2017 ජනවාරි 21 වන සෙනසුරාදා

හදවත මිරිකන කොලෙස්ටරෝල්

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 8115

“ඒ දවස්වල අනික් සත්තුන්ගේ මස් කාපු එකේ පව තමයි අද මේ ගෙවන්නේ” මීට වසර කිහිපයකට ඉහතදී බයිපාස් සැත්කමකට භාජනය කළ හෘද රෝගියකුගේ දුක සැප බලන්නට ගිය අවස්ථාවකදී ඔහු විසින් පැවසූවකින් අපේ වෙදකම පිටුව ආරම්භ කරන්නට සිත්වූයේ එය අද අප කතා කරන්නට යන රෝගයට ඍජුවම බලපාන්නක් වන නිසාය. වත්මන් සමාජයේ ඇති සෞඛ්‍ය ගැටලු අතරින් රුධිරයේ කොලෙස්ටරෝල් (Cholesterol) වැඩිවීම සැලකිය යුතු ගැටලුවක් වන අතරම හෘද රෝග, ආඝාතය ඇතුළු තවත් රෝග ගණනාවකටම දොරටු විවර වීමද මෙමගින් සිදුවිය හැක.

ආයුර්වේද ක්‍රමයට අනුව “මේධෝවෘද්ධි” යනුවෙනු හඳුන්වන මෙම රෝගය දුරාතීතයේ සිටම පැවතෙන රෝගයක් වන අතර එහි අර්ථය නම් අනවශ්‍ය මේද කොටස් රුධිර නාළවල තැන්පත් වීම යන්නයි. සාමාන්‍යයෙන් ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලික සංඝටකවලින් එකකි මේදය. ඕනෑම දේහ සෛලයකට තම තමන්ගේ සෛල ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට මේදය අවශ්‍ය වේ. අප මේද රහිත ආහාරවලින් පමණක්ම සංතෘප්ත වුවද සිරුරට අවශ්‍ය මේද ප්‍රමාණයෙන් සියයට 65ක් වැනි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව අක්මාව සතුය. ඉතිරි සියයට 35 බොහෝවිට පූර්ණය කෙරෙන්නේ අප ලබාගන්නා මේද සහිත ආහාරවලිනි.

එහෙත් ගැටලුව වන්නේ වැඩිදෙනා මේද අධික ආහාර වැඩිපුර ගන්නට හුරුවීමයි. මේ නිසාම සිරුරට දෛනිකව අවශ්‍ය වන මේද ප්‍රමාණයට වඩා හතර පස් ගුණයක්වත් සිරුරේ තැන්පත් වේ. මෙලෙස අතිරික්තයක් වන මේද කෙළින්ම මුදා හැරෙන්නේ රුධිරයටය. රුධිරයෙහි මෙම මේද කොටස් දිය නොවන හෙයින් ඒවා රුධිර නාළවල තැන්පත් වේ. සංතෘප්ත හා අසංතෘප්ත මේද ලෙසින් තැන්පත් වන මේවායින් අසංතෘප්ත මේදවලින් හානියක් සිදුවන්නේ නැත. මෙහි භයානක අවස්ථාව වන්නේ සංතෘප්ත මේද රුධිර නාළ තුළ තැන්පත් වීමයි. සංතෘප්ත මේද බහුල ආහාර වැඩිපුර ගැනීමෙන් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැග හෘදයේ ඇති ධමනි තුළ මේදය තට්ටු වශයෙන් තැන්පත් වී රුධිර ගමනාගමනය අවහිර වේ. හෘදයාබාධ හටගන්නේ ඒ අනුවය. එම කොලෙස්ටරෝල් මොළයේ තැන්පත් වීමෙන් අංශභාගය වැනි දරුණු රෝග තත්ත්වයන්ටද මුහුණදීමට සිදුවේ.

“කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා කියන්නේ මෑතකාලයේදී ලොකු කුඩා භේදයකින් තොරව අපට බහුලවම අසන්නට ලැබෙන රෝග තත්ත්වයක්. හරියට මෙගා ටෙලිනාට්‍ය වගේ මේවාත් දැන් බහුතරයකගේ ජීවිතවලට බද්ධවෙලා. මීට දශක 4කට පමණ පෙර අසන්නට නොලැබුණු බොහෝ නරක, අසතුට උපදවන දේ අද සාමාන්‍ය දේ බවට පත්වෙලා. මෙයට ප්‍රධානම හේතුව තමයි මිනිසුන් සාමාන්‍ය ස්වභාවික ජීවන රටාවෙන් වෙන්වෙලා කෘත්‍රිම දේ කරා යොමුවීම. කෘත්‍රිම ආහාර පාන, අනවශ්‍ය ගමන් බිමන්, විකෘති ඇඳුම් පැළඳුම්, කෘත්‍රිම මානසික තත්ත්ව, විකෘති ජීවන රටාව යන මේ හැම දෙයක්ම නිසා අද අනෙකුත් දේ වගේම සෞඛ්‍ය අතිනුත් සමාජය පිරිහිලා.”

මෙලෙස අදහස් ඉදිරිපත් කළේ බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය නයනා ලියනගේ මහත්මියයි. 

ඇය වැඩිදුරටත් කරැණු දක්වමින් මෙසේ පැවැසුවාය.

“ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ පංච භූත, තුන්දොස් හා සප්ත ධාතු යන ආකාරයන්ගෙන්. මෙම ධාතු ගත්තම ඒවා රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මාජ්ජා සහ ශුක්‍ර ලෙස කොටස් හතකට බෙදෙනවා. මෙම එක එක ධාතුව නිර්මාණය වෙලා තියෙන්නේ එක්තරා පිළිවෙළකට අනුවයි. මෙම පිළිවෙළෙහි යම් අක්‍රමිකතාවයක් මතුවූවොතින් එයම යම් රෝග කාරකයකට හේතුවෙනවා. කොලෙස්ටරෝල් ඇතිවන්නේද මෙම ධාතූන්ගේ පිළිවෙත් නියමාකාරයෙන් සිදු නොවූ විටයි.

මොනවාද මේ කොලෙස්ටරෝල්

කොලෙස්ටරෝල් යනු අප ශරීරයේ සෛලවල බිත්තියේ ඇති මේදමය සංඝටකයකි. ඒවා ශරීරය තුළ ඇති ඇතැම් හෝමෝන, පිත් අම්ල, විටමින් D සහ වෙනත් සංඝටක නිෂ්පාදනය සඳහා ප්‍රයෝජනවත් වේ. එබැවින් රුධිර සංසරණය තුළ කොලෙස්ටරෝල් ගමන් කිරීම ඉතා වැදගත්. කොලෙස්ටරෝල්වලට තනිවම රුධිරයේ ගමන් කිරීමට හැකියාවක් නොමැති අතර ඒවා ගමන් කරන්නේ ලිපෝප්‍රෝටීන් නැමැති ලිපිඩ හා ප්‍රෝටීන් අඩංගු සංඝටක සම්බන්ධ වීමෙන් අනතුරුවය. මෙසේ කොලෙස්ටරෝල් ප්‍රවාහනය කරන ලිපෝ ප්‍රෝටීන් වර්ග දෙකක් වන අතර අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන් (Low – density lipoprotein – LDL) හා වැඩි ඝන්තව ලිපෝප්‍රෝටීන් (High – density lipoprotein –HDL) ඒ වර්ග දෙකයි. LDL සැලකෙන්නේ නරක කොලෙස්ටරෝල් වර්ගයක් ලෙසයි. LDL මගින් රුධිරය ඔස්සේ කොලෙස්ටරෝල් ශරීරයේ පටක වෙත ගෙනයාම සිදුකෙරෙන අතර රුධිරයේ ඇති කොලෙස්ටරෝල් වලින් බහුලවම ඇත්තේ LDLය. එමෙන්ම රුධිරයේ ඇති LDL ප්‍රමාණය වැඩිවීම හෘද රෝග වැළඳීමේ අවදානමද අඩුකරයි. HDL මගින් සිදුකරන්නේ ශරීරයේ පටකවල සිට අක්මාව දක්වා කොලෙස්ටරෝල් ප්‍රවාහනයයි. එවිට අක්මාව මගින් ශරීරයෙන් කොලෙස්ටරෝල් ඉවත්කරයි. එම නිසා මෙය සැලකෙන්නේ හොඳ කොලෙස්ටරෝල් වර්ගයක් ලෙසයි. රුධිරයේ ඇති HDL ප්‍රමාණය අඩුවන තරමට හෘද රෝග වැළඳීමේ වැඩි අවදානමක් ඇත. VLDL ලෙසින් හැඳින්වෙන කොලෙස්ටරෝල්ද ඇතුළත් වන්නේ සිරුරට අහිතකර කාණ්ඩයටය.

කොලෙස්ටරෝල්වලින් ඇති ප්‍රයෝජන

ආහාර දිරවීම, ස්නායුවල ක්‍රියාකාරීත්වය, අස්ථි, මාංශ පේශි හා මොළයේ ක්‍රියාකාරීත්වය සිරුරේ චලන, හෝමෝන නිපදවීම ආදී බොහෝ කාර්යයන් සඳහා කොලෙස්ටරෝල් සිරුරට අත්‍යාවශ්‍ය වේ. එසේම සෛලවල ප්ලාස්ම පටලයේ සංඝටකයක් ලෙසද කොලෙස්ටරෝල් වැදගත් වේ.

ආහාර ජීර්ණය

ආහාර ජීර්ණය නියමාකාරව පවත්වාගත හැකි නම් බොහෝ රෝගවලට ශරීරය ආක්‍රමණය කිරීමට ඇති හැකියාවත් අවම වේ. ආහාර අජීර්ණයක් ඇති අවස්ථාවක් ආයුර්වේදයේ හඳුන්වන්නේ ආම යනුවෙනුයි. ආම යනු අමු බව එසේත් නැත්නම් විෂ තත්ත්වයකි. මෙම විෂ ආහාර මාර්ගයට පමණක් සීමා නොවී ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන් වෙතද පැතිරීමේ හැකියාව ඇත. මෙය විෂ ශරීරගත වීමකි. මෙලෙස විෂ ශරීරගත වීමෙන් විවිධ රෝග හට ගැනේ. කොලෙස්ටරෝල් පමණක් නොව අම්ල පිත්ත, හෘද රෝග, සන්ධි ගත රෝග, සමේ රෝග, රුධිරයට සම්බන්ධ රෝගද ඒ අතර වේ. එබැවින් කළ යුත්තේ සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාගැනීම හා හොඳින් ආහාර දිරවීම සඳහා කායික, මානසික, සාමාජික, පාරිසරික ආදී සාධක අන්තර්ගත වටපිටාවක් නිර්මාණය කර ගැනීමයි.

හදවත ලෙඩකරන කොලෙස්ටරෝල්

රුධිරයෙහි කොලෙස්ටරෝල් මට්ටම වැඩිවූ විට වැඩිපුර ඇති කොලෙස්ටරෝල්වලින් යම් ප්‍රමාණයක් ධමනි නැමැති රුධිරවාහිනී බිත්තියෙහි තැන්පත් වේ. එමගින් රුධිරවාහිනී සිහින්වීම සිදුවන අතර රුධිර වාහිනීවල නම්‍යශීලීත්වයද අඩුවේ. මෙම ක්‍රියාවලිය හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල සිදුවීමෙන්, ඒවා අවහිරවීම සිදුවිය හැක. එමගින් හෘදයේ ඇතැම් මාංශ පේශීන්වලටද රුධිරය සැපයීම අඩාල වන හෙයින් හෘදයේ අදාළ ප්‍රදේශවලට ඔක්සිජන් හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ද නොලැබීමෙන් මාරාන්තික හෘදයාබාධයන් පවා ඇතිවිය හැක.

කොලෙස්ටරෝල් රුධිර වාහිනීවල තැන්පත් වන්නේ

දුම්පානය නිසා රුධිර වාහිනී බිත්ති පළුදු වීමෙන් එවැනි තැන්වල කොලෙස්ටරෝල් තැන්පත් වීමේ හැකියාව ඇත. එසේම දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝගවලින් පෙළෙන්නන්ගේ රුධිර වාහිනීවලද කොලෙස්ටරෝල් තැන්පත්වීමේ වැඩි අවදානමක් ඇත.

කොලෙස්ටරෝල් වැඩිවීමේ රෝග ලක්ෂණ

බොහෝ විට වැඩි දෙනෙක් රෝග ලක්ෂණ නොපෙන්වති. නමුත් එය විවිධ අවයවයන්ට ඇතිකෙරෙන බලපෑම මත එහි රෝග ලක්ෂණ හඳුනාගත හැකියි. සාමාන්‍යයෙන් කොලෙස්ටරෝල් අධික රෝගියකු වැලමිට පිටුපස, ඇස යට, උඩු අල්ල, බල නහරය, දණිස්කටු ආදිය පරීක්ෂාවට ලක්කිරීමෙන් හඳුනාගත හැක. හෘදයට බලපාන විට පපුවේ වේදනාව ඇති වුවත්, ශාරීරික වේදනාවන්, හිරිය, මාංශ පේශිවල බර ගතිය, කෙණ්ඩා පෙරළීම ආදී රෝග ලක්ෂණයන් සුලබව මෙම රෝගයට නොපෙන්වන නිසා වයස අවුරුදු 20ක් හෝ එයට වඩා වැඩි සෑම අයෙක්ම අවම වශයෙන් වසර 5කට වරක්වත් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කරගත යුතුය.

කොලෙස්ටරෝල් වැඩිවීමෙන් හටගන්නා අවදානම් අවස්ථා
• පක්ෂ ඝාතය
• හෘදයාබාධ
• අක්මාවේ මේදය තැන්පත් වීම (Fatty Lever)
• සිරුරේ අනෙකුත් ඉන්ද්‍රියයන්ට රුධිරය සපයන ධමනි අවහිර වීම
• කාලීන වකගුඩු රෝග
• ලිංගික අප්‍රාණිකත්වය
• අමතක වීමේ රෝගය

පාලනය අපහසු අවස්ථා

• රෝගය පරම්පරාගතව එනවිට
• ස්ත්‍රී, පුරුෂභාවය අනුව (ස්ත්‍රීන්ට වඩා පුරුෂයන්ට කොලෙස්ටරෝල් රෝගයේ ප්‍රවණතාවය වැඩියි. කාන්තාවන්ගේ මාස් ශුද්ධිය නතර වූ විට රෝගය හට ගැනීමේ අවදානමක් ඇතිවේ.

පාලනය හා ප්‍රතිකාරය

රෝග පාලනයේ වැදගත්ම සාධකය වන්නේ ආහාර දිරවීම නිසි පරිදි පවත්වා ගැනීමයි. ආයුර්වේදයේදී ප්‍රතිකාර වශයෙන් සිදුකරන්නේ කොලෙස්ටරෝල් අඩුකිරීම නොව පාලනය කිරීමයි. ආහාර ජීර්ණය සමතුලිතව පවත්වා ගැනීම හා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් හරහා ශරීරය විසින්ම අවශ්‍ය පමණට කොලෙස්ටරෝල් නිපදවා ගන්නා අතර අවශ්‍ය ප්‍රමාණයේ පෝෂණය සඳහාද යොදවා ගනී. ආහාර ජීර්ණය නිසි පරිදි පවත්වා ගැනීමට ආහාර පාන රටාව, මානසික හේතු, විහරණ (ඇවැතුම් පැවතුම්) පාරිසරික හේතු යන මේ සියල්ල වැදගත් වේ.

තෙල්වලින් අපේ රටට වඩාත් සුදුසු වන්නේ පොල්තෙල්ය. අපට ආවේණික මෙන්ම වසර දහස් ගණනක් තිස්සේ ලාංකිකයන් පොල්තෙල් භාවිත කළ බැවින් ඒවා භාවිතයට බියවිය යුතු නොවේ. බියවිය යුත්තේ කෘත්‍රිම තෙල්වර්ග පරිභෝජනයටයි.

රෝගීන් සඳහා නුසුදුසු ආහාර

චීස්, බටර්, සත්ත්ව තෙල්, මස්, සම සහිත මස්, කෘත්‍රිම රසකාරක දැමූ ආහාර, කල්තබා ගැනීමට විෂ රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර, සීනි, අයිස්ක්‍රීම්, හරක් මස්, ෆාම් තෙල්, කුකීස් වර්ග, පේස්ට්‍රි, ඩෝනට්, කේක්, ක්‍රැකර් වර්ග, බිස්කට් වර්ග, බැදපු කෑම වර්ග, එළවළු තෙල්, ෆාස්ට් ෆුඩ්ස්, කෑන්වල තිබෙන බීම වර්ග, පිටරටවලින් ගෙන්වන තෙල් වර්ග ආදී මේ සියලු දේ රෝගී නිරෝගී කාහටත් නුසුදුසු ආහාරපානයි.

සුදුසු ආහාර

සෝයා බෝංචි සහ සෝයා නිෂ්පාදන, බෝංචි, කව්පි, බාර්ලි, ලොකු මාළු, පොඩි මාළු, එළඟි තෙල්, පොල් තෙල්, ඔලිව් තෙල් සුදුසුය. මුරුංගා, කංකු, ගොටුකොළ වැනි පළාවර්ගද, අලිපේර, පේර, ඇඹරුල්ල, දොඩම්, අඹ, දිවුල්, නෙල්ලි වැනි පළතුරුද, කොහිල, මුරුංගා, තක්කාලි වැනි එළවළුද, ගෙදර සාදාගත් තුන පහ, ඇඹුල් සඳහා ගොරකාද, වඩාත් සුදුසුය. එසේම අවශ්‍ය කෑමවලට කුරුඳු පොතු යෙදීමද, කුරුඳු පොතු, කුඹුක්, තේ මෙන් වක්කර සතියකට දිනක්, දෙකක් බීමද ගුණය. කරපිංචා, සුදුලූණු සම්බෝලයක් මෙන් අඹරා දෙහි හා ගම්මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍රකර කෑමට ගැනීමද වඩාත් ගුණදායකය.

විහරණ ලෙස ඇවිදීම, පිහිනීම, දිවීම, ගෙදර දොර වැඩකටයුතුවල නියැලීම, නිසි කාලයේ නිදාගැනීමද කළ යුතු වන අතර මානසික ප්‍රතිකාර ලෙසින් මෛත්‍රී භාවනාව හෝ ඕනෑම භාවනාවක නිරතවීම, නිවස හා රාජකාරි ස්ථානයන් නිශ්චල නිවුණු ස්ථානයක් කර ගැනීම ආදිය සිදුකරගත හැකියි.

පංචකර්ම ප්‍රතිකාර

රෝගය පාලනය කිරීම සඳහා ප්‍රධානම සාධකය වන්නේ ආහාර දිරවීම ක්‍රමානුකූලව පවත්වා ගැනීම බව අප ඉහතත් සඳහන් කළෙමු. අප ශරීරයට ආහාර ඇතුළු වන්නේ මුඛයෙනි. මේවා ගමන් කරන්නේ නළ පද්ධතියක් හරහාය. ශරීරයේ රුධිරය  ගමන් කරන්නේ නළ පද්ධතියක් හරහායි. බාහිර ලෝකයේ තිබෙන නළ/ කාණු පද්ධති සේම ශරීර අභ්‍යන්තරයේ ඇති නාළ පද්ධතියද කුණු බැඳී අපවිත්‍ර වේ. බාහිර පරිසරය පිරිසුදු කිරීම නිතරම කළද අභ්‍යන්තර නාළ පද්ධති පිරිසිදු කිරීමත් සාමාන්‍යයෙන් සිදුකෙරෙන්නේ නැත. එහෙත් ආයුර්වේදයේ මෙම ශරීර අභ්‍යන්තර කාණු/ නළ පද්ධතිය පිරිසිදු කිරීමට ක්‍රමවේද ඇත. ඒ පංච කර්මයයි.

විශේෂයෙන්ම හයමසකට වරක්වත් ඖෂධීය වශයෙන් විරේකයක් කර ගැනීමෙන් බොහෝ රෝග වළක්වා ගැනීමේ හැකියාව ඇත. එමගින් ඇස, කණ, නාසය ආදී පංච ඉන්ද්‍රියනුත් මනසත් නැවුම්ව පවත්වා ගත හැකිය. විරේක ප්‍රතිකාරයකින් ආහාර මාර්ගය පමණක්ම නොව රුධිර වාහිනී පවා පිරිසිදු කෙරේ. රෝගය හටගත් විට එයට ප්‍රතිකාර කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය. එහෙත් රෝගයට බිය වී රෝගයම ජීවිතය කරගෙන දිගින් දිගටම බෙහෙත් භාවිත කිරීමද නොකළ යුත්තකි.

♦ හේමමාලා කුමාරි රාජකරුණා