවැලි ජලය ලැබීමක් සිදු නොවන හෙයින් මුර ක්‍රමයක් යටතේ කුඹුරුවලට දැනට ජලය නිකුත් කෙරෙන බව පොළොන්නරැව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ආර්.එම්.පී. කරුණාරත්න මහතා පවසයි. පරාක්‍රම සමුද්‍රයේ දැනට පවතින ජල මට්ටම අක්කර අඩි 71000ක් පමණය. මින්නේරිය ජලාශයේ අක්කර අඩි 52000කි. වගා කන්නය අවසන් වෙනතෙක් ඉදිරි මාස තුනකට ආසන්න කාලයක් කුඹුරුවලට ජලය නිකුත් කිරීම මනා පරිපාලනයකින් කළ යුතු හෙයින් මෙම සීමිත ජලය ප්‍රමාණය ඉතාමත් අර පරෙස්සමින් පරිහරණය කරන ලෙස තමන් ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටන බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා කීය.

විශේෂයෙන්ම වාරිමාර්ග නිලධාරීන් උත්සාහ දරන්නේ දැනට වී වගා කර ඇති පරාක්‍රම සමුද්‍රය සහ මින්නේරිය ජලාශය යටතේ ඇති කුඹුරුවලට අවශ්‍ය පරිදි ජලය නිකුත් කිරීම යැයිද මේ සඳහා ගොවි ජනතාවගේ සහ ගොවි සංවිධානවල සහයෝගය උපරිම වශයෙන් අවශ්‍ය යැයිද හෙතෙම සඳහන් කළේය.

♦ කතාව I සේයාරූ
කරුණාරත්න ගමගේ 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00