2017 ජනවාරි 21 වන සෙනසුරාදා

දෙවියන්ටත් ෂුවර් නැති නම් කුමක් කරමුද?

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

 

සමහර ප්‍රශ්නවලට හොද විසඳුම්වලට වඩා නරක විසඳුම් හොඳ වන අවස්ථා ඇත. එසේම  විකල්ප අවසන් වූ කල ගත හැකි තීරණ වන්නේ දරදඬු තීරණයි. ඒවා නරක වුවද විකල්ප රහිත ගැටලු විසඳිය හැක්කේ මෙවැනි තීරණ මගිනි. බුද්ධිමත් තීරණ ගැනීම පිළිබඳව ලාංකිකයාට ඇත්තේ එතරම් හොඳ ඉතිහාසයක් නොවේ.

දුටුගැමුණු රජු රට එක්සේසත් කර වසර තිස් හයක් ගත වීමට පෙර වළගම්බා රජු රජකමට පත්වී මාසයක් වැනි කෙටි කලෙකින් නැවතත් රට සතුරන් අතට පත් වන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව සැලකිල්ලක් නොදක්වමින් කටයුතු කළ නිසාවෙනි.  සතුරු ආක්‍රමණ සිදුවීමට බොහෝ ඉඩ තිබු මුහුදු වෙළෙඳ මාර්ගයේ පිහිටි අප රට තුළ එවන් ආක්‍රමණ පැරදවිය හැකි යුධ බලයක් නිර්මාණය නොවුයේ ඇයි? දුටු ගැමුණු රජුගේ කාර්ය සඵලත්වයට පැමිණීම මැනිය යුත්තේ ඉන් පසු පැවති සමාජ දේශපාලන ආර්ථික රටාව තුළය. 

මහාවංශය අනුව දුටු ගැමුණු රජු වීරයකු කර ඉන් පසු සතුරන් ඝාතනය පිළිබඳ දුටු ගැමුණු  රජුගේ හෘද සාක්ෂියේ  පසුතැවිල්ල උත්කර්ෂයට ලක් කර ඇත. මිරිස් මාලුවක් භික්ෂූන් වහන්සේට පුජා නොකර ආහාරයට ගැනීමේ වරදකාරී හැඟීම වෙනුවෙන් විශාල ධනයක් වැය කර මිරිසවැටිය වැනි දාගැබක් ඉදි කිරීම තුළ පැහැදිලි කරන්නේ දුටු ගැමුණුගේ අතාර්කික දර්ශනයයි. රට බේරාගැනීමෙන් පසු සිදුකළ යුතු වු ආර්ථික සමෘද්ධිය ළගා කර ගෙන ශක්තිමත් ජාතික රාජ්‍යයක් ගොඩ නැගීම වෙනුවට පසු තැවිල්ලට පත් රාජ්‍ය නායකයකු නිර්මාණය කරනු ලැබුයේ දුටු ගැමුණු රජුට උපදෙස් දුන් උපදේශකයන් විසිනි. රාජ්‍යයකට තිබිය යුතු බුද්ධිමය මතවාදය සකස් කිරීමට භික්ෂූන් වහන්සේ අසමත්වීමෙන් ශක්තිමත් මධ්‍යගත පාලනයක් තුළ රාජ්‍යය ශක්තිමත් වීම වැළකිනි.

ලංකාවේ වසර 2500ක ඉතිහාසයෙන් වසර 800ක් වැනි කාලයක් විදේශික පාලකයෝ මෙරට පාලනය කර ඇත. එහෙත් යුද ශක්තිය ලංකාවේ වර්ධනය වීමක් සිදු වී නොමැත. ඉන්දියාව තම පස මිතුරා වන චීනය සහ පාකිස්ථානය අභිබවමින් ශක්තිමත් යුද ශක්තියක් වර්ධනය කරගෙන සිටි එයට ආසන්නම උදාහරණය වන්නේ අග්නි 5 මිසයිලයයි. කිලෝමීටර් 5000 ක් පමණ දුරට නියමිත ඉලක්කයට යැවිය හැකි මිසයිලයක් නිපදවමින් ඉන්දියාව කියා සිටින්නේ කලාපයේ බලවතා තමා බවයි. එහෙත් වසර තිහක යුද්ධයකින් පසුවත් අපට රටට අවශ්‍ය යුද බලය වෙනුවෙන් තවමත්  විදේශ මත යැපීමට සිදුව තිබේ. ජාතික ආරක්ෂාව යනු ඕනෑම රටක් ප්‍රමුඛතාවය ලබාදෙන අරමුණකි. මක්නිසාදයත් ජාතියක් විනාශ කිරීමට යන කාලය තාක්ෂණික දියුණුව නිසාවෙන් අවම වෙමින් පැවතීමයි. අමෙරිකාවට ලෝකය විනාශ කිරීම සඳහා ගත වන කාලය සති දෙකක් දක්වා ගණන් බලා ඇත. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරීත්වය දෙස බලන විට ඔවුන් රටක හෝ ජාතියක  ස්වෛරීභාවය වෙනුවෙන් මැදිහත් වීම අපේක්ෂා කළ නොහැකිය. රුවණ්ඩාවේ මහා ජන සංහාරය හමුවේ නිහඬව සිටි අතර බංගලාදේශයේ බෞද්ධ ආගමිකයින් ඝාතනය කරද්දීද ටිබෙටය චීනය විසින් තම අණසකට යටත් කරනු ලැබ තිබියදී මෙන්ම  වර්තමානයේ මැදපෙරදිග දිග් ගැස්සෙන යුද්ධය හමුවේ  මුනිවත රකිමින් සිටීම මගින් පැහැදිලි කරන්නේ ලෝකය තුළ ශක්තිමත් ජාතියක් නොවීමේ අනතුරයි. විදේශ බලපෑම් ඉදිරිපිට අප කොතරම් අසරණ වී ඇතිදැයි හම්බන්තොට වරාය චීනයට පැවරීමේ සිද්ධියෙන් පැහැදිලිය. 

එක් පැත්තකින් බටහිර සහ අමෙරිකානු බලපෑම ඩයස්පෝරාව හරහා වැඩිවන විට එය සමනය කිරීම සඳහා ආණ්ඩුව පෙරළා දැමු නමුත් අතර චීනයේ බලපෑමෙන් මිදීමට නොහැකිව දෛවය කරුමයක් බවට පත් වී ඇත. බටහිරින්වත් නැගෙනහිරින්වත් ගැලවීමට නොහැකිව අසරණ වු ජාතියක ඉරණම කවරාකාර වේදැයි කිසිවකුටත් කිව නොහැකිය. රටක් වශයෙන් තව වසර දහයකින් පහළොවකින් හෝ විස්සකින් අප ළඟා කර ගත යුතු ඉලක්ක පිළිබද දැක්මක් අපට තබා ගත නොහැකි වී ඇත. යෝධ සංවර්ධන ව්‍යපෘති සියල්ලම රැඳී ඇත්තේ චීනයේ හෝ ඉන්දියාවේ කැමැත්ත පරිදිය. විදේශ ණය හෝ ආධාර නැවතුණහොත් රටට අත් වන ශෝචනීය ඉරණම සිතා ගත නොහැකිය.  රට ඉතියෝපියාවක් හෝ සෝමාලියාවක් වනු ඇත. දේශීය ආර්ථිකය දියුණු කරමින් විදේශ ණය ආධාර කළමනාකරණය කරගැනිම වෙනුවට අප සිදු කර ඇත්තේ විදේශිය වුවමනාවන් ඉටු කර දීමයි. 

ජයග්‍රහණයක් වෙනුවෙන් අප දැරිය යුතු පිරිවැයක් ඇත. අප නැවත නැවතත් විමසිය යුත්තේ ජාතියක් ලෙස අප ජයග්‍රහණ වෙනුවෙන් දරූ පිරිවැය කුමක්ද යන්නයි. නිදහස යනු පිරිවැයක් නොදරා අපට බලහත්කාරයෙන් දෙනු ලැබු  දෙයකි. අපට වැඩි වශයෙන් ලැබීඇත්තේ කැලෑ කපා දෙවියන්ට පොල් ගසා වැස්ස ඉල්ලන නායකයන්වරු මෙන්ම පූජා වට්ටි හිස මත තබා ගෙන දෙවියන් වන්දනාවේ යන ජනතා නියොජිතයන්ය. පූජකයන් නැකැත්කරැවන් දෙන දේවල් කෙරෙහිත් විදේශවලින් දෙන ණය හෝ ආධාරත් විකිණිය හැකි සම්පත් පිළිබඳවත් විශ්වාස කරන අපේ ඉරණම මීට වඩා වෙනස් විය නොහැකිය. දැන් අප සිටිනුයේ  විනාශයක මුව විටකය. දැන්වත් අප අපේ අත්තටු කෙරෙහි පමණක් විශ්වාස කරමින් ජයග්‍රහණයන් වෙනුවෙන් පිරිවැයක් දැරීමට සුදානම් නොවුවහොත් සිදු වනුයේ විනාශවීමටය. දෙවියන් විශ්වාස කරනුයේ දෙවියන්ට විශ්වාස කළ හැකි පුද්ගලයන්ය. අප පිළිබඳ විශ්වාසයක් දෙවියන්ටවත් තිබිය නොහැකි බව පමණක් මේ මොහොතේ සටහන් කර තබමි.

වජිර කාන්ත උබේසිංහ    
බෙලිඅත්ත