2017 ජනවාරි 21 වන සෙනසුරාදා

රවී ගේන්න හදන විජේදාස එපා කියන ඩොලර් තුන් ලක්ෂේ පුරවැසිකම

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

මුදල් ඇමැති රවි කරුණානායක පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ අමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක් ‍මෙරට ආයෝජනය කරන ඕනෑම විදේශිකයකුට වසර 2 සිට 5 දක්වා කාලයකට විශේෂ වීසා පහසුකම් ලබාදීමට තමා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි. ඒ අනුව තම ආයෝජන ප්‍රමාණය සලකා විදේශිකයන්ට මෙරට රැඳී සිට ව්‍යාපාර කරගෙන යාමට අවස්ථාව ලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

මේ අනුව මෙරට ආයෝජනය කරන අයට ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළේ ව්‍යාපාර කොටස් මිලට ගැනීමට, වාණිජ බැංකුවල මුදල් තැන්පත් කිරීමටත්, භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමටද මුදල් යෙදවිය හැකි බව මුදල් ඇමැති කියයි. රටේ වාණිජ බැංකුවල මුදල් තැන්පත් කරන විදේශිකයන්ට ඔවුන් තැන්පත් කරන මුදල් ප්‍රමාණය අනුව සාමාන්‍ය පොලියට වඩා සියයට 2 – 3ක වැඩි පොලියක් ගෙවීමට පියවර ගන්නා බවද මුදල් ඇමැතිවරයා පවසයි.
අතිරේක මුදල් මෙරට විදෙස් ගිණුම්වල තැන්පත් කරන අයට එම බැංකුවලින් දැනට ගෙවන සියයට දශම පහක් වූ පොලිය ඉදිරියේදී වැඩි කරන බවද පවසන ඇමැතිවරයා එවැනි මුදල් බැංකුවලට ලැබෙන්නේ නම් ආණ්ඩුවට විදෙස් ණය ගැනීමේ අවශ්‍යතාව අඩුවන බවද පෙන්වා දෙයි. එය තැන්පත්කරුවන්ටද අතිරේක වාසියක් බවද කියන අතර මෙම පහසුකම් තමා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරන්නේ රටට විදේශ ආයෝජකයන් අද්දා ගෙන ආර්ථිකය යහපත් කර ගැනීමට බවද අවධාරණය කරයි. 

මෙම ප්‍රකාශය කළ දිනට පසුවදාම එයට එරෙහිව අදහස් පළකළ අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මෙවැනි තනි තීරණ ගැනීමට ඔහුට බලයක් නොමැති අතර මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ විට තමා එයට විරුද්ධ වන බවද පවසයි. මෙම යෝජනාව දේශීය ව්‍යාපාරවලට මෙන්ම රටේ ජාතික ආරක්ෂාවටද අහිතකර ලෙස බලපාන්නේ යැයි ඇමැතිවරයා කියයි.

ඔහු පවසන්නේ අමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක් යනු රුපියල් මිලියන 45ක ප්‍රමාණයක් වන අතර එම මුදලින් කොළඹ නගරයේ බිම් පර්චස් දෙකක්වත් මිලට ගැනීමට නොහැකි බවය. මෙවැනි තුට්ටු දෙකේ ව්‍යාපාරිකයන්ට මෙරට ආයෝජනය කිරීමට අවස්ථාව දීමෙන් දේශීය ව්‍යාපාර බිඳවැටෙන බවට අනතුරු අඟවන ඇමැතිවරයා රටේ ආර්ථිකය විනාශ කරන මෙවැනි යෝජනාවකට එකඟ විය නොහැකි අතර, කැබිනට් මණ්ඩලයේ දී සියලු දෙනාම එක්ව මෙය පරාජය කළ යුතු බවද පවසයි.

වත්කම් අඩු විදේශිකයන්ට මෙලෙස වීසා පහසුකම් දීමෙන් ත්‍රස්තවාදී අරමුණු ඇති අයට මෙන්ම මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ටද රටට පැමිණීමට ඉඩ ලැබෙන අතර, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවද, එසේම රට තුළට මත්ද්‍රව්‍ය පැමිණීමටද විවිධ අපරාධ පැතිරීමටද පිටිවහලක් වන බවද කියන ඇමැතිවරයා ඒ නිසා ඩොලර් ලක්ෂ 3ක ආයෝජකයන්ට මෙම පහසුකම් ලබාදීම ගැන තමන්ට එකඟවිය නොහැකි බවද වැඩිදුරටත් පෙන්වා දෙයි.
පසුගිය සතිය පුරා මුදල් ඇමතිගේ මෙම යෝජනාව පිළිබඳ විවිධ පුද්ගලයන් සහ සංවිධාන විසින් ප්‍රසිද්දව ජනතාව වෙත එකඟතා සහ විරෝධතා ඉදිරිපත් කරන ලද අතර, හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ මෙය රට විදේශියකරණය කිරීමේ වක්‍ර වැඩපිළිවෙළක ආරම්භය බවය. පිටරට අයට මෙරටට පැමිණ ව්‍යාපෘති ආරම්භ කිරීමට ඉඩදීම නිසා රටේ තරුණ තරුණියන්ට රැකියා අහිමිවීමේ අවදානමක් ඇතිවිය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය. එසේම මෙවැනි සුළු මුදලක් සඳහා වසර 5කට වීසා පහසුකම් සැලසීම නිසා කිසිදු මුල්‍යමය ස්ථාවරත්වයක් නැති පුද්ගලයන්ට රටට පහසුවෙන් පැමිණීමට ඉඩ ලැබෙන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් විවිධ අපරාධ, අපචාර හා දූෂණ සඳහා ශ්‍රී ලංකාව තෝතැන්නක් වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. මෙවැනි කුඩා ප්‍රමාණ ව්‍යාපාරිකයන්ගෙන් රටේ ආර්ථිකය නංවාලීමට ලබාගත හැකි සහයෝගය කුමක්ද යන්න ප්‍රශ්න කරන හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම අමෙරිකානු ඩොලර් ලක්ෂ 3 මුදල දස ගුණයකින් පමණ වැඩිකර පහසුකම් සැලැස්වීම ප්‍රඥා ගෝචර බවය.
එහෙත් මේ පිළිබඳ ධනාත්මක දෘෂ්ටි කෝණයකින් බලන ප්‍රවීණ ආර්ථික විද්වතුන් පෙන්වා දෙන්නේ මෙවැනි කුඩා කුඩා ආයෝජකයන් රට තුළට ආකර්ශනය කරගත හැකිනම් එමගින් පවත්නා ආර්ථික තත්ත්වය වර්ධනය කරගත හැකි බවයි. අමෙරිකානු ඩොලර් ලක්ෂ 3 බැගින් වුවවද ආයෝජනය කළ හැකි විදේශිකයන් විශාල සංඛ්‍යාවක් රට තුළට පැමිණියහොත් එයින්  රටට යහපතක් සිදුකර ගත හැකි බව ඔහු කීය. එසේම රටේ පවතින වර්තමාන නිති රීතිවලට එකඟව ඔවුන්ට කටයුතු කළ හැකි අතර ඔවුන්ගේ ආයෝජන ක්‍රියාවලිය පිළිබඳ අවදියෙන් සිට රටට වැඩදායක ලෙස මෙහෙයවීම වැදගත් වන බවද පවසයි.

ශ්‍රී ලංකාව වැනි පහසුකම් අඩු රටකට ප්‍රකට ආයෝජකයන් පැමිණීම අඩුවන අතර ඔවුන් වෙනත් රටවල් කරා යාමේ වැඩි ප්‍රවණතාවක් පවතින නිසා ඒ අය රටට ආකර්ශනය කර ගැනීමට ප්‍රමාද වී හෝ රජය යම් වැඩපිළිවෙළක් දියත් කිරීම යහපත් බව ඔවුහු කියති. මේ පිළිබඳ දේශපාලන දෘෂ්ටි කෝණයකින් බලා විරෝධතා ආකල්ප ගොඩනගනු වෙනුවට ධනාත්මකව සිතා පියවර ගත යුතු බවද පෙන්වා දෙති. 

මේ පිළිබඳව අදහස් පළකරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා මහතා  පවසන්නේ මුදල් ඇමැතිවරයාගේ මෙම යෝජනාව කාලෝචිත බවයි. දේශපාලන බලාපොරොත්තු මුල් කරගෙන මෙයට බාධා කරන අවස්ථාවාදීන් සිටිය හැකි නමුත් මේ පිළිබඳ ආර්ථික විද්‍යානුකූලව ධනාත්මකව බැලිය යුතු බව ඔහු පවසයි.

අපේ රටට විශාල වශයෙන් ආයෝජකයන් එන්නේ නැහැ. ඔවුන්ට අපේ රටට නාවට ව්‍යාපාර ප්‍රවර්ධනය කළ හැකි, ලොව පහසුකම් ඇති, ධනවත් රටවල් තිබෙනවා. එම නිසා අපේ රටට මහා පරිමාණ ව්‍යාපාරිකයන් නොවුණත් කුඩා අය හෝ ඇද ගත යුතු වෙනවා. එයට ප්‍රතිකර්මයක් ලෙස තමා මුදල් ඇමැතිවරයා අමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක් ආයෝජනය කරන විදේශිකයන්ට පහසුකම් දෙන්නට සූදානම් වන්නේ. ඒ අයගෙන් පටන්ගෙන හෝ ආයෝජන අවස්ථා ඇති කිරීම රටේ සංවර්ධනයට උපකාරී වෙනවා. අනිත් අතට මෙම ඩොලර් ලක්ෂ 3 කුඩා ප්‍රමාණයක්යැයි කිව්වත් මට නම් එය කුඩාවට පෙනෙන්නේ නැහැ. එවැනි ආයෝජකයන් සිය දෙනකු එවනවානම් මුළු ප්‍රමාණය ඩොලර් ලක්ෂ 300 වෙනවා. මෙය සුළු මුදලක් නෙවෙයි.

එසේම මෙම මුදල් ප්‍රමාණයට වඩා ඒවායින් කරන දෙය තමා වැදගත් වන්නේ. ඒවා අපේ රටේ සංවර්ධනයට කෙසේ මෙහෙයවිය යුතුද යන්න වැදගත්. මෙලෙස ගෙනඑන මුදල රටේ ඵලදායී ලෙස ආයෝජනය කිරීමට මෙහෙය වීම රජය සතු වගකීමක්. එවැනි ආයෝජකයන්ට අප පහසුකම් දිය යුතුයි. එහෙම පහසුකම් නොදෙනවා නම් ඒ අයට කෙනෙහිලිකම් සිදුවෙනවා නම් එන ආයෝජකයන් පවා ආපසු අස්කර ගෙන යා හැකියි. ඒ නිසා අපි ඔවුන් සතුටු කිරීමට කටයුතු කළ යුතුයි.

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ ආයෝජනය කරන මුදල, ලොකුද කුඩාද කියා හෝ ගැටලුවක් නොවන අතර වැදගත් වන්නේ එම මුදල් යොදා රටේ කරන ආයෝජනය කුමක්ද යන්න පිළිබඳව බවයි. සංචාරක කර්මාන්තය, නිෂ්පාදන ව්‍යාපාර ආදියේ යොදවනවා නම් මෙම මුදල ආරම්භක ආයෝජකයන් ලෙස සලකා කටයුතු කිරීම පහසු වේ. ඒ අය මෙම ඩොලර් ලක්ෂ 3 පමණක් අවුරුදු 5ක් ව්‍යාපෘතිවල යොදවනවායැයි දැන් සිටම ස්ථිරවම කියන්නට නොහැකියි. මෙය ආරම්භක මුදලක් පමණක් වන අතර ව්‍යාපෘති දියුණුවන විට තවදුරටත් ආයෝජන පුළුල් කරනු ඇති බව මහාචාර්යවරයා කියයි.

එසේම ඔහු පවසන්නේ මේ අයට අපේ දේශීය ආයෝජකයන් සමඟ ඒකාබද්ධ ව්‍යාපෘති (Joint Ventures) ආරම්භ කිරීමට සුදුසුකම් සැලසීම වැදගත් බවයි. දැනට අපේ රටේ තේ කර්මාන්තයට විදේශිකයන් ආයෝජනය කර තිබෙන අතර වෙළෙඳ කලාපවලද මෙවැනි ඒකාබද්ධ කර්මාන්ත ඇති බව ඔහු පෙන්වා දෙයි. අපේ රටට අලුත් යෝජනාවක් පැමිණෙන විට එයට ඇතැම් අය විරෝධතා එල්ල කිරීම සිරිතක් වන අතර නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කරන විටද විවිධ හේතු ඉදිරිපත් කරමින් එයට එරෙහිවූ අය සිටි බව පෙන්වා දෙන මහාචාර්යවරයා මේ වනවිට ඒ විරෝධතා සියල්ල පුස්සක් බවට පත්කරමින් ඒවා සාර්ථකව ක්‍රියාත්මක වන බව පෙන්වා දෙයි. අද වෙනකොට අපිට ඉතුරුවෙලා තියෙන්නේ ඒවා පමණයි ඔහු කියයි.

ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා රටේ ඉඩම් විදේශවලට බදු දීමේ වැරැද්දක් මා දකින්නේ නැහැ. මෙලෙස බදු දෙන්නේ කොන්දේසි ඇතුවයි. ඒ නිසා එම කොන්දේසිවලට එකඟව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වරදක් නැහැ. දැන් යටත් විජිත යුගය අවසන්. විදේශිකයන් පැමිණෙන්නේ ආයෝජනවලට මිස රට අල්ලා ගන්න නොවෙයි. ඒ නිසා බොරු දේශමාමකත්වයක් පෙන්වමින් මේවාට එරෙහිවීම වැරදියි. විදේශ ආයෝජන නැතුව අපි වාගෙ රටකට දියුණු වෙන්න බැහැ. අපි විතරක් නොවෙයි බටහිර රටවල පමණක් නොව ආසියාතික රටවවල් පවා දියුණු වූයේ ආයෝජන නිසයි.
අපේ රටේ ඇතැම් අය පිටරටවල ස්ථිර වීසා අරගෙන (PR) පදිංචියට යන්නේ ඔවුන් සතු රටේ සම්පත් විකුණලා මුදල් කරගෙනයි. එපමණක් නොවෙයි නිදහස් අධ්‍යාපනයෙන් ලබාගත් දැනුමද ඒ රටවලට රැගෙන යනවා. ඒවාට එරෙහි නොවන අය රටට ආයෝජකයන් එනවාට එරෙහිවීම පුදුම සහගතයි. වෙන රටවල් ආයෝජකයන් ඇදගන්න කටයුතු කරන විට අපේ අය පුහු තර්ක ඉදිරිපත් කරමින් ඔවුන් පන්නා දැමීමට කටයුතු කිරීම කනගාටුදායකයි.

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා:-

“ආර්ථික දියුණුව ගැන තීරණ ගන්න විට ඔළුවෙන් තීරණ ගන්නවා මිස බොක්කෙන් තීරණ ගන්න බැහැ. යමක් ගැන ධනාත්මකව සිතා ප්‍රගතිය කරා යනවා මිස පුහුතර්ක ඉදිරිපත් කර අවුල් කිරීම නුසුදුසුය. දේශපාලනය හෝ ජාතිකත්වය නැතිනම් ආගමිකත්වය පමණක් පාදක කරගෙන ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකියි. අපේ රට සොයාගෙන ආයෝජකයන් එන්නේ නැහැ. එයට හේතුව අපේ රටේ ඔවුන්ට පහසුකම් නැතිකමයි. පවතින නීතිරීති, අණපනත්, ආචින්න කල්පික, සංස්කෘතික සිරිත් විරිත් ඔවුනට හරහට සිටිනවා. ඒ නිසා ඔවුන් තමන්ට පහසුකම් ඇති රටවල් සොයාගෙන යනවා. ආයෝජනයට මුදල් තිබෙනවා නම් ඕනෑම දියුණු රටකට ගොස් ආයෝජනය කරන්න අපහසුවක් නැහැ. ඒ නිසා අවිනිශ්චිත පරිසරයක දුක්ගැහැට විදගෙන ආයෝජනය කරන්න එන අය අඩුයි. ඒ අපේ රටේ ඇත්තේ මිලියන 20ක කුඩා වෙළෙඳපොළක්. මෙවැනි සුළු පාරිභෝගික සංඛ්‍යාවකට අලෙවි කරනවාට වඩා ඉන්දියාවේ ප්‍රාන්තයක බුලත්විට කඩයක් දමා ගැනීම හොඳයයි කියන අය තමා වැඩි. ඒ නිසා අප කළයුත්තේ විදේශ ආයෝජකයන් අපේ රටට ඇදගැනීමට කටයුතු කිරීමයි.”

