2017 ජනවාරි 21 වන සෙනසුරාදා

මෝටර් සයිකලේ වහලේ කාර් එක වැටේ

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118

දිනපතා හතර වටෙන් අසන්නට ලැබෙන රිය අනතුරු බහුලය. සමහරු තුවාල ලබා සිටියදී ඇතැමෙක් බරපතළ තත්ත්වයෙන් රෝහල් ගත කෙරෙති. තවකෙක් හෝ පිරිසක් එතැනම මියගිය බවට වාර්තා වන සිදුවීම්ද බහුලය. ඇතැම් බරපතළ අනතුරු හමුවේ සමහරුන් දිවි බේරාගන්නේ වාසනාව නිසාමය. ඇතැම් රිය අනතුරු සිදුව ඇත්තේ කෙසේදැයි සිතා ගැනීමත් අපහසුය. එවැනි අනතුරකින් දිවි බේරී ඇත්නම් විශ්මය ජනකය. ජීවිතයේ ඉරණම විසඳන්නට සමත් බරපතළ අනතුරු දෙකකින් එක් ජීවිතයකට වාසනාවත් අනෙක් ජීවිතයට අවාසනාවත් ගෙන දුන් සිදුවීම් දෙකක් වාර්තා වූයේ ඉකුත් සතියේදීය.

එහි අවාසනාවන්ත අනතුර බදුල්ල ඉඹුල්ගොඩ ප්‍රදේශයෙන් ද අනෙක් අනතුර කොළඹ රත්මලාන ප්‍රදේශයෙන් ද වාර්තා විය. මේ සටහන ඒ අරුම පුදුම අනතුරු දෙක පිළිබඳවය.

ඉඹුල්ගොඩ දී අවාසනාවන්ත මරණයක් හිමිකර දෙමින් අනතුරට පත්ව තිබුණේ යතුරු පැදියකි. වේගයෙන් ගමන් ගත් යතුරු පැදිය මාර්ගය ආසන්නයේ වූ නිවෙසක වහළය මතට ඇද වැටී සෙවිලි තහඩු තුනක් බිඳ දමමින් වහළය මතින්ද බිමට පෙරළී සිදුව තිබූ අනතුර කෙනකුට සිතාගැනීමටද අපහසුය.

බිහිසුණු අනතුරක සාධක මවාපාමින් දෑස් ඇදහිය නොහැකි තවත් අනතුරකට ගාලු පාරේ රත්මලාන ප්‍රදේශයේ දී මෝටර් රථයක් මුහුණ පා තිබිණි. එහිදී කාන්තාවක විසින් පදවාගෙන ගිය මෝටර් රථය අනතුරට පත්ව නැවතී තිබුණේ මාර්ගය මැද යකඩ වැට මත රැඳීමෙනි. 

වාර්තා වන පරිදි බදුල්ල ප්‍රදේශයේ මාරක යතුරු පැදි අනතුර සිදුව තිබුණේ මෙසේය.

බදුල්ල නගරයෙන් ආරම්භ වී දිවෙන ස්ප්‍රිංවැලි මාර්ගයේ කිලෝමීටර් හතරක පමණ දුරින් පිහිටියේ ඉඹුල්ගොඩය. බදුල්ල රොක්හිල් ප්‍රදේශයේ පදිංචිව සිටි සුමිත් නන්දසිරි මේ මාර්ගය ඔස්සේ සිය යතුරු පැදිය ධාවනය කරමින් සිටියේය. දුරුතු පෝය යෙදී තිබුණු 12 වැනිදා සවස් යාමය ගෙවෙමින් තිබූ නිසා පාරේ කිසිවකු හෝ දකින්නට සිටියේ නැත. සුපුරුදු ලෙසින් සිය යතුරු පැදියට නැගි සුමිත් කිසිදු ආයාසයකින් තොරව වේගයෙන් යතුරු පැදිය පදවාගෙන යමින් ඉඹුල්ගොඩ මංසන්ධියෙන් උදයගම අතුරු මාර්ගයට හැරවීය.

ඉඹුල්ගොඩ මංසන්ධියෙන් වම්පසට කෝන්ක්‍රීට් අතුරා ඇති උදයගම අතුරු පාර ආරම්භයේ පටන් මීටර් දෙසීයක් පමණ දුරට ඇත්තේ අධික බෑවුමකි. ස්ප්‍රිංවැලි මාර්ගයේ නිදහසේ පදවාගෙන ආ යතුරු පැදිය රිසි සේ අතුරු පාරට හැරවූවා පමණය. මොහොතින් මොහොත යතුරු පැදියේ වේගය වැඩිවන්නට විය. තිරිංග තද කෙරුවද යතුරු පැදියේ වේගය අඩුවන බවක් දකින්නට නොවීය. වේගයේ තරමට යතුරු පැදිය අතහැර පනින්නට තරම් කල්පනාවක් සුමිත්ට නොවීය. හැකි උපරිම තදින් හැඬලය අල්ලාගත් ඔහු කෙසේ හෝ තිරිංග තදවනු ඇතැයි සිතමින් යතුරු පැදියේ වම්පස වූ තිරිංගය මත පා තබා සිටගන්නට විය. එහෙත් වේගය වැඩිවූවා පමණය. සුමිත්ට දෙවියන් බුදුන් සිහිවන්නට ඇත්තේ ඒ මොහොතේය.

බ්‍රේක් නැතෝ... අයින් වෙයෝ... බ්‍රේක් නැතෝ... අයින් වෙයෝ... යනුවෙන් හඬ නඟන්නට වූ සුමිත් පවනට බඳු වේගයෙන් යතුරු පැදියේ බෑවුම දෙසට ඇදී ගියේය. අතුරු පාරේ අධික බෑවුමත් සමඟ වමට බරවන ලෙස පිහිටි වංගුව නිරුපද්‍රිතව ගන්නට සුමිත්ට හැකියාවක් තිබුණේ නැත. වංගුවත් සමඟ දකුණු පසින් පහළට ඇත්තේ ද ප්‍රපාතයකි. වේගයෙන් ආ සුමිත්ගේ යතුරු පැදිය කිසිදු පාලනයකින් තොරවම මාර්ගයෙන් පැන බෑවුමට ඉහළින් විසි වී ගියේය.
අඩි ගණනාවක් ඉහළට ගුවනේ පාවෙමින් ගිය සුමිත් රැගත් යතුරු පැදිය වේල්ල පහළින් පිහිටි නිවෙසේ වහළය මතට ඇද වැටුණේ හෙණ හඬක් නංවමිනි. එතෙකින් නොනැවතුණු සුමිත් සහ මෝටර් බයිසිකලය නිවෙසේ වහළය සෙවිලි කළ ෂීට් තුනක්ද බිඳ දමමින් පිටුපස බිත්තිය අසලින් මිදුලටම ඇද වැටිණි.

ඒ මොහොතේ නිවස ඉදිරිපිට රැඳී සිටි නිවැසියන්ට ඇසුණේ අධික ශබ්දයකි. අවේලාවේ වහළය මතින් ඇසුණු නුපුරුදු මහ ශබ්දය කුමක්දැයි බලන්නට ඔවුහු නිවෙස පසුපසට දිව ආහ. අදහාගත නොහැකි පරිදි ෂීට් ලෑලි බිඳ දමමින් ඒ මතට වැටී තිබූ යතුරු පැදියත් සමඟ බිම වැටී සිටියේ අසල්වැසියකු වූ සුමිත් නන්දසිරිය. ඔහු හිස් වැසුමක් පැළඳ සිටියද හිස දෙසින් ලේ වහනය වෙමින් තිබිණ. වහා ක්‍රියාත්මක වූ ගෙහිමියෝ අසල්වැසි හිතවතුන් හා එක්ව සුමිත් රෝහල වෙත රැගෙන යන්නට පියවර ගත්හ. පසුගිය 12 වැනිදා පස්වරු 6.50ට පමණ වූ මේ අනතුරෙන් මොහොතකට පසුව සුමිත් බරපතළ තත්ත්වයෙන් රෝහල් ගත කර සිටියදී 13 වැනි දින පස්වරැ 4.30ට පමණ මරණයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. 

සිද්ධිය පිළිබඳව විමර්ශනය කළ බදුල්ල පොලීසියේ රථවාහන අංශ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජේ.එම්.එස්.ඩී. ජයතුංග මහතාට දැකගන්නට ලැබී ඇත්තේ මීටර් 200ක තරම් බෑවුමේ මීටර් ගණනක් දුරට මාර්ගය දිගේ සීරීම් ලකුණක් ඇති බවය. වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වූයේ එම සීරීම් ලකුණ යතුරු පැදියේ තිරිංග පැඩලය මගින් සිදුවී ඇති බවය.

ඒ අනුව පොලීසිය විශ්වාස කරන්නේ සුමිත් යතුරු පැදියේ වේගය වැඩිවීමත් සමඟම එහි තිරිංග පැඩලය මත සිටගෙන ඉන්නට ඇති බවය. මේ අතර අනතුර සිදුවූ ස්ථානයට තරමක් ඉහළින් පිහිටි නිවෙසක අයෙක් පවසා තිබුණේ අනතුර සිදුවන්නට පෙර බ්‍රේක් නැතෝ... අයින් වෙයෝ... යැයි කීප වතාවක් හඬ නගනු ඇසුණු බවත් එකවරම හඬ නැතිව ගිය බවත්ය. මෙම පුද්ගලයා යතුරු පැදිය කාලයක් තිස්සේ තිරිංග ක්‍රියා විරහිතව තිබියදී ධාවනය කොට ඇති බව සමහරු පවසති. එසේ වී නම් යතුරු පැදියේ අඩුපාඩු දැන දැනම එය ධාවනය කළ ඔහුගේ නොසැලකිල්ල හේතුවෙන් අනතුර සිදුව ඇති බව පැහැදිලිය. ඔහුගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ හිසට තුවාල සිදුවීමෙන් සහ ලේ වහනයෙන් මරණය සිදුව ඇති බවය.

සුමිත් නන්දසිරි මහතාගේ අනපේක්ෂිත මරණය යතුරු පැදි අනතුරකින් කෙළවර වෙද්දී කිසිදු සීරීමක් හෝ නොවන ලෙස සිදුවූ අරුම පුදුම මෝටර් රථ අනතුරක් වාර්තා වූයේ රත්මලාන ප්‍රදේශයෙනි.

දිනය ඉකුත් 15 වැනි ඉරිදාය. ගාලු පාරේ කොළඹ දෙස සිට මොරටුව දෙසට ධාවනය වෙමින් තිබූ වාහන රැසකි. නිවාඩු දිනයක් නිසා සාමාන්‍ය දිනයන්ට වඩා පාරේ නිදහස් බවක් පෙනෙන්නට විය. ඒ සියල්ල අතරින් කාන්තාවක් පැදවූ නවීන මාදිලියේ කුඩා මෝටර් රථයක් කොළඹ දෙසින් මොරටුව දෙසට අධික වේගයෙන් නොවූවද තරමක වේගයකින් එය ධාවනය වෙමින් තිබිණි. මෝටර් රථයට රත්මලාන ප්‍රදේශය පසු කරන්නට තිබුණේ  තවත් කෙටි දුරක් පමණය.
මාර්ගයේ දකුණු තීරුවේ ධාවනය වෙමින් තිබූ රථය ඉදිරියෙන් කොතලාවල පුර පදික මාරුවක් දකින්නට ලැබිණ. එහි කිසිවකු පාර මාරුවන බවක් පෙනෙන්නට නොවූයෙන් මෝටර් රථයේ වේගය බාල කළේ ද නැත. මේ වෙද්දී රථය ගමන් කළේ දකුණු මංතීරුවේත් කෙළවරින් පිහිටි කොන්ක්‍රීට් බැම්ම ආසන්නයේය. කහ ඉර සහිත පදික මාරුව ඇති කොටසේ මාර්ගය වෙන් කෙරෙන කොන්ක්‍රීට් තීරුව නොවීය. එම අඩි කීපයේදී මෝටර් රථය තවත් තරමක් දකුණට ඇදී යමින් තිබිණ.

රථය පදවන අයට එහි වගක් නොවීය. සැණෙකින් මෝටර් රථයේ ඉදිරිපස මැද කොටස පෙර කී කොන්ක්‍රීට් තට්ටුව මතින් ධාවනය වන්නට විය. වේගය පාලනය නොවූයෙන් ක්ෂණයකින් මෝටර් රථය අඩි කීපයක් ඉහළට එසවී නතර විය. දැන් මෝටර් රථයේ පසුපස රෝද හැරෙන්නට සෙසු ඉදිරි කොටස් සියල්ල පොළොවෙන් ඉහළට එසවී හමාරය. සිදුවීමත් සමඟ අවට පිරිස වහාම එතැනට රැස් වූහ. වාසනාවකට වාහනයේ සිටි කිසිවකුට අකරතැබ්බයක් වී නොතිබිණි. රියැදුරු අසුනේ සිටියදී එහි රැස් වූ අයගේ ආධාරයෙන් පිටතට පැමිණියේ රූමත් කාන්තාවකි. තනියම මොටර් රථය පදවාගෙන යමින් සිටියදී මේ අනතුරකට පත්වූවද ඇයට කිසිදු සීරීමක් හෝ නොවීය.

සිදුවීම ඒ මොහොතේම පොලීසියට දන්වන්නට රැස් වූ පිරිස කටයුතු කළහ. පොලිස් නිලධාරීන් මැදිහත් වී දොඹකරයක් ගෙන්වා මෝටර් රථය එම ස්ථානයෙන් ඉවත් කරන්නට පියවර ගනු ලැබීය. එහිදී පෙනී ගිය දෑ අනුව පදික මාරුව අසලින් මාර්ගය වෙන් කරන කොන්ක්‍රීට් තට්ටුවේ ශක්තිමත් යකඩ බටයක් වැනි කොටසකි. එය පදික මාරුව හුවාදක්වන්නට නිර්මාණය කළ කොටසකි. විශේෂිත සංඥාවකි. මෝටර් රථයේ වේගයත් සමඟ එහි ඉදිරිපස චැසිය කොටස රැඳී තිබුණේ ඒ මතය. ඒ හේතුවෙන් මෝටර් රථය ඉදිරිපස කෙළවර මාර්ගය වෙන්වන පරිදි සිටවූ යකඩ වැට මතට නැග තිබිණ.

එම මෝටර් රථය වම් තීරුවේ ගමන් ගත්තේ නම් එවැනි අනතුරක් සිදු නොවන්නට තිබුණි. මාර්ගයේ තිබූ කොන්ක්‍රීට් කණුව සහ යකඩ වැට හේතුවෙන් අනතුර එතෙකින් වැළකුණද නොඑසේනම් සිදුවන්නට තිබුණේ භයානක අනතුරකි. කෙසේ වෙතත් අනතුරින් පසුව මෝටර් රථය දකින්නට ලැබුණේ නුපුරුදු අනතුරක අරැම පුදුම සේයාවක් ලෙසිනි.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00