2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

උඩරට වරිග සභාව සොයා හීල්ඔයට...

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 474

ඈත එපිටින් පෙනෙන දර්ශනය මැව්වේ විසිවැනි දශකයේ මුල්භාගයට අයත් දසුන් පෙළකි. අප ගමන් කරමින් සිටි මිට්සුබිෂි වෑන් රථයත්, කාපට් පාරත්, තැනින් තැන සිමෙන්තියෙන් ඉදිවූ නිවාස කිහිපයත් අත්හළහොත් අප ගමන් කරමින් උන්නේ විසිවැනි සියවසටත් නොව ඉන් අවුරුදු තුන් හාරසියයක් එපිටින් තිබූ අපට අමතක වී ගිය අපේම කාලයකටය.

හීල් ඔය සුන්දරිය

එය මහනුවර නගරයේ සිට කිලෝමීටර තිහක් හතළිහක් ඈතින් දුම්බර කඳුවැටියට මායිම්ව පිහිටි සුන්දර ගම්මානයකි. එහි නම හීල් ඔය ලෙස වැටී ඇත්තේ හුළු ගඟේ අතු ගංඟාවක් වන හීල් ඔය මේ ගම මැදින් ගලා බසින හෙයිනි. රජරට ශිෂ්ටාචාරය වැව මුල්කරගෙන බිහිවෙද්දී තෙත් කලාපයේ ජනාවාස ඇතිවූයේ කඳුකරයෙන් ගලාබසින ගංඟා මුල්කොටගෙනය. හීල් ඔය ඊට කදිම නිදසුනක් වන්නේ, එදා රජ දවසේ සිට අද දක්වාම හීල් ඔයේ ජීවනාලිය, ‘හීල් ඔය’ වීම නිසාවෙනි. 

“අපේ මුත්තා කියපු කතාවක් මට මතකයි. ඒ කීර්ති ශ්‍රී රාජසිංහ උත්තමයා සෙංකඩගල රජ කරන කාලෙ. එතුමා මේ අවටින් යනකොට එක්තරා පන්සලකට ගොඩවැදිලා තියෙනවා. බැලින්නම් ඒකෙ හිටපු හාමුදුරුවරුන්ට කන්න බත් තිබිලා නෑ. වළඳලා තියෙන්නෙ කුරහන් තලප. ඒ ගැන සැලකිලිමත් වෙච්ච රජ්ජුරුවෝ පේන මානෙක තිබ්බ ඉඩම් සේරම පන්සලට පූජා කරලා” අප හා දොඩමලු වූ ගැමියකු වූ ප්‍රේමචන්ද්‍ර අපට කීවේ එවැන්නකි. 

අටුව කරා ගිය ගමන

බඹරගල නමින් හැඳින්වෙන ඒ පන්සලට පූජා කරන ලද ගම්බිම් තවමත් පන්සලේ නින්දගම් ලෙස ක්‍රියාත්මක වේ. පන්සලට අයිති කුඹුරැවල ගොවිතැන් බත් කරන ගැමියෝ තවමත් තම අස්වැන්නෙන් කොටසක් පන්සලට පුදන්නේ ඒ හේතුව නිසාය. 
අඳයට කෙරෙන මේ කුඹුරුවල අස්වැන්න තැන්පත් කරන්නේ රජ කාලයේ තැනූ අටුවකය. තරමක කන්දක් නැඟ අසීරුවෙන් ළඟාවිය යුතු මේ අටුව බොහෝ දිරාපත්ව තිබුණද අතීත ගැමි ගතිය, සුන්දරත්වය අටුව තුළ පවා දැකිය හැකි විය. 
අටුවට යන අතරමඟදී අපිට හමුවූයේ තිලකරත්නය. බුලත් කහට බැඳුණු දුඹුරැපැහැ දත් දෙපළ නියවමින් ඔහු අප හා සිනාසුණේය. ඒ සිනාවේ ගැබ්ව තිබුණේ ළෙන්ගතුකම හා උගත්කමින් පිළුණු නොවූ අව්‍යාජ ගැමි ගතියයි.

“මහත්තෑලා නුවර ටවුමෙන්ද?” 

“නෑ අපි මේ කොළඹ ඉඳන් ආවේ. ඔයාලගේ ගම ගැන පත්තරේට ලියන්න” 

උපන්දා සිට හැදී වැඩෙන, ගමේ පොළොව සමඟ තුන්සිය හැටපස් දවස පුරා ඔට්ටුවෙන, යම් දිනෙක මේ ගමේම පස් අතර සැඟවී යන ඔහුට හීල් ඔය අමුතු තැනක් නොවේ. උදේ හවා කුඹුරේ මඩ ගොහොරැවේ මීගොනුන් සමඟ ජීවිතේ ගෙවන තිලකරත්නට කොළඹින් ඇවිත් ගම ගැන මොනවා ලියන්නට යනවාදැයි තේරෙනු ඇතැයි සිතිය නොහැක. ඔහු නැවත වරක් සිනාසුණේය. 