කථිකාචාර්වරයා පෙන්වා දෙන්නේ අපේ රට මගහැර යන ආයෝජකයන් ඇදගැනීමට අප ක්‍රියාකළ යුතු බවයි. ඒ සඳහා එක් උපක්‍රමයක් වශයෙන් මුදල් අමැතිවරයා මෙවර අමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක් ආයෝජනය කරන විදේශිකයන්ට වසර 5ක් සඳහා වීසා පහසුකම් දෙන බවට යෝජනා කර තිබෙනවා. මෙලෙස පහසුකම් දෙන්නේ ඒ අය අප රටේ රඳවා තබාගැනීමටයි. විදේශිකයන් අපේ රටට පැමිණ ආයෝජනය කිරීමට අයැදුම් නොකරන අතර ඔවුන් අල්ලා ගැනීමට අප ක්‍රියා කළයුතු බව කථිකාචාර්යවරයා පෙන්වා දෙයි. ඒ නිසා ඒ අයට අවශ්‍යතා සම්පාදනය කර විශ්වාසය ඇති කළ යුතුයි. රටේ දේශපාලන වතාවරණය අවිනිශ්චිත නම් ඔවුන් එන්නේ නැති අතර නම්‍යශීලීත්වයෙන් තොර සාම්ප්‍රදායික නීතිරීති තිබේනම් පැමිණීමට උනන්දු නොවෙති. අවශ්‍ය යටිතල පහසුකම් නොපමාව සම්පාදනය කළයුතුයි. අප සම්ප්‍රදායික ලෙස මෙම ප්‍රශ්නය ගැන නොබලා යම් ධනාත්මක දෘෂ්ටි කෝණයකින් බැලිය යුතු අතර ධනාත්මකව සිතීමට පුරුදු වීම වැදගත්.

ආචාර්ය අමින්ද මෙසේද පවසයි.

“දේශපාලන බලපෑම් අනුව මේ පිළිබඳ දෙන චිත්‍රය ඉතාම වැරදියි. අප විදේශිකයන්ට ඉඩම් දෙනවායැයි කෑ ගසන කීදෙනෙක් පිටරට ඉඩම් හිමියන්ද? ඇපල් වතු, මන්දිර හිමි අයද? ඔවුන්ට ඒ රටවල ස්ථිර වීසා පහසුකම් තිබෙනවා. ඒවා තියාගෙනයි අපේ රටට විදේශ ආයෝජකයන් එනවාට විරුද්ධව කෑ ගසන්නේ. විදේශිකයන් ආවොත් රටේ දූෂණ ක්‍රියා අපරාධ වැඩි වෙනවායයි පැවසීමත් පුහු තර්කයක්. අපේ තරුණියන් දූෂණය වෙන්නේ විදේශිකයන් නිසා නෙවෙයි. අපේ අය අතින්. රටේ අපරාධ වැඩි හරියකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන්. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වන්නේද දේශපාලකයන්ට ගැති අපේ අයයි. එහෙම තිබියදී රටට එන පිටරුටියන් නිසා අපරාධ වැඩිවෙනවායැයි කෑ ගසන්නේ මෙය කඩාකප්පල් කිරීමේ අවස්ථාවාදීන්.”

ඔහු පවසන්නේ එකවර වසර 5කට වීසා දුන්නොත් අපට සිදුවන්නේ වසරින් වසර වීසා අලුත් කිරීමට ලැබෙන කුඩා මුදලක් පමණක් අහිමි වීම බවයි. එහෙත් වසරින් වසර වීසා දෙනවට වඩා එකවරම වසර 5කට නිකුත් කිරීමෙන් ඔවුන්ට තම ආයෝජනවල පැවැත්ම පිළිබඳ ස්ථාවරත්වයක් ලැබෙන බව ඔහු පෙන්වාදෙයි. එවිට ඔවුන් ආයෝජනයට වැඩි කැමැත්තක් ඇතිකර ගැනීම රටට යහපත් බවයි ඔහු පවසන්නේ. ඔවුන් මුලින්ම අපට සම්බන්ධ කරගැනීමට යම් කැපකිරීමක් කළයුතු අතර එසේම ඔවුන් මෙරට ආයෝජනය කරන විට අපේ රටේ අයට රැකියා අවස්ථාද වැඩිවන අතර, අමුද්‍රව්‍ය ආදිය ලබාගැනීමේදී අපේ දේශීය වෙළෙඳපොළ ප්‍රසාරණය වන දේශීය නිෂ්පාදකයන්ට ද ඔවුන් සමඟ සම්බන්ධවී වැඩකිරීමට හැකියාව ලැබීම ආදිය අමතර වාසි බව ඔහු පෙන්වා දෙයි. ඒ නිසා මෙම ආයෝජනවලත් ඍජුව සහ වක්‍රව ලැබෙන ප්‍රතිලාභ වැඩි බව ඔහු කියයි.

♦ යසවර්ධන රුද්රිගු