2017 ජනවාරි 21 වන සෙනසුරාදා

බඹර පහර

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

අපි නොදන්න යථාර්ථය...

අපි වැඩ කළාම දෙවියන්ට වගේ සළකයි කියලා හුඟාක් අය හිතනවා. නැහැ. ගොඩක් අයට මේ දේශපාලන යථාර්ථය තේරෙන්නේ නෑ. සමහර වෙලාවට දෙවියන්ට වගේ නෙවෙයි. බල්ලන්ට වගෙයි සළකන්නේ. අපි එක්ක ළඟින්ම වැඩ කළ මිනිස්සු රැල්ල තිබෙන්නේ ඒ පැත්තට නම් එතැනට ඇදෙනවා. ආයෙ සද්ද නැතිව එනවා. ඉතින් ඒ නිසා කිසිම බලාපොරොත්තුවක් ඇතිව දේශපාලනය කරන්න එපා. මම තරුණ පරපුරට දෙන අවවාදය ඒකයි..

බදුල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට වූ උමං මාර්ගය හා වෙළෙඳ සංකීර්ණය විවෘත කරමින් පසුගියදා මේ අපූරු අවවාදය දුන්නේ එසේ මෙසේ අයෙක් නොවේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වාය. ඇමැතිවරයාගේ කතාව බොහෝ දිග අතර වැකි කීපයකින් දැක්වූයේ ඔහු තුළ පැවැති ඉච්ඡාභංගත්වය මුසු දේශපාලන හැඟීමයි.

මේ දිනවල ඇසෙන්නේම මෙවැනි ඉච්ඡාභංගයෙන් පිරුණු දේශපාලන කතාය. පක්ෂ දේශපාලනයේ ද පොරොන්දු දේශපාලනයේ ද ඉච්ඡා බස්වලට රැවටී සිටින ජනතාවට නම් මේ කතාවලින් දැන් විචිකිච්ඡාවක් ඇතිවන්නේ නැති ගාණය. දේශපාලකයන් පළමු කොටම එය තේරුම් ගත යුතුව තිබේ. ස්වාධීන වීම්, බලවේග නිර්මාණය කිරීම් මෙන්ම පොදු අපේක්ෂා ආදිය පවා දැන් තිබෙන්නේ හොඳටම තොරොම්බල් කරලාය. එනිසා ප්‍රතිරූප දේශපාලනයේ නිරත මැම්බර් මහත්වරුන්ට නම් අවවාද දීමට පෙර තරුණ පරපුරෙන් ගැනීමට ඕනෑ තරම් උපදෙස් තිබේ.

දේශපාලනයේ තෙම්පරාදු වී සිටින ජ්‍යෙෂ්ඨයන්ගේ මේ කතා නම් රාජ කතාය. සල්ලි කඳු හෙල්ලෙන පවුල් ගස් වැඩෙන මේ දේශපාලනයේ යථාර්ථය කුමක්දැයි ඔවුහු දැන් පොදු ජන සමාජයට පන්ති දමා උගන්වන්නට යත්න දරති. වඩාත්ම සෝපහාසී ක්‍රියාව නම් තරුණ පරපුරට ද අවවාද දීමයි. කිසිම බලාපොරොත්තුවක් ඇතිව දේශපාලනයේ යෙදෙන්නට එපායැයි දැන් ඔවුහු කියති. මේ නම් කවර දේව ධර්මයක් ද? හැට අට වසරක් පුරා මෙරට දේශපාලනය කළෝ කවරහුද? 

ලංකාවේ දුප්පත්ම පළාතේදී කී කතාවට අපූරුම පිළිතුර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එදිනම කොළඹ දී ලබා දී තිබුණේ අහම්බයකින්දැයි නොතේරේ. කෙසේ වෙතත් දේශප්‍රිය මහතා අවධාරණය කරතිබුණේ දේශපාලනයට ඇති තරුණ පරපුරේ උනන්දුව වේගයෙන් කඩාවැටෙමින් පවතින බවයි. පසුගිය පළාත් සභා මැතිවරණවලදී දලුලමින් පැවැති තරුණ දේශපාලන උද්යෝගය ජනාධිපතිවරණයේදී කූඨප්‍රාප්තියට පත් වූ බව කී හෙතෙම තරුණ පරපුර මේ වනවිට ලංකාවේ දේශපාලනය ගැන කලකිරී සිටින බව පැවැසුවේ කණස්සල්ලෙනි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ කතාව හුදු ප්‍රකාශයක් සේ සළකා බැහැර කළ හැකි නොවේ. ඊට හේතුව නම් තරුණ ඡන්ද සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ආරම්භ කළ වැඩපිළිවෙළේ නිරීක්ෂණ පදනම් කරගෙන ඔහු මේ ප්‍රකාශය කළ නිසාය. 

හීන කඳු ගැසූ මැතිවරණ දේශපාලනයට තිත තැබිය යුතු බව නැවුම් ඡන්ද විසින් කියනු ලැබීම අරුමයක් නොවේ. එයින් ධ්වනිත වන අරුත වන්නේ පිල් බෙදී කරන පාෂාණිභූත දේශපාලනය අභියෝගයට ලක්කරන පාවෙන ඡන්ද වැඩිවෙමින් පවතින බවයි. දේශපාලනයෙන් කලකිරුණු ඇත්තන් රැල්ලට යනවා යැයි කියන්නේ ඇතැම්විට මේ පරපුරට විය හැකිය. සැබැවින්ම එය එසේ වන්නේ නම් අප සතුටු විය යුතු මිස දුක්විය යුතුද? නැත. අප සිතන්නේද දේශපාලකයන් භීතියට පත්කරන එවන් රැල්ලක් තිබිය යුතු බවයි. මක්නිසාදයත් සර්වජන ඡන්ද බලය යනු වහල් හිමියා හා ප්‍රවේණිදාසයා අතර සම්බන්ධයක් ගොඩනගන වස්තුවක් නොවන බැවිනි. අනෙක් අතට කොල්ලන් හා කෙල්ලන් බුලට් එක විසඳුම ලෙස දකින්නේ බැලට් එකෙන් බැටදීම ගැන වූ විශ්වාසය පළුදු වූ ජන සමාජයකම වන බැවිනි.  

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00