2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

හදපු රටෙත් තහනම් වූ ලංකාවට ගේන්න හදන කාර් පැට්ටා

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 381

ඉන්දියාවේ තහනම් කළ කුඩා කාර් රථයක් දේශපාලකයන් කිහිප දෙනකුගේ උවමනාවට අනුව මෙරටට ගෙන ඒමේ සූදානමක් ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කළේය.

2016 වසරේදී ත්‍රීරෝද රථයට විකල්පයක් ලෙසින් මෙරටට ආනයනය කිරීමට සූදානම් වූ, එමෙන්ම පසුව එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්ෂණයන්ට අනුව එම රථය ශ්‍රී ලංකාවේ ධාවනය කිරීමට සුදුසු නැති බවට නිර්දේශ වීමෙන් එය නවතා දැමුවද නැවතත් එය ලංකාවේ ධාවනය කිරීමට සූදානමක් ඇති බවද ඒ මහතා කියා තිබිණි.

මේ සම්බන්ධව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

“2000 වසරේදී ඉන්දියාවේදී රථයක් නිෂ්පාදනය කළද එය ඉන්දියාවේදී කාර් රථයක් ලෙසින් නිර්දේශවන්නේ නැහැ. එය Quadricycle’s ගණයට අයත් වෙනවා. වාහනයක් මගියාට සුදුසුද, මගීන් ප්‍රවාහනය කිරීමට සුදුසුද යන්න පිළිබඳව ඇමෙරිකාවේ සමාගමක් කරන ලද සමීක්ෂණයේදීද මෙම Quadricycle රථය අසමත් වෙලා තියෙනවා. එයට හේතුව වූයේ මෙම වාහනය ලෝකයේ ඇති සංවර්ධන ක්‍රියාදාමයත් සමඟ ඇති නොගැලපීම” යැයි සුනිල් ජයවර්ධන මහතා පැවසීය.

එමෙන්ම මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් සුනිල් මහතා ප්‍රකාශ කළේ බජාජ් කියුට් නමින් ලංකාවට හඳුන්වා දෙනු ලබන ක්වාඩ්සයිකල් රථය සම්බන්ධව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය යටතේ නඩුවක්ද ගොනුකොට ඇති බවය. මේ වනවිට ඉන්දියාවේ නිෂ්පාදිත රථය ඉන්දියාවේ තහනම් වුවත් එය මෙරටට ආනයනය වීමද ගැටලු සහගතය.
ත්‍රීරෝද රථය මුලින්ම ලංකාවට හඳුන්වා දෙන ලද්දේ මීට වසර හතළිහකට පමණ පෙරය. 1978 වසරේදී ත්‍රීරෝද රථය නමින් එය හඳුන්වා දෙන ලදී. එය මෙරටට ආනයනය කිරීමේ බලය ඩේවිඩ් පීරිස් සමාගම බාරගත්තේය. මෙම ත්‍රීරෝද රථය නැමැති රෝද තුනේ වාහනය මෙරටට පැමිණීමට පෙර මෙරට පෞද්ගලික ටැක්සි රථ සේවාව වෙනුවෙන් වෙන්වූ වාහන වූයේ ෆොක්ස්වැගන් සහ මොරිස් මයිනර් කාර් රථයි. එම කාර් රථවලට පෙර මෙරට මගී සේවාව වෙනුවෙන් කරත්තය, අත් කරත්තය, රික්ෂෝව වැනි රථ උපකාරී විය.

නමුත් ත්‍රීරෝද රථය මෙරටට හඳුන්වාදීමත් සමඟ මොරිස් මයිනර් වාහනයට තිබූ ඉල්ලුම අඩු වී රෝද හතරේ වාහනයට වඩා රෝද තුනේ වාහනයට ඉල්ලුම ලැබුණි. ඒ නිසා වැඩි දෙනා මගී ප්‍රවාහන වාහනය වෙනුවෙන් ත්‍රීරෝද රථයට වැඩි ඇල්මක් දැක්වූහ. එය ලංකාවේ මගී ප්‍රවාහනයට සුදුසු වාහනයක් වශයෙන් සමාජ ගත විය.

“පාර්ලිමේන්තුවට ගෙනෙන අයවැය යෝජනාවලදී මේ රට සංවර්ධනය විය යුත්තේ හරිත, වායු දූෂණයෙන් තොර රටක් ලෙසින් යැයි කියනවා. 2025 වෙද්දී මේ රටේ ඉලෙක්ට්‍රික් වාහන ගෙන්විය යුතු බව ඔවුන්ගේ ඉලක්කය යැයි පවසන්නේ. නමුත් මෙය පෙට්‍රල් වාහනයක්. මෙය කාර් ගණයට අයිති වාහනයක් නොවේ. මෙය ක්වාඩ්සයිකලයක්. මේ රට තව තවත් සංවර්ධනය වෙද්දී වාහන පුළුල් වෙද්දී, අධිවේගී මාර්ග ඉදිවෙද්දී මේ රටට මෙයද ගැලපෙන්නේ නැහැ. මේ මොරිස් මයිනර් වාහනය වෙනුවට ත්‍රීරෝද රථය ගෙනල්ලා, ආයෙත් තවත් මේ වාගේ වැඩකට නැති සැහැල්ලු වාහනයක් ගෙනඒම අපරාධයක්.” යැයි සුනිල් ජයවර්ධන මහතා පැවසීය.

“මේ රථය ත්‍රීරෝද රථයට වඩා කුඩායි. මෙය ත්‍රීරෝද රථයේ හැඩතලයට නිෂ්පාදනය කරලයි තියෙන්නේ. රෝද හතරක් ඇති මෙම රථය ඉතා සැහැල්ලු රථයක් වන අතර අනතුරු ඇතිවීමේ අවදානම වැඩියි. මෙම රථය මෙරටට එපා කියලා අපි කියද්දී ත්‍රීරෝද රථ මෙරටට ගෙන්වන ආයතනවලින් මට විවිධ බලපෑම් එල්ල කළා. ඔවුන් මට ඉල්ලීම් කළා කිසිම කරදරයක් කරන්න එපා.... මේක රටට ගේන්න ඉඩදෙන්න කියලා. ඒ වෙනුවෙන් මට විශාල මුදල් පවා දෙන්න ඒ අය සූදානම් වුණා. මේ රටේ ඇතැම් දේශපාලකයන් මුදල්වලට මේ රට පාවා දුන්නට මට මේ රටේ අනාගතය පාවා දෙන්න බැහැ. මේ රටේ වෙන්න යන ව්‍යසනයට උදව් කරලා මගේ දරුවන්ට කන්න දෙන්න මට ඕනවුණේ නැහැ. ඒ නිසා සංගමයක් විදිහට අපි මේකට තදින්ම විරුද්ධයි. මේක මාෆියාවක්. සංවර්ධනය වෙන රට තුළ හොඳ වාහනයකට යනවා මිසක් මේ වගේ බයිසිකලයකට යන්න ඕනේ නැහැ.”

ඇමරිකානු සමාගමට අනුව මෙය මගී ප්‍රවාහනයට සුදුසු වාහනයක් නොවේ. මෙම වාහනය අධිවේගී මාර්ගයේ ධාවනය කිරීමට කිසිදු අවසරයක් නැත.

“මෙම රථය හරිත අයවැයට ගැලපෙන්නේ නැති වාහනයක්. එමෙන්ම මෙය මඟී ප්‍රවාහනයටද සුදුසු නැහැ. ඇත්තටම මේක කීපදෙනෙක් එකතුවෙලා කරන විශාල ඩීල් එකක්. ඔය වාහනයට වඩා මේ රටේ ඉලෙක්ට්‍රික් වාහනයක් නිෂ්පාදනය වෙනවා. ඒකේ වටිනාකම ලක්ෂ තුනහමාරයි. නමුත් අද ලංකාවේ නිෂ්පාදකවරුන්ට ඉඩක් නැහැ. මෙවැනි මිනිසුන් කොට්ඨාසයක් නිසා මේ රටේ සංවර්ධනයක් සිදුවෙන්නේ නැහැ. මේ වෙනුවෙන් වාහනය මෙරටට ගෙන්වන්න එපා කියලා ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් අපි ජනාධිපතිතුමාගෙන්ද ඉල්ලීමක් කළා.”

අද වනවිට ත්‍රීරෝද කර්මාන්තයේ ත්‍රීරෝද ලක්ෂ පහමාරක් පමණ ඉවත් කරලීමට සිදුවී තිබේ. එම ත්‍රීරෝද රථ මගී ප්‍රවාහනයට සුදුසු තත්ත්වයක නොමැතිවීම එයට හේතුවයි. එමෙන්ම මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වූ ත්‍රීරෝද රථ සංඛ්‍යාව ලක්ෂ දොළහකට අධිකය. අට ලක්ෂයක් පමණ ත්‍රීරෝද රථ රියැදුරන් ලෙස රැකියාව කරති.

මේ සම්බන්ධව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික සම්පත් මහතාගෙන්ද අප විමසීමක් කළෙමු.
“2016 අයවැයෙන් බාල තත්ත්වයේ වාහන මෙරටට ගෙන්වීම වැළැක්වීමට යෝජනාවක් හැදුවා. ආරක්ෂාව ඉතා ඉහළ වාහනවලට පමණක් ගෙන්වීමට නීතිගත කරන්නට සැලසුම් කළද ඒ නීතිය තවමත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒකට හේතුව අපිටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බාල වාහන මෙරටට ගෙන්වීමට ඉඩදීම ඇත්තටම ප්‍රශ්නයක්. ලංකාවට වාහනයක් ගෙන්වීමේදී කිසිම ප්‍රමිතියක් නැහැ. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ බාල තත්ත්වයේ වාහන මෙරටට ගෙන්වන්න එපා කියලයි.”

එමෙන්ම රජය මෙම ක්වාඩ්සයිකලය මෙරටට හඳුන්වා දෙමින් ජනතාවට ඇති වාහන සිහිනය හැබෑ කරලීමේ පරමාර්ථය වන්නේ නම් ඒ වෙනුවට බාල වර්ගයේ අනාරක්ෂිත වාහනයක් ගෙන්වනවාට වඩා මරුටි ඇල්ටෝ කාර් රථවල බදු මිල අඩුකළ යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පැවසීය.
යම් භාණ්ඩයක් මෙරටට හඳුන්වා දීමේදී එම භාණ්ඩය නිෂ්පාදිත රට තුළ එය කොතරම් අලෙවි වීමක් වනවාද සොයාබැලීම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් මෙම ක්වාඩ්සයිකලය (Quadricycle’s) නිෂ්පාදිත රට තුළ පවා තහනම්ය.

♦ දිශානි කරුණාරත්න

වාහනය ලංකාවේ නීතිවලට අනුකූලයි

මේ සම්බන්ධව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතාගෙන්ද අප විමසීමක් කළෙමු.

මෙම වර්ගයේ වාහන ලංකාවට ගෙන්වීමට අවශ්‍ය වෙන නීතිරීති පාර්ලිමේන්තුවේ සකස් කරලා තියෙනවා. ඒ නිසා එම නීතිරීතිවලට අනුකූලව ඕනෑම ආයතනයකට එම වර්ගයේ කාර් ගෙන්වීමේ බලය තියෙනවා. නමුත් ