2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

මනරම් හැඟුම් මවන සඳකත්මිණ

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 140

කවර කලා මාධ්‍යයක වුවද ජීව රුධිරය කලාකරුවාගේ පරිකල්පන ශක්තියයි. මේ ප්‍රකාශය නවකතාවට මෙන්ම නාට්‍යයටත්, චිත්‍ර කලාවට මෙන්ම සංගීතයටත් එක සේ බලපායි. මේ පරිකල්පන ශක්තිය සැම කලාවකටම පොදු වූ ධර්මතාවක් වන අතර, එය ඒ ඒ කලා මාධ්‍යයන් තුළ ක්‍රියාත්මක වන්නේ විවිධාකාරයෙනි. චිත්‍ර ශිල්පියා සිය පරිකල්පන ශක්තිය මතුකරන්නේ රේඛාවෙහි ප්‍රබලත්වය හා වර්ණ සංයෝගයෙහි විචිත්‍රත්වය තුළිනි. සංගීතඥයා සිය පරිකල්පන ශක්තිය මතුකරන්නේ ශ්‍රැති රම්‍ය නාද රටා පෙළගස්වන ආකාරයෙනි. මේ ආකාරයට ගීත රචකයා සිය පරිකල්පන ශක්තිය විදහා දක්වන්නේ විචිත්‍ර පද සංයෝජනය මගිනි. සුනිල් සරත් පෙරේරා සිය ගීත රචනා ජීවිතයෙහි මුල් අවධියෙහි පටන් මේ සත්තාව පසක් කොටගෙන තිබිණ.

ඔහුගේ අභිනව ගීත සමුච්චය වන “සඳකත් මිණ” මේ විචිත්‍ර පද සංයෝජන නිපුණත්වය මැනවින් විදහා දක්වයි. සුනිල් සරත් පෙරේරාගේ ගීත භාෂා මාධ්‍යය පැරණි සෙවි වහරෙහිත්, ගැමි වහරෙහිත්, වර්තමාන පුර වහරෙහිත් මනා සංකලනයකි. මෙලෙස ඔහු විචිත්‍ර භාෂා මාධ්‍යයක් නිර්මාණය කරන අතර, එය තුළින් සංගීතඥයාට ආවේගයක් ලද හැකි ඉඟි ගෙනහැරපායි. ගීතයක් පරිපූර්ණත්වයට පත්වනුයේ සංගීතඥයාගේ හා ගායකයාගේ හෝ ගායිකාවගේ හෝ සාර්ථක සහභාගිත්වයෙනි. මේ සාර්ථක සහභාගිත්වයට අවශ්‍ය මඟපෙන්වීමට සුනිල් සරත් පෙරේරාගේ පදමාලා සමත් වෙයි.

ගීත රචකයකු වශයෙන් සුනිල් සරත් පෙරේරා සතු එක් මුඛ්‍ය ගුණාංගයක් නම් භාෂාවට සියුම් ලෙස සවන්දීමේ හැකියාවයි. බස විටෙක හඬයි, විටෙක සිනාසෙයි, විටෙක සුසුම්ලයි, විටෙක තැතිගෙන සැඟවෙයි. මේ සැම භාවාස්ථාවක්ම සුහද ලෙස වටහාගැනීමේ ශක්තිය ඔහු තුළ ඇත. මෙය උසස් ගීත රචකයකු සතු ලක්ෂණයකි. භාෂාවට සවන්දීමේ වැදගත්කම ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු වන මාර්ටින් හයිඩැගර් චතුර ලෙස විවරණය කොට ඇත.

සාර්ථක ගීතයක දෘශ්‍ය රූප හා ශ්‍රව්‍ය රූප මැනවින් ඒකාබද්ධ වී ඇත. සංගීතඥයා සිය නාද රටා නිර්මාණය හා ශබ්ද සංකලනය තුළින් ශ්‍රව්‍ය රූප මවයි. ගීත රචකයා අපූරු පද සංයෝජනය හා ගීතෝක්ති තුළින් අනගි දෘශ්‍ය රූප නිර්මාණය කරයි. සුනිල් සරත් පෙරේරාගේ “පෙර දිනයක මා පෙම් කළ යුවතිය”, “එරන්දතිය එනවා”, “සැන්දෑ කළුවර” වැනි ගීත විමර්ශනය කරන විට දෘශ්‍ය රූප බිහිකිරීමෙහිලා ඔහුගේ සාමර්ථ්‍යය මැනවින් ප්‍රකට වෙයි.

“සඳකත්මිණ” මහත් අභිරැචියකින් යුතුව කියවිය හැකි ගීත සංග්‍රහයකි. සිංහල ගීත සාහිත්‍ය පෝෂණය සඳහා මේ කෘතියෙන් ප්‍රශංසනීය මෙහෙයක් ඉටුවනු නිසැකය.

(මෙම කෘතිය සරසවි ප්‍රකාශනයකි)
මහාචාර්ය විමල් දිසානායක

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00