“අටුව ළඟට තව දුරද?” 

“නෑ තව ඩිංග දුරයි. යං අපිත් එක්ක” 

තිලකරත්න උන්නේ තනියම නොවේ. ඔහුත් ඔහුගේ සගයාත් පමණක් නොව මීහරකුන් හත් අට දෙනකුගේ රංචුවකුත් සමඟයි. අපි අටුවට ඇදුණේ වැහි කෝඩයක් ද ළංකරමින් තිබියදීය. 

රාජ පහස ලැබුණු වරිග සභාව

හීල් ඔය ගමේ ඔයට පසුව තිබෙන වටිනාම වස්තුව කුමක්දැයි ගැමියකුගෙන් ඇසූවිට ලැබෙන්නේ පැහැදිලි උත්තරයකි. 

“වරිග සභාව ආයුබෝවන්ඩ!”

රජ කාලයේදී අපේ රටේ ගම් පාලනය වුණේ වරිග සභාවෙන් බව අපි අසා ඇත්තෙමු. එහෙත් හැම ගමකම වරිග සභාවක් තිබූ බවට ද සාධක පෙළගැස්මක් නැත. හීල් ඔය යනු එසේ අවුරැදු පන් හයසීයක් මුළුල්ලේ වරිග සභාවක් ක්‍රියාත්මක වූ ගමකි. පුදුමයකට වාගේ වරිග සභාව තවමත් තිබූ පරිද්දෙන්ම තිබේ. 

හීල් ඔය ගම හරහා දිවෙන පාර දිගේ ගමේ විශේෂ තැන්වලට යා යුතු පාරවල් ඊතල යොදා සටහන් කර තිබේ. එය හීල් ඔය සංචාරක ගම්මානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන මධ්‍යම පළාත් වෙළෙඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ වැඩකි. එනිසා වරිග සභාව තිබෙන තැන සොයාගැනීමට අපහසු වූයේ නැත. 

වරිග සභාවේ සිටි අවසාන නායකයා ලෙස සැලකෙන්නේ සඟරාජ බණ්ඩායි. ඔහු මීට අවුරුදු තුනකට පමණ පෙර මියගොස් තිබේ. ඔහුගේ මුණුපුරා වන අබේරුවන්ගේ ගේ අසලින් වැටුණු අඩිපාර දිගේ අපි වරිග සභාවට ළංවූයෙමු. 

හෙල්මළු ක්‍රමයට වගාකෙරෙන වෙල්යායකින් වටවී වරිග සභාව තිබුණේ පාළුවට ගොසිනි. එහෙත් අවුරුදු සිය ගණනක් තිස්සේ වරිග සභාවට රැස්වන අහල පහළ ගම් නායකයන්ට සෙවණ දුන් අරලිය ගස තවමත් එතැන ඇත්තේ එම කාලසීමාව පුරාවට උඩරට ගැමි නායකයෝ ගත් තීන්දු තීරණ, විසඳූ නඩු හබ සියල්ල තම අතු පතර අස්සේ සඟවාගනිමිනි. අවුරුදු පන්සිය හයසිය ගණනක් තිස්සේ ගමේ නායකයෝ කළ කී දෑ මෙන්ම එදා මෙදාතුර ගම්මානය තුළ සිදුවූ වෙනස්කම් ද කවරේදැයි අසා දැනගන්නවානම් ඊට  සිටින හොඳම සාක්කිකරැ මේ අරලිය ගසයි. 

අතීතයේ සිරිත වූයේ ගමේ ප්‍රශ්න ගමේදීම විසඳාගැනීමය. ගමේ ආරච්චිලාට විසඳන්නට බැරිවූ යමක් වෙත්නම් පමණක් මහ රජ්ජුරුවන් ළඟට යාම හෝ ඉන් පසුකලෙක උසාවියට ගොඩවීම සිදුවිය. ගමේ නායකයා ප්‍රශ්න විසඳන්න යොදාගත් තැන මේ වරිග සභාව වූ අතර එනිසාම කා අතරත් එතැනට තිබුණේ ගෞරවසම්ප්‍රයුක්ත බියකි.

"අපේ ගමේ නායකයා විතරක් නෙමෙයි. අහල පහළ ගම් නායකයොත් වරිග සභාවට එකතු වෙනවා. ඉඩම්වල ප්‍රශ්න, කුඹුරු ප්‍රශ්න, වතුර බෙදාගැනීම ගැන, එතකොට රජවාසලෙන් දෙන නියෝග ගැන එහෙමත් මෙතැන තමා සාකච්ඡා කරන්නෙ” ප්‍රේමචන්ද්‍ර පැහැදිලි කළේය.

තවත් විටෙක අහල ගම් කිහිපයම එක්කාසු වී තැනෙන මුළු කෝරළේටම ප්‍රධාන, කෝරළේ මහත්තයා ගම්බිම්වල යන අතරතුර ගම්වල නායකයන් මුණගැසුණු තැන වූයේ ද මේ වරිග සභාවයි. 

“වරිග සභාව ගැන තව කතාවක් තියෙනවා මහත්තයෝ. ඔතැන තමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ මෑණියෝ වළදාපු තැන කියලත් කතාවක් තියෙනවා” ඔහු ඒ ටික කීවේ කනට කොඳුරන්නාක් මෙන් රහසිනි. 

අන්තිම රජුගේ අන්තිම කාලය

ප්‍රේමචන්ද්‍ර කියූ හැටියට ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන් වහන්සේ යනු හීල් ඔයට නිතර ආව ගිය රජෙකි. ඔහුට පෙර හීල් ඔය ගමට ළෙන්ගතුව උන් රජු වූයේ කීර්ති ශ්‍රී රාජසිංහය. 

“සුද්දෝ කන්ද උඩරට අල්ලගෙන එද්දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ මාලිගාවෙන් පැනලා ගියාලු. මාලිගාවෙන් පැනලා යද්දී උන්නාන්සෙ හීල් ඔයෙත් දවස් කීපයක් හැංගිලා හිටියා කියලා අපේ මුත්තලා කියනවා මම අහගෙන. ඒ කාලේ රජ්ජුරුවෝ නාලා තියෙන්නේ කළුදිය පොකුණෙන්ලු”. 

මේ කියන්නේ අනුරාධපුර කළුදිය පොකුණ ගැන නොවේ. හීල් ඔයට ද තමන්ගේම කියා කළුදිය පොකුණක් තිබේ. අප හීල් ඔයට ගොස් වැඩි වේලාවක් යන්නට මත්තෙන් නා කපන වැස්සක් ඇදවැටෙන්නට වූයෙන් අපිට කළුදිය පොකුණ, පෙරියමාල් වැටුණු ඇල්ල ඇතුළු තැන් කිහිපයක් දැකගන්නට නොහැකි විය. 

“කළුදිය පොකුණ කියන්නේ හරිම ගුප්ත තැනක් මහත්තයෝ. එතැන වටපිටාව සේරම  ඝන කළුවරයි. නොදන්න කෙනෙක් තනියම යන්නත් හොඳ නැහැ”

ඔහු කියූ විස්තරයට අනුව කළුදිය පොකුණ යනු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට සැඟවී සිටින්නට බෙහෙවින් උපකාරී වූ තැනකි. එතැන ඇදවැටෙන කුඩා දියඇල්ලට පිටුපසින් ඇතිබව කියැවෙන ගල්ගුහාව පවා රජුට ආරක්ෂාව සපයන්නට ඇති බවට සැක නැත. 

බෝලත්තයි; බැතපෝරුවයි

වරිග සභාව කිට්ටුවෙන්ම කමතක් විය. එහි හුන් ගැමියෙක් කමතට රැස්කර තිබූ වී වගයක් සමඟ කුමක්දෝ දෙයක් කරමින් සිටින බව ඈතදීම අපට පෙනුණි. අප ඔහු වෙත ළංවීමු. 

“මොකක්ද මාමේ මේ කරන්නෙ?” 

“හෝව් හෝව් මහත්තයෝ සපත්තු දාගෙන මේකට ගොඩවෙන්නෙපා!” මා සපත්තු නොගලවා කමතට අඩිය තබන්නට සූදානම් වනු දුටු ඔහු සැර දැම්මේය. 

එහෙත් මඩ ගොඩේ සපත්තු ගලවන්නට තිබූ කම්මැලිකම නිසාම නියර මත හිඳිමින්ම ඔහු සමඟ කතාබහට එක්වුණෙමි. 

කපුකොටුව යනු පැරණි උඩරට පෙළපත් නාමයකි. මේ ගැමියාගෙන් නම ඇසූවිට ඔහු කීවේද තමන් කපුකොටුව බවකි. කමතක වී සුද්දකරමින් සිටිය ද තමාගේ මුල් නම කියනු වෙනුවට ඔහු වාසගම කීවේ තම පෙළපතේ උසස් බව කියාපෑමේ අදහසින් වන්නට පුළුවන. 

“බැත ගොඩගැහුවට පස්සෙ වී ටික සුද්දකරගන්න එපැයි. පිදුරු, බොල් වී සේරම බෝලත්තෙන් ඈත් කරනවා. ඊට පස්සෙ බැත පෝරැවෙන් පීරගන්නවා” ඔහු තමා කරමින් සිටි කාර්යය විස්තර කළේය. 

“ඉතින් වී ටික හුළං කළානම් ඔයිට ලේසියෙන් බොල් වී අහක් වෙනවා නේද?” මම ද යමක් කමක් දන්නා බව පෙන්වීමට උත්සාහ ගතිමි. 

“එකපාරටම හුළං කරලා හරියන්නෙ නෑ. මෙහෙම අහක් කරලා ඉන්න ඕනෙ” අප දෙස නොබලාම ඔහු කීවේ, උඹලා මොනවද කුඹුරැ වැඩ ගැන දන්නේයැයි තමන්ට කියාගනිමින් විය යුතුය. 

ඔහු කරන දේ දෙස ටික වේලාවක් බලාසිටි අපි එතැනින් ද නික්ම ආයෙමු. 

හීල් ඔයේ තවත් වැදගත් තැනක් වන්නේ ගල් කමතයි. වැසි සමයේදී සාමාන්‍ය ගොඩ කමත මඩවලින් වැසීයන බැවින් ගොනුන් ලබා බැත පෑගීම දුෂ්කර කාරියකි. එකල ඊට සැපයුණු විසඳුම වූයේ ගල් කමතයි. 

ගල් කමත යනු දැවැන්ත ගල් කුට්ටි පොළොවට බස්සවමින් කරන නිර්මාණයකි. එය පොළොවට බස්වන්නේ ඇතුන් ලවා පෑගීමෙනි. එය සුළුපටු නිර්මාණයක් නොවන්නේත් එනිසාමය. 

මීමුරේට වැසීගිය හීල් ඔය

“ඉස්සර දුම්බර මිනිස්සු, ඒ කියන්නෙ ඔය මීමුරේ මිනිස්සු නුවරට යන්නෙ මේ පාරෙන් තමා” මීමුරේට කිලෝමීටර 42යි” යනුවෙන් පුවරැවක් සවිකර තිබූ පාරක් පෙන්වමින් ප්‍රේමචන්ද්‍ර කීවේය. 

අද මීමුරේ යනු එදා තිබූ හැබෑම දුෂ්කර ගම්මානය නොවේ. බුරුතු පිටින් කොළඹ සෙනඟ එහි ඇදෙන නිසාම අද මීමුරේ එදා තරම් තනි නැත. හොඳ මාර්ග පහසුකම් ද පවතී. එහෙත් මීට දශක තුන හතරකට පෙර පවා මීමුරේ ජනතාවට නුවරට යාමට ඒමට තිබුණු පහසුම මඟ වූයේ හීල් ඔය හරහා වැටී තිබුණු පාරය. මීමුරේ සිට හීල් ඔයට දුර හැතැප්ම විසිපහක් පමණි. පයින් ගාටන මිනිස්සු එතැන් සිට නුවර ටවුමට යන්නට තවත් හැතැප්ම විසිපහක් පමණ යා යුතුය. මේ මුළු ගමනින් හැතැප්ම හතළිහක් පමණම සිදුවන්නේ පා ගමනෙනි. 

ඒ මීමුරේ සංචාරකයන් අතර ජනප්‍රිය නැති කාලයයි. එකල ඒ වැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ අනිකක් නොව දඩමස්ය. වේලූ ගෝනමස් මිටි බඳිමින් නුවර ටවුමට ගොස් සල්ලි කරගන්නා මීමුරේ වැස්සෝ නැවතත් තම ගමට යන්නේ හීල් ඔය හරහාය. අත මිට කාසි ගැවසෙන ඒ යන ගමනේදී හීල් ඔය කඩමණ්ඩියේ රුයක් ගතකිරීම ද ඔවුන්ගේ සිරිතක් විය. එහෙත් හීල් ඔය හුදෙකලාව තිබියදී මීමුරේ සංචාරකයන් අතර ජනප්‍රියවිය. හීල් ඔය හරහා මීමුරේට වැටී තිබුණු පාරත් ඒ සමඟම අභාවයට ගියේය. 

(විශේෂ ස්තූතිය - මධ්‍යම පළාත් වෙළෙඳ වාණිජ සංචාරක දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක නිහතමානී වැකඩගෙදර)

 සංචාර සටහන - රජිත ජාගොඩ ආරච්චි
    සේයාරූ - සමන්ත ප්‍රදීප් විල්තෙර