2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

ඒරාෂ්ඨකයට බියවෙන්න එපා!

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 366

ඒරාෂ්ඨක අපල කියූ පමණින්ම කවුරුත් බියට පත්වන බව පෙනේ. න්‍යායන් වශයෙන් එය එසේ වුවත් ප්‍රායෝගික වශයෙන් හැම අවස්ථාවකම එසේ නොවන බව පෙනෙන්නට තිබේ. එහි අනිෂ්ඨ විපාක දෙන අවස්ථා මඟහැරෙන්නේ කෙසේ දැයි දැනගැනීමට පාඨකයා තුළ කුතුහලයක් ඇති වනු ඇත.

ඒරාෂ්ඨක ගැන වරින් වර ලිපි ගණනාවක් ලියවී ඇත. නමුත් අප මේ දෙස බැලිය යුත්තේ ඉතා ප්‍රායෝගික දෘෂ්ඨි කෝණයකිනි.

ඉතා සංක්ෂිප්තව කියනවා නම් ශනි ලග්නයෙන් අටේ, දොළහේ, එකේ ගමන් කිරීමක් සඳුගෙන් එකේ, දෙකේ, අටේ සහ දොළහේ ගමන් කිරීමත් ශනි ඒරාෂ්ඨ වශයෙන් සැලකේ. ශනි එක රාශියක ගමන් කරන කාලය වර්ෂ දෙකහමාරක් වුවත් සඳු අටටත්, දොළහටත් යන භාවවල සිටීමෙන් ඒරාෂ්ඨ කාලය දිග් ගැස්සෙයි.

සාම්ප්‍රදායික හින්දු ජ්‍යොතිෂයේ වුවත් දැන් දැන් මේ ගැන පරස්පර විරෝධී මත ප්‍රකාශ වීමට පටන් ගෙන ඇත. එය එසේ සිදුවෙනවා ඇත්තේ ප්‍රායෝගික අත්දැකීම් අනුසාරයෙන් විය යුතුය. ඇත්ත වශයෙන්ම මුල් න්‍යායන් නිරවද්‍ය ලෙස හැඩ ගස්වාගත හැක්කේ මෙවැනි ප්‍රායෝගික අත්දැකීම් ඉදිරිපත් කිරීමෙනි. ඍෂිවරැන් යම් මාර්ගෝපදේශකත්වයක් දී ඇත.

ඍෂිවරුන්ට වැරදී නැත. වැරදී ඇත්තේ සිද්ධාන්ත, සාපේක්ෂ බව නොබලා ශ්ලෝක කටපාඩමින් කියන අපටය.

ශනි ඉහත සඳහන් භාවවල ගමන් කරන අවස්ථාවලදී අනිෂ්ඨ ඵල විපාක අනතුරු, මාරක, අපල, මරණය ආදිය ගෙන දුන් අවස්ථා ද ඇත. නමුත් එසේ නොවූ අවස්ථා ද ඇත. අප සැලකිල්ලට ගත යුතුව ඇත්තේ එසේ නොවුයේ ඇයි දැයි යන්නය.
මේ සඳහා එළියක් ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමයෙන් පමණක් නොව බටහිර මහා ඡ්‍යොතිර්වේදියෙකු වූ ඉංග්‍රීසි ජාතික අලන් නියෝගෙන් ද ලැබේ.

ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමය අනුව ඒරාෂ්ඨකයක අනිෂ්ඨ ඵල ලැබීමට නම් සාධක කීපයක් අපලයක් සඳහාම ඒකාබද්ධ විය යුතුය. පළමුවෙන් අදාළ දෘෂ්ටි භාවය ඇතුළතම අනිටු ඵල දිය හැකි නැකතක ද එකවර ගමන් කළ යුතුය.
නිදසුනක් වශයෙන් කන්‍යා ලග්නයට අටවැන්න මේෂ යයි. මෙහි කේතු, ශුක්‍ර සහ රවිගේ නැකත් ඇත. මෙයින් රවි 12 අධිපතියාය. මේ නිසා ශනි රවිගේ නැකතේ ගමන් කරන කාලය තුළ අපලයක් හෝ අවාසිදායක තත්ත්වයක් පෙන්නුම් කළහැක.

අනෙක් අතට මේෂ ලග්නයට ශනි 12 ගමන් කරනවා යයි සිතමු. මීට රාශිය 12 වැන්නයි. මෙහි මැද භාගයේ ඇත්තේ ශනිගේම නැකතකි. ශනි මේෂයට 10 සහ 11 අධිපතියාය. 10 සහ 11 රුකියා උසස් වීම් සහ වේතන වැඩිවීම් පෙන්වයි. මෙවැනි තත්ත්වයක් යටතේ අපලය වෙනුවට ඡන්මියාට වාසි ලැබේ. 12 පිහිටීමෙන් රැකියා මාරුවක් සිදුවිය හැක.

මෙම ඒරාෂ්ඨක බල අඩු වැඩි කිරීමට තවත් සාධකයක් බලපායි. එය නම් ඒරාෂ්ඨක ගමන කාලයේ ඡන්මියා ගත කරන්නේ කුමන දසාවක ද යන්නයි. ශනිගේ මහ දසාවක හෝ අන්තර දසාවක් ගෙවමින් සිටින අවස්ථාවක හෝ ශනිගේ නැකතක සිටින ග්‍රහයෙකුගේ දසාවක් ගෙවන අවස්ථාවක මෙහි බලය තීව්‍ර වෙයි.

අනෙක් සාධකය නම් උත්පත්ති ග්‍රහ බලයයි. උත්පත්ති කේන්දරයේ ශනි බලවත්ව සිටිය හැක. ශනි ගෝචරයේ යෙදෙන නැකත් අධිපතියන් ද උත්පත්ති කේන්දරයේ බලවත්ව සිටිය හැක. මෙවැනි අවස්ථාවක ගෝචර ශනි කුමන ඒරාෂ්ඨක තත්ත්වයක් යටතේ වුවද අනිටු විපාක නොදෙයි.

ඒරාෂ්ඨක ගමනේදී ද ඡන්ම කේන්දරයේ මෙන් රාශියට වඩා භාවයම වැදගත් වෙයි. ශනි අටවෙනි රාශියේ ගමන් කළත් එය භාව වශයෙන් 07 විය හැක. එසේම 12 වන රාශිය උත්ලපත්ති කේන්දරය අනුව භාව වශයෙන් 11 විය හැක. එසේම නැතිනම් රාශිය එක වී භාවය 12 විය හැක.

රාහු සහ කේතු ගැනීමේදී උත්පත්ති කේන්දරවල ඔවුන් නිවේදනය කරන රාශි සහ නැකත් අධිපතියන් යන දෙවර්ගය ගැනම සැලකිලිල්ලක් දැක්විය යුතුය. නිදසුනක් වශයෙන් ශනි ගෝචර ගමනේ දී 8 හෝ 12 රාහු හෝ කේතුගේ නැකතක ගමන් කළ හැක. එවැනි අවස්ථාවලදී උත්පත්ති කේන්දරයේ රාහු හෝ කේතු නියෝජනය කරන්නේ කුමන ග්‍රහයා ද ගෝචර වශයෙන් නිවේදනය කරන්නේ කුමන ග්‍රහයා ද යන්න සැලකිල්ලට ගත යුතුය.

උත්පත්ති කේන්දරයට සාපේක්ෂව ගෝචරයේ යෙදෙන ග්‍රහයන් ඵල විපාක දෙන අයුරු පිළිබඳව ඉතා වැදගත් හෝඩුවාවක් ඇලන් ලියෝ ද ගෙන හැර දක්වා ඇත. මෙය ශනි ඒරාෂ්ඨකය ද ඒ අයුරින්ම සාධාරණයකි. ඔහු ඒ සඳහා ගුරුකොට ගන්නේ ප්‍රගමන ක්‍රමයයි.

ඔහු පෙන්වා දෙන පරිදි ඡන්ම කේන්දරයක නම් භාවයන් හෝ ග්‍රහයන් කීපදෙනෙකු අතර සුභ දෘෂ්ඨි ලැබ පවතිනවා නම් ගෝචරයේ දී හෝ ප්‍රගමනයේ දී කෙතරම් අසුභ පාප පීඩන තත්ත්වයකට පත්වුවත් අනිටු විපාක අවම වෙයි. 

අනෙක් අතට ඡන්ම කේන්දරයසහ ප්‍රගමනය යන දෙකේදීම එක ලෙස ග්‍රහයන් සහ භාවයන් පාප පීඩිත තත්ත්වයකට එක්වුවහොත් මාරක අපල ගෙන දිය හැක. ඒරාෂ්ඨකවලදී ද සමහරුන්ට අනිටු විපාක දෙන්නේත් සමහරුන්ට නොදෙන්නේත් මේ ආකාරයටමය.

ශ්‍රී ලංකාවේ සහ ඇමෙරිකාවේ අප කවුරුත් දන්නා කේන්දර කීපයක් ගෙන ඒරාෂ්ඨක ක්‍රියාත්මක වූ හැටි සලකා බලමු. 

බැරැක් ඔබාමා සිංහ ලග්නයේය. 2008 නොවැම්බර් 4 වෙනි දින ඔහු ජය ලබන විට ශනි ගමන් කරමින් සිටියේ ලග්නයේය. එම සීමාව සිංහයේ ශුක්‍රගේ නැකතටත් බුදගේ උපස්ථානයටත් අයිති වේ. ශුක්‍ර 3 සහ 10 අධිපති වේ. බුද 2 සහ 11 අධිපති වේ. ඡන්ම ශනි ද 6 සහ 7 අධිපති වශයෙන් 5 වෙනි භාවයේ 4 සහ 9 අධිපති කුජයේ නැකතේ ඇත. 4 ලොකු පුටුවක් 9 යෙන් රාජධානියක් පෙන්වයි. ශනිගේ 6 අධිපතිත්වයෙන් සේවාව පෙන්වයි. වෙනත් විදියකින් කියනවා නම් ඡන්ම ශනි දෘෂ්ඨි ස්ථානයක නොසිටියේය. ඒරාෂ්ඨකය වුවත් බලයට ආවේ ඒ ආකාරයටය.

සිංහ ලග්න අනුර බණ්ඩාරනායක මහතා මිය යන විටද ශනි සිංහ රාශියේ ගමන් කරමින් සිටියේය. නමුත් ශනි ඡන්ම කේන්දරයේ 12 වෙනි භාවයේත් 3නේ සිටි කේතුගේ නැකතේත් විය. මිය යන විට ගමන් කරමින් සිටියේ ද ඒ ආකාරයටමය.