2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

මේෂ, කටක, මකර, තුලා ලග්නවලින් උපදින දරුවන්ට ප්‍රධානියකු වීමේ වාසනාව

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 210

මේ වනවිටත් ග්‍රහ මණ්ඩලයේ රජු තමාට උච්ච රාශි භවන වූ මේෂයේ රජ ගමනක යමින් සිටියදී 2018 මැයි මස 2 වැනි බුධ දින ග්‍රහ මණ්ඩලයේ සෙන්පති වූ කුජ තමාට උච්ච රාශි භවන වූ මකර රාශියට පිවිස ගමන් අරඹනු ඇත. මකර රාශියෙහි රවිට අයත් උත්‍රපල නැකතේ 2 වැනි 3 වැනි 4 වැනි පාදවලත් සඳුට අයත් සුවණ නැකතේ සම්පූර්ණවත් අඟහරුට අයත් දෙනට නැකතේ ප්‍රථම හා දෙවැනි පාදවලත් 2018 නොවැම්බර් මස 6 වැනි කුජ දින උදේ 8.23 දක්වාම බලවත් වූ ගමනක යෙදේ. 

මෙම වකවානුව තුළ උපදින දරුවන්ට පංච මහා පුරුෂ යෝග බලයක් වූ රුචක යෝග බලයේ ඵලද අත්වීම මත හැඩිදැඩි සිරුරක්ද යම්කිසි ප්‍රධානියකු වීමේ වාසනාවද හිමි එඩිතර දූ දරුවන් ලෙසද උපදිනු ඇත. එම ප්‍රතිඵලය මේෂ, කටක, මකර, තුලා ලග්නයෙන් උපදින අයට පමණක් හිමිවේ.

අප රට කෙරෙහි අවධානය යොමුකිරීමේදී මහජන සනීපාරක්ෂක ආරෝග්‍යශාලා ආශ්‍රිත කටයුතුවලට විදේශීය ආධාර හිමිවන වකවානුවකි. ධීවරයන් ආශ්‍රිත ප්‍රශ්න ඇතිවන අතර ඔවුනොවුන් අතර ගැටුම්, පහරදීම් සහ යාත්‍රාවලට අනතුරු සිදුකිරීම් වාර්තා වේ. හදිසි අනතුරු බහුල වන අතර දුම්රිය ධාවනයට අදාළව සිදුවන අනතුරුවල වර්ධනයක්ද පෙන්වයි. රට තුළ හදිසි පහරදීම්, ඝාතනය කිරීමේ සිදුවීම්ද වාර්තා වනු ඇත. හදිසි ජල ගැලීමක් සිදුවන වකවානුවකි.
මීළඟට ලග්න අනුව

මේෂ - රැකියාවේ උසස් වීම්

ඔබට යහපත් ඵල අත්වන අතර කරන කටයුතුවල සාර්ථකභාවයක් අත්වනු ඇත. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වේ. රැකියාවේ උසස් වීමක් බලාපොරොත්තු වූයේ නම් එය ඉෂ්ඨ වනු ඇත.

වෘෂභ - බොරු චෝදනාවක්

ඔබටද යහපත් වන අතර වැඩිපුර තමා ගැන සිතා කටයුතු කිරීමට යාමෙන් හිතවතුන් තමා සමඟ සිත් අමනාපකම් ඇතිකරගනු ඇත. බොරු චෝදනාවක් ඔබ වෙත එල්ලවන බැවින් කල්පනාකාරීව සිතිය යුතු වකවානුවකි.

මිථුන - කෙනකුගෙන් කරදර

ඔබට එතරම් යහපත් ඵල අත්නොවන අතර ඔබ කිරීමට යන කටයුතු සඳහා විවිධ වූ බාධා එල්ලවන අතර ඔබ ඇසුරු කරන පුද්ගලයකුගෙන්ම ඔබට කරදර ඇතිවන වකවානුවක් වන අතර රිය පැදවීම් කරන අය අවධානයෙන් කටයුතු කළ යුතුය.

කටක - මංගල යෝජනා

ඔබට ඉතා යහපත් ඵල අත්වන අතර කරන කටයුතුවලින් සාර්ථක ඵල ඔබට අත්වනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වනු ඇත. ඔබගේ නම අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වේ.

සිංහ - ලේ ආශ්‍රිත පීඩා

ඔබට මිශ්‍ර ඵල අත්වන අතර සතුරු බලවේග හඳුනාගෙන සාර්ථකව ඉදිරියට යාමට අවකාශ අත්වනු ඇත. ලේ ආශ්‍රිත පීඩාවක් නිසා වරින්වර අපහසුතාවයට ඔබව පත්වනු ඇත. මෙම වකවානුව තුළ ඉක්මන් නොවී සිතාබලා කටයුතු කිරීම වැදගත් වේ.

කන්‍යා - පෙම් සබඳතා

විරුද්ධ ලිංගික ආකර්ෂණයට ඔබව නතුවන අතර ප්‍රේම සම්බන්ධතා, බැඳීම් ඇතිවන්නාවූත් වකවානුවකි. සිත කෝප ගතියෙන් යුක්ත වන අතර උදර පීඩාවක් ගෙන දෙන වකවානුවකි.

තුලා - කටයුතු සාර්ථකයි

ඔබට ඉතා යහපත් ඵල අත්වන අතර උරුම හිමිකම් ලබාගත හැකිය. භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ඉතා යහපත් ඵල අත්වේ. ඔබගේ මතයට වැඩ කරමින් යම් යම් දේ සඳහා නොපැකිලිව ඉදිරිපත් වීමෙන් ඔබේ කටයුතු රැසක් සාර්ථක කරගත හැකි කාලයකි.

වෘශ්චික - රැකියාවට හොඳයි

කාර්මික ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරත වී සිටින අයට යහපත් වන අතර රැකියාවේ උසස්වීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන අතර නව රැකියා අපේක්ෂාද සඵල වනු ඇත.

ධනු - ලිංගික ආකර්ෂණ

ඔබගේ දේ රැකගෙන කටයුතු කරන වකවානුවක් වන අතර විරුද්ධ ලිංගික බැඳීම් ඇතිවන වකවානුවකි. හදිසි ශරීර පීඩා ඇතිවන බැවින් පරිස්සම් වීම වැදගත් වනු ඇත.

මකර - නව දේපලක්

ඔබට ඉතා යහපත් වන අතර අන් අයගේ ගෞරවයට ඔබව පත්වනු ඇත. නව දේපලක් මිලදී ගැනීමටද යහපත් වන අතර සේවා ස්ථානයේද උසස්වීම් ලබාගත හැකිවේ.

කුම්භ - අභූත චෝදනා

ඔබට යහපත් ඵල අත්නොවන අතර සේවා ස්ථානය ආශ්‍රිත ප්‍රශ්න මතුවේ. අභූත චෝදනාවලට ඔබව හසුවන බැවින් බුද්ධිමත්ව කටයුතු කළ යුතු වකවානුවකි. පවුල් දිවියේද සමගිය පලුදු වනු ඇත.

මීන - ව්‍යාපාරවලට හොඳයි

ඔබගේ හිතමිතුරන්ගෙන්ද උදව් උපකාර ලැබෙන අතර විරුද්ධ ලිංගික බැඳීම් ඇතිවනු ඇත. මුදල් යොදවා ව්‍යාපාර ඇරඹීමටද යහපත් වන අතර විශාල අන්දමේ වියදම් දැරීමද සිදුවේ.