2017 ජනවාරි 21 වන සෙනසුරාදා

ප්ලාස්ටික් ජල ටැංකි ලෙඩ ගෝඩක්

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 258

 

සියයකට අධික ගංඟා ඇළ දොළ ගලා යන අපේ රටේ කිරි ලීටරයකට වඩා වැඩි මුදලකට වතුර ලීටරයක් ගෙන එහි ප්‍රමිතිය සොයා බැලීමට වීම කොතරම් අභාග්‍යයක්ද? ලෝකය පුරාවටම පානීය අවශ්‍යතා සඳහා ජලය ලබාගැනීම සහ රඳවා ගැනීම බරපතළ අර්බුදයක් බවට පත්වෙමින් පවතින අතර මැදපෙරදිග මෙන්ම යුරෝපයේද ජල ගැටලුව මේ වන විට ඔඩු දුවමින් පවතී. එමෙන්ම අප රටේද පානීය ජලයේ තත්ත්වයද බරපතළ ලෙස ගැටලුකාරී වෙමින් පවතී. 

ප්ලාස්ටික් ඇසුරුම් යොදා ගනිමින් ජලය රඳවා ගැනීම මගින් ශරීර සෞඛ්‍යයට සිදුවන යහපත අයහපත ගැන අපට සිතෙන්නේද නැත.

මෙරට දැනට භාවිතයේ පවතින නිසි ප්‍රමිතියකින් තොර ප්ලාස්ටික් ජල ටැංකිවල රැස්කර පරිභෝජනයට ගන්නා ජලය මගින් පිළිකා ඇතිවීමේ අවදානමක් ඇති බව කොළඹ ජාතික රෝහලේ විෂ තොරතුරු අංශය පසුගියදා පැවසීය. ජල ටැංකි දිගු කාලයක් තද අව්වේ රත්වීම හේතුවෙන් එම ටැංකි සෑදීමට ගන්නා රසායනික ද්‍රව්‍ය ජලයට මුසුවී ශරීරගත වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බවද ඔවුහු පෙන්වා දුන්හ.

නිසි ප්‍රමිතියකින් යුතු ජල ටැංකිවල වීදුරුවක් සහ ගෑරුප්පුවක සලකුණක් ලාංඡනය වශයෙන් නිර්මාණය කර තිබිය යුතු වුවද දැනට අප භාවිත කරනු ලබන හා අලෙවි කරනු ලබන බොහෝ ජල ටැංකිවලද එම ලාංඡනය දක්නට නොමැති බවද එම ලාංඡනය සටහන් කර තිබුණද ඒවා නිසි ප්‍රමිතියෙන් යුතුද යන්න සොයා බැලීමේ වැඩපිළිවෙළක් කොළඹ ජාතික රෝහලේ විෂ තොරතුරු අංශය මගින් අරඹා ඇති බවද කියයි.

අද ජල ටැංකියක් නොමැති නිවසක් නැති තරම්ය. මෙවැනි ප්ලාස්ටික් ඇසුරුම්වල ගබඩා කර ඇති ජලය අධික උෂ්ණත්වයට ලක්වීමෙන් විෂ කාන්දු වීමේ ප්‍රවණතාවක් හට ගැනීමට ඉඩ ඇති බව සඳහන් වෙයි.

නිසි ප්‍රමිතියකින් තොර ප්ලාස්ටික් ජල ටැංකි සහ පීවීසී නළ හරහා භාවිත කෙරෙන ජලය හේතුවෙන් සෞඛ්‍ය අවදානමක් ඇතිවන්නේද යන්න පිළිබඳව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග හා දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතාගෙන් අපි විමසුවෙමු.

අතීතයේදී මෙම ජල ටැංකි විදියට නිවෙස් හිමියන් භාවිත කළේ යකඩ මළ නොකන වානේ හෝ සිමෙන්තිවලින් ගොඩනගපු ටැංකියක්. නමුත් අද වන විට මේ ටැංකි බොහෝමයක් නිපදවන්නේ ප්ලාස්ටික්වලින්. නමුත් ප්‍රමිතිය පිළිබඳව කොතනකවත් සඳහන්වෙලා නැහැ.

ශ්‍රී ලංකාව සමකයට ආසන්නයේ රටක්. ඒ නිසා මෙරට නිවෙස්වල වහළයේ ඇති  මෙවැනි ජල ටැංකි තුළ අනිවාර්යයෙන්ම විෂ රසායන පවතින්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ ජල ටැංකියක් තිබෙන්න ඕන ආවරණය කරපු ස්ථානයක. එයට නිරතුරුවම ඉර එළිය නොවැටිය යුතුයි. මෙයට ඉර එළිය වැටෙනවනම් මේ ජලය සැමවිටම කැකෑරෙමින් පවතිනවා. එහෙම වුවහොත් එය ප්ලාස්ටික්වල තිබෙන විෂ රසායනයනය ජලයට කාන්දු වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි මෙරට තුළ ජලය ප්‍රවාහනය සඳහා යොදාගනු ලබන පී.වී.සී. ජල නළ භාවිතය ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයකින් ඉවත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම යුරෝපා සංගමයට අයත් රටවල් මේ ජල නළ භාවිත කරන්නේ නැහැ. ජල ටැංකි, ජල නළ මෙන්ම ආහාර සහ ජලය බහාලීම සඳහා වෙළෙඳපොළේ පවතින සියලුම ඇසුරුම් වර්ග පිළිබඳව නියාමනයක් සිදුවිය යුතුයි.

විද්‍යාත්මක පිළිගැනීමට අනුව ප්ලාස්ටික්වලින් තැනූ බහාලුම් සහ ඇසුරුම් තුළ ආහාර හෝ ජලය ගබඩා කිරීම සෞඛ්‍යයට අහිතකර බව බොහෝ දෙනාගේ මතයයි. පෙට්‍රෝලියම් ආශ්‍රිත නිෂ්පාදයක් ලෙස ගැනෙන ප්ලාස්ටික් හරහා ආහාරයට හා ජලයට හානිකර විෂ රසායන මුසුවීම එයට හේතුවයි. පිළිකා, ස්ත්‍රි/ පුරුෂ වඳභාවය, ගබ්සාවීම, අංගවිකල දරු උපත් ඇදුම වැනි රෝගී තත්ත්වයන්ද මේ හරහා ඇතිවිය හැකි බව විද්‍යාත්මක පරීක්ෂණ හරහා සාධක හමු වී තිබේ. මෙම ගැටලුව ජල ටැංකි සහ ජලනළවලට පමණක්ම නොව අප ගමනක් ගියවිට පානයට ගන්නා ප්ලාස්ටික් ජල බෝතල්වලද දැකිය හැකිය.

බොර දියේ මාළු බාන වතුර බෝතල් සහ ෆිල්ටර් වෙළෙන්දෝ අද වෙළෙඳපොළේ ඕනෑ තරම් සිටිති. මේ ආකාරයට මනුෂ්‍යය ජීවිතයට අතවශ්‍ය සාධකයන් වන පිරිසිදු ජලය ගබඩා කිරීමේ ගැටලුව නව සියවසේ මනුෂ්‍යය වර්ගයා මුහුණ දෙන බරපතළම අර්බුදයක් බවට පත්වෙමින් පවතී. ඕනෑම අර්බුදයක් තමන්ගේ වාසියක් බවට පත් කරගන්නා කූඨ වෙළෙඳුන් මෙම ප්‍රමිතියෙන් තොර ජල ටැංකි, ජල නළ සහ බෝතල් කළ පානීය ජලය සඳහාද අපට විවිධ විසඳුම් ඉදිරිපත් කර ඇත. ඒහෙත් ඒවායේ ප්‍රමිතිය ගැන සඳහනක් නැත.

නමුත් පරිසරය රැකගැනීමෙන් තොරව සහ පාරිභෝගියන්ගේ ශරීර සෞඛ්‍ය ගැන නොසිතා වාණිජ වුවමනාවක් ඉටු කරගන්නා වෙළෙඳුන්ගේ මෙම පැලැස්තර විසඳුම් හේතුවෙන් අද වනවිට අප පානයට ගන්නා පිරිසිදු ජලයද නොදැනුවත්ව වස බවට පත්වීමට විශාල ඉඩක් තිබේ.

ප්‍රමිතියකින් තොර මෙම ජල ටැංකිවලට මිශ්‍රවන විෂ රසායන නිදන්ගත රෝග තත්ත්වයන් ඇති කිරීමට හේතු විය හැකි බව සෞඛ්‍ය බලධාරීන්ගේද මතය වී ඇත. 

ප්‍රමිතියෙන් තොර ජල ටැංකි, ජල නළ සහ අනෙක් සියලුම භාණ්ඩ සම්බන්ධයෙන් දැනුම්වත් වීම රෝගවලට ලක්වීමෙන් මිදිය හැකි මාර්ගයකි.

ප්ලාස්ටික් ආරක්ෂාකාරී නොවන බවට වෛද්‍ය විශේෂඥයන් කීපදෙනකු දැක්වූ අදහස් මෙසේය.

මෙරට භාවිත කෙරෙන ප්ලාස්ටික් පිළිබඳ පරීක්ෂා කිරීමේදී තහවුරු වුණේ අවසරලත් රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය ඉක්මවා යන ඉහළ රසායනික ද්‍රව්‍ය තොගයක් ඇති බව තහවුරු වී තිබේ. එම ප්ලාස්ටික්වලින් තැනූ ඇසුරුම්වල ඇති දෑ ආහාරයට ගැනීමේදී අනිවාර්යයෙන්ම විෂ රසායන මුසුවීම හැර වෙනත් ප්‍රතිඵලයක් හිමි නොවේ. ඊට ප්‍රධාන වශයෙන් බලපාන ප්‍රධාන කරුණ වන්නේ මෙවන් ප්ලාස්ටික් ඇසුරුම් සහිත ආහාර නිසි ආකාරයට ගබඩා කිරීම සඳහා වන අවශ්‍ය ශීතාගාර පහසුකම් දිවයින පුරාම නොපවතින බැවිනි.

- වෛද්‍ය ඒ.ඒ.පී. කීර්ති, සමලේකම් ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය

ගර්භණීයත්වයට පත් හෝ එම වයස් කාණ්ඩයේ කාන්තාවන් මෙන්ම ළමයින් ඇතැම් ප්ලාස්ටික් ඇසුරුම්වල ආහාර ගැනීමෙන් පසු ප්‍රතිශක්තීකරණය හීනවීම, ගබ්සා වීම, අඩු වයස් දරු උපත්, උපත් බර අවම වීම සහ දරුවන් වෙත සහජයෙන්ම සංක්‍රමණය වන රෝග රැසක් ඇතිවීමට හේතුවනු ඇත. වඩාත්ම භයානක වන්නේ පියයුරු පිළිකා සහ හෝමෝන ආශ්‍රිත පිළිකා ඇතිවීම සඳහා 78%ක අවදානමක් ඇතිවීමයි.

- වෛද්‍ය මහාචාර්ය කෝලිත් සෙල්ලහේවා

වඳභාවය ඇතිකරවීම සඳහා බලපාන ප්‍රධාන හේතුවක් ලෙස මෙම ප්ලාස්ටික් ඇසුරුම්වල එන ආහාර පාන පරිහරණය හැඳින්විය හැකිය. විශේෂයෙන් කාන්තාවන් ආශ්‍රිතව සලකා බැලූ කල මෙහි දැඩි දිගුකාලීන බලපෑමක් ඇති බව පැහැදිලි වී තිබේ. විශේෂයෙන්ම ගර්භණී අවධියේ දී මෙම තත්ත්වය දරුණු ලෙස බලපෑම් සිදු කරයි. ප්ලාස්ටික් බෝතල් පරිහරණයේ දී නිකුත් වන Bisphenol (BPA) සහ diethylhexyl phthalate නිසා ප්‍රතිශක්තිකරණ ගැටලු, ගබ්සාවීම් ඉහළ යාම සහ නොමේරූ දරු උපත් ආදී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. BPA ව්‍යාජ ඊස්ට්‍රජන් හෝමෝනයක් ලෙස ක්‍රියා කරමින් අසාමාන්‍ය සංකූලතා රැසක් ඇතිකරවනු ලබයි. උපතින් ඇතිවන අංගවිකලතා, ළමාවිය තුළ වර්ධනය වන ආබාධිත තත්ත්වයන් ආදී ගැටළු රැසකට මෙම ප්ලාස්ටික් ඇසුරුම් ද්‍රව්‍ය හේතුවිය හැකිය.

- වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සහ ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ

ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය වෛද්‍ය නෙවිල් ඩී. පෙරේරා සඳහන් කරන්නේ ලෝකය පුරා පුරැෂ පාර්ශ්වයේ මඳසරුභාවය වර්ධනය වෙමින් පවතින බවයි. උපදින දරුවන්ගේ ලිංගික විකෘතිතා ඇතිවීම ආදිය පසුගිය වසර 40ක පමණ කාලයක සිට දැඩි වේගයකින් වර්ධනය වූ බවද ඒ මහතා කියයි.

♦හසිත් අංජන