2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

කඳු දෙකක් මැද එල්ලෙන ඇඳක ඉඳන් බලමුද පොතක්?

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 188

ඉංග්‍රීසි භාෂාවෙන් Hammock යනුවෙන් හඳුන්වන්නේ තොටිල්ල, එහෙම නැත්නම් එල්ලෙන ඇඳයි. ඉතින් අපි අද කතා කරන්න සූදානම් වන Extreme Hammock කියන්නේ ටිකක් බිහිසුණු අන්දමේ තොටිල්ලක්.

මේකෙදී කෙරෙන්නෙ කඳු මුදුන් දෙකක් යා කරමින් විශාල කේබල් එකක් අදිනවා. ඒ කේබල් එකේ තැනින් තැන ඉස්සෙල්ලා කිව්ව විදිහේ එල්ලෙන නිදන ඇඳන් සවි කරනවා. මේ නිදන ඇඳන් කියලා හඳුන්වන්නේ බොහෝදුරට රෙදිවලින් හදපු රිලැක්ස් ඇඳවල්.

පොළොව මට්ටමේ ඉඳන් අඩි සිය ගණනක් වගේම දහස් ගණනක් උඩින් මේ ක්‍රියාකාරකම සිදුකෙරෙන නිසා බොහෝ වෙලාවට ආරක්ෂිත කේබලයකින් සංචාරකයාව ප්‍රධාන කේබලයට සම්බන්ධ කර තබනවා. නැත්නම් ඉතින් සුළු අත්වැරැද්දකින් සුන්දර අත්දැකීමක් මරණීය අත්දැකීමක් වෙන්න පුළුවන්.

එල්ලෙන තොටිල්ලේ විවේකී සුවයෙන් ඉන්නා අතරේදී පොතක් පත්තරයක් බලන්න වගේම කැමති නම් සංගීත භාණ්ඩයක් වාදනය කරමින් සින්දුවක් කියන්නත් බාධාවක් නැහැ. 

මේ ක්‍රියාකාරකම දන්නා තරමින් ලංකාවේ නම් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි ලංකාව පුරා කඳු විශාල ප්‍රමාණයක් වගේම ඉතාම ලස්සන දර්ශන තල තියෙන නිසා මේ ක්‍රීඩාව අපේ රටේ හොඳට ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක්. ලොකු සංචාරක ආකර්ෂණයකුත් ඇතිකරගන්න පුළුවන් වේවි.