2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

ඩිජිටල් සිනමාවට තිරය අරින්න!

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයන් තම විචාරාත්මක අදහස් මූණුපොතේ පළකිරීම පසුගිය කාලයේ වර්ධනය විය. නමුත් ඔවුන් වැඩිදෙනෙකුට කියන්නට සිදුව ඇත්තේ චිත්‍රපටයේ ගුණාගුණ නොවේ. ඒවා නැරඹීමට ප්‍රේක්ෂකයන් නැතිවීම නිසා ආපසු හැරීගිය පුවත්ය. නැත්නම් නියමිත චිත්‍රපටය වෙනුවට වෙනත් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම නිසා සිනමාහලේ කළමනාකරණය සමඟ හටගත් ගෝරි ගැන සිදුවීම්ය. ලියුම්කරුටද මේ අත්දැකීම් අඩුවක් නැතිව තිබේ. “එක දවසක් අපි” කඩුවෙල සිනමාහලකදී නැරඹුවේ තවත් සිව්දෙනෙකු සමඟය. මධුර චාරිකා කොළඹදී නරඹන විට සිටියේ තවත් 12 දෙනෙකු පමණි. විශාල මුදලක් වැයකර තනන චිත්‍රපට නැරඹීම ප්‍රේක්ෂකයන් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? මේ නිසා චිත්‍රපට නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු, සේම ප්‍රදර්ශකයෝද අමාරුවේ වැටී සිටිති.

දේශීය සිනමා උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කරන ලද්දේ එහෙයිනි. එම කමිටු වාර්තාව පසුගියදා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට පිළිගැන්විණි. සිනමාවේ උන්නතිය වෙනුවෙන් ගතයුතු පියවර කිසිදු පැකිලීමකින් තොරව ගන්නා බව එහිදී අමාත්‍යවරයා පැවසීය. මෙයට පෙරත් ඇමැතිවරු එම පොරොන්දුව දී ඇතත් සිනමාවට වූ සෙතක් නම් නැත.

මෙම කමිටුව සඳහා චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා සිතේන්ද්‍ර සේනාරත්න මහතා ඇතුළු චිත්‍රපට අධ්‍යක්ෂවරු, රංගන ශිල්පීන්, චිත්‍රපට සමාගම්වල නියෝජිතයන්, චිත්‍රපට ප්‍රදර්ශකයන්, චිත්‍රපට නිෂ්පාදකයන්, චිත්‍රපට ආනයනකරුවන්, සිනමාහල් හිමියන් ආදී සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරමින් නියෝජිතයන් 29 දෙනෙක් සහභාගි වී සිටියහ. කමිටු වාර්තාව කියවන විට පැහැදිලි වන්නේ එය සැබවින්ම සාධනීය විග්‍රහයක් බවයි. එහි අන්තර්ගත කරුණු කිහිපයක් පදනම් කරගනිමින් මෙම ලිපිය සැකසී තිබේ.

එහි සඳහන් පළමු කරුණ වන්නේ පළාත් පාලන ආයතන විසින් සිනමාශාලාවලින් විනෝදබදු වශයෙන් ආදායමින් කොටසක් අයකළද කිසිදු විශේෂ සේවාවක් ලබානොදීම ගැනයි.

මේ වනවිට දේශීය චිත්‍රපට 70ක් පමණ ප්‍රදර්ශනය කිරීමට පෝලිමේ තිබේ. (2 වගන්තිය) ඉන් චිත්‍රපට 50ක් රිත්මා මණ්ඩලයේ ප්‍රදර්ශනය සඳහා ඉල්ලීම් කර ඇත. මේ චිත්‍රපට කිසිදු වර්ගීකරණයක් කර නැති අතර බහුතරයක් ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කර තිබේ. ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති බුද්ධි කිර්තිසේන මහතා අප සමඟ පැවසුවේ බහුතරයක් චිත්‍රපට DVD වශයෙන් විකිණීම සඳහා අඩු ප්‍රමිතියකින් තනා ඇති බවයි. එම චිත්‍රපටවල නිෂ්පාදකයන් දේශපාලනඥයන් හරහා බලපෑම් කර බාල චිත්‍රපට සිනමාශාලාවලට රිංගවීමට උත්සාහ කරන බව අපට ආරංචි විය. මෙම කමිටුව යෝජනා කරන්නේ චිත්‍රපට නරඹා ඒවායේ කලාත්මක හෝ වාණිජ වටිනාකමක් ඇත්දැයි තහවුරු කිරීමට ත්‍රිපුද්ගල ස්වාධීන කමිටුවක් පත්කළ යුතු බවයි.

සිනමාශාලා 41ක් දැනටත් දුවන්නේ මි.මී. 35 ප්‍රක්ෂේපණ යන්ත්‍ර මගිනි. බහුතරයක් සිනමාහල් 2K තාක්ෂණයට අනුව ඩිජිටල්කරණය වී තිබේ. දළ සේයාපට නිෂ්පාදනය මුළුමනින්ම පාහේ අභාවයට යමින් පවතින නිසා මෙම සිනමාහල් 41ද ඩිජිටල් ක්‍රමයට පරිවර්තනය  කළ යුතුවේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සිනමාහල් හිමියන්ට ලබාගැනීම අසීරු බැවින් රජය විසින් සහන ලබාදීම අවශ්‍ය වේ. 

චිත්‍රපට සංරක්ෂණය ගැන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හඬ නැඟුවේ දශක කිහිපයකට පෙරය. නමුත් තවමත් අප රටේ බොහෝ චිත්‍රපට සංරක්ෂණය වී නැත. මේ දක්වා චිත්‍රපට 1250කට අධිකව නිෂ්පාදනය වී ඇතත්, ස්ථිර වශයෙන්ම සංරක්ෂණය සඳහා ජාතික ලේඛනාගාර සංරක්ෂණාගාරය වෙත යොමුවී ඇත්තේ චිත්‍රපට 500කට අඩු ප්‍රමාණයකි. සෙලියුලොයිඩ් මාධ්‍යයෙන් පමණක් නොව ඩිජිටල් මාධ්‍යයෙන් නිපදවන චිත්‍රපටද සංරක්ෂණය සඳහා ක්‍රමවේදයක් සකස් විය යුතුය.

අද චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට සිදුව ඇති ලොකුම අකරතැබ්බයක් නම් සිනමාහල් හිමියන් අභිමතය පරිදි චිත්‍රපට දර්ශන වෙනස් කිරීමයි. පුවත්පත් දැන්වීම්වල හෝ සිනමාශාලාව ඉදිරිපිට ප්‍රදර්ශනය වන දැන්වීම් පුවරුවල සඳහන් චිත්‍රපට වෙනුවට තිරගත කරන්නේ වෙනත් චිත්‍රපටයකි. “ඒ චිත්‍රපටයට සෙනඟ නැති හින්දා මේක පෙන්වනවා.” සිනමාහල් හිමියන් පවසන සුලබ හේතු පාඨයකි. මේ තත්ත්වය ප්‍රේක්ෂකයා නොමඟ යවනසුළු වන අතර ඉන් මුල් චිත්‍රපටය සඳහා අසාධාරණයක් සිදුවේ. මෙලෙස තම අභිමතය පරිදි දර්ශන වාර වෙනස් කිරීමට අවසර ලබානොදීම බලධාරීන්ගේ වගකීමකි.

“දේශීය චිත්‍රපටයක් ආරම්භක වටයේ ප්‍රදර්ශනයේදී සියලු දර්ශන නොඅඩුව එම චිත්‍රපටය සඳහා ලබාදීමට කටයුතු කිරීම, කවර හේතුවක් මත හෝ පළමු සති දෙක තුළ මෙම පදනම බිඳීම සඳහා අවසර නොදීම” යන කරුණු කමිටුව නිර්දේශ කර ඇත.

ජාතික චිත්‍රපට සංස්ථාව වර්තමානය වනවිට රජයේ භාණ්ඩාගාර ප්‍රතිපාදන මත යැපෙන ආයතනයක් බවට පත්ව ඇත. නිෂ්පාදකවරු සහ ප්‍රදර්ශකයන් පවසන්නේ චිත්‍රපට සංස්ථාවට ප්‍රතිපාදන ප්‍රමාණවත් නැති නිසා කර්මාන්තයේ වර්ධනයට පියවර ගැනීමට ශක්තියක් නැති බවයි. එයට ප්‍රධාන හේතුව 1999 ජාතික චිත්‍රපට ප්‍රතිපත්තිය මගින් ජාතික චිත්‍රපට සංස්ථාව සතු ඇතැම් බලතල කප්පාදු කිරීමයි. චිත්‍රපට කර්මාන්තය වෙනුවෙන් එය ශක්තිමත් ආයතනයක් වශයෙන් පවත්වාගෙන යාම සඳහා එයට ආදායම් ලැබීමේ ක්‍රමවේදයක්ද සකස් කළ යුතුවේ. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් සර්වබලධාරියා වශයෙන් කටයුතු කළයුතු බවද කමිටුව නිර්දේශ කරයි.

දේශීය සිනමා උන්නති කමිටුවේ වාර්තාව දැන් බලධාරීන්ට බාරදී හමාරය. ඉතින් බලධාරීන් කළ යුතුව ඇත්තේ එම පයිල් එක නිලධාරීන්ට මාරුකිරීම නොවේ. කඩිනමින් ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමයි. එසේ නොවුවහොත් එයත් බොහෝ වාර්තා මෙන් හමස් පෙට්ටියේ පුස්කන තත්ත්වයට පත්වනු ඇත.

► කුසුම්සිරි 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00