2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

ආයෙත් උඩයන්න හදන දඩ

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 162

රටේ පවතින බොහෝ නීති යල්පැනගිය ඒවා බවට වාදයක් නැත. වර්තමානයේ භාවිත වන ඇතැම් නීති යාවත්කාලීන විය යුතුම වන්නේ ඉන් අනාගතයේදී කිසිදු පලක් නොවන නිසා සහ ක්‍රමවත් නීතියක අවශ්‍යතාව ඇති නිසාය. යල්පැනගියත් භාවිතයේ පැවති මෝටර් රථ ආඥා පනතේ විසි වසරක් පැරුණි රථවාහන දඩ සංශෝධන පනත පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වීම කාලෝචිත කරුණකි.

මෝටර් රථ ආඥා පනතේ පැවති පැරුණි සියලුම නීති වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමේදී අවම දඩ මුදල වශයෙන් පැවති රැපියල් 20 සීමාව රැපියල් 500 දක්වාත් වැඩිම දඩ මුදල වශයෙන් තිබූ රුපියල් 2000 සීමාව රුපියල් 3000 දක්වාත් ඉහළ නැංවීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පියවර ගෙන තිබේ. විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පාර්ලිමේන්තු කමිටුවක් පත්කර තිබුණේ මෝටර් රථ ආඥා පනතේ පවතින සියලුම නීති වර්තමානයට ගැලපෙන ලෙස සංශෝධනය සඳහා කටයුතු කිරීමටය. එම කමිටුව විසින් කළ යෝජනා ක්‍රියාත්මක වීම අනුව නව රථවාහන දඩ සංශෝධනය සිදුකර ඇති අතර නියෝග 2018 අංක 01 දරන ස්ථානීය දඩ නියෝග වශයෙන් හඳුන්වනු ලබයි.
මේ අනුව මෙතෙක් ලංකාවේ භාවිතයේ පැවති රථවාහන දඩ 33 ක් සම්බන්ධයෙන් නව සංශෝධිත දඩ ක්‍රියාත්මක වීම සිදුවේ. ඊට අමතරව ස්ථානීය දඩ නොවන අධිකරණය විසින් පමුණුවන දඩ හා දඬුවම්වලට අයත් බීමත්ව රිය පැදවීම, හදිසි අනතුරක් සිදුකිරීම, මරණීය තුවාල සිදුකිරීම, පදික මාරුවේදී පදිකයන් අනතුරට ලක්කිරීම සහ වාහන එකිනෙක ගැටී අනතුරට පත්වීම ආදී වැරදි සඳහා වන නීතිය එලෙසින්ම ක්‍රියාත්මක බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසීය.

යම් ලෙසකින් රියැදුරෙක් මාර්ග නීතියක් උල්ලංඝනය කළේ නම් පොලීසියට රියැදුරුගේ බලපත්‍රය අත්අඩංගුවට ගත හැකිය. එහිදී ස්ථානීය දඩ වශයෙන් අත්පිට දඩ අවසර පත්‍රය නිකුත් කෙරෙන්නේ තාවකාලික රියැදුරු බලපත්‍රයක් වශයෙනි. එහි අදාළ දඩ මුදල දින 14කදී ගෙවීම් කළ යුතු අතර නොමැති නම් රියැදුරු අධිකරණය වෙත යොමුකෙරේ. එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන දඩයක් හෝ දඬුවමකට හෝ ඒ දෙකටම වරදකරැට යටත් වීමට සිදුවනු ඇත. මේ ආකාරයට ස්ථානීය දඩ වශයෙන් වැරදි 33 ක් සඳහා සංශෝධනය සිදුව ඇති අතර ඊට ඉහතදී අවම දඩය වශයෙන් රුපියල් 20 නියමව ඇත්තේ අතුරැ මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයකට වාහනයක් පසුපසට ධාවනය කිරීමේ වරද සඳහාය. එම නීතිය මීට වසර ගණනාවකට පෙර පිහිටුවන ලද්දක් වුවත් එවකට මාර්ගයේ ධාවනය වූ වාහන ප්‍රමාණයේ අවම මට්ටම හා එවකට රටේ තිබුණේ වාහන අල්ප ප්‍රමාණයක් නිසා ඒ සමයට අනුව එම දඩ මුදල සාධාරණ වන්නට ඇත. එහෙත් වර්තමානයේ ලංකාවේ භාවිත වන ලක්ෂ 70කට අධික රථවාහන ප්‍රමාණය නිසා නිරතුරුවම පවතින මාර්ග තදබදය හා ඉහළ යන අනතුරු පිළිබඳව සලකා මෝටර් වාහනයක් මාර්ගයක පසුපසට දිගු දුරක් ධාවනය කිරීමේ වරදට නව සංශෝධනය යටතේ ඉදිරිපත් කර ඇත්තේ දඩ මුදල රුපියල් 500 වන ලෙස දක්වමිනි. එය මෝටර් වාහන පනත 154 වගන්තිය යටතේ දක්වා තිබෙන අතර 140 සහ 141 වගන්තිය ප්‍රකාරව වේගසීමා විධිවිධාන අනුගමනය නොකිරීම වරදට රුපියල් 3000 ක් පනවා තිබේ.

එසේම මාර්ග නීති උල්ලංඝනය සඳහා රුපියල් 2000 ක් වශයෙන්ද උපදේශක බලපත්‍රයක් රහිතව උපදේශක කටයුතුවල නියැලීම සඳහා රුපියල් 2000ක්ද පොලිස් නිලධාරීන්ගේ විධාන පිළිනොගැනීම වෙනුවෙන් රුපියල් 2000 ක් මෙන්ම මාර්ගයක මෝටර් රථයක් නවත්වා තැබීමේදී හෝ එය ළඟ නොසිටීමේදී හෝ අක්‍රිය වීමකදී ගත යුතු පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීමේ වරද වෙනුවෙන්ද රුපියල් 2000ක දඩ මුදලක් පනවා තිබෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා ප්‍රකාශ කළේය.

පා පුවරුවේ ගමන් කිරීම සහ ඊට ඉඩදීම සඳහා වන වරදට රුපියල් 500 ක් අනුමත වී තිබේ. මගීන් සහ භාණ්ඩ ප්‍රමාණය ඉක්මවා රැගෙන යාමට එරෙහිව රුපියල් 500 ක් දඩය නියම කර ඇති අතර විමෝචන සහතිකය හෝ යෝග්‍යතා සහතික වාහනයේ තබාගැනීමට අසමත් වීම හේතුවෙන්ද ස්ථානීය දඩය රුපියල් 500 කි. 

මීට අමතරව හඳුනාගැනීමේ තහඩු නොමැතිවීම, ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය නොකිරීම සහ ඉදිරිපත් නොකිරීම, හදිසි සේවා සහ පොදු සේවා වාහන පැදවීම සඳහා අනුමැතිය ලබානොගැනීම, බලපත්‍ර රහිතව විශේෂ කාර්ය වාහන පැදවීම, රසායනික ද්‍රව්‍ය හෝ උපද්‍රවකාරී ද්‍රව්‍ය පැටවූ වාහන පැදවීම සඳහා අනුමැතිය ලබානොගැනීම සඳහා නිශ්චිත පන්තියට අයත් රියැදුරු බලපත්‍රය සහ රිය ධාවනයේදී රියැදුරු බලපත්‍රය රහිත වීම සඳහා වන දඩය රුපියල් 1000 කි.

එමෙන්ම නියමයන් උල්ලංඝනය, මාර්ගයක නැවැත්වීම හෝ ගාල්කිරීම, ඉන්ධන පිරවීමේදී ගත යුතු පූර්ව ආරක්ෂණ ක්‍රම නොගැනීම, මාර්ග සංඥා පිළිනොපැදීම, වාහනයේ අධික ශබ්දය, ධාවනය වන වාහනයකින් ප්‍රචාරණ කටයුතු සිදුකිරීම, යතුරුපැදියක හිස්වැසුම් භාවිත නොකිරීම, ආසන පටි භාවිත නොකිරීම, වාහනයේ ඉදිරිපස අසුනේ නියමිත සංඛ්‍යාව ඉක්මවා පුද්ගලයන් රැගෙන යාම, අධික දුම විමෝචනය, අනතුරැ ඇඟවීමේ උපකරණ අනිසි ලෙස භාවිතය, මෝටර් රථයට නුසුදුසු සංඥා භාවිතය මෙන්ම රථය පාලනය කිරීමට නොහැකි අයුරෙන් ධාවනය කිරීමේ වරද සඳහාද රුපියල් 1000ක දඩ මුදලක් පනවා තිබේ.

මෙසේ සංශෝධිත දඩ පනතට ස්ථානීය දඩ 33 ක් ඇතුළත් වන අතර ඒවා මෙතෙක් රටේ පැවති නීතින්ම බවත් කාලීන වශයෙන් සුදුසු ලෙස සංශෝධනයට ලක්කොට විසි වසරක් පමණ පැරණි නීති යාවත්කාලීන කොට ඉදිරිපත් කොට ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පෙන්වා දෙයි. මේ පිළිබඳ ප්‍රසිද්ධ ගැසට් නිවේදනය අංක 2054/9 යටතේ ඉකුත් ජනවාරි 15 දා නිකුත් කළේය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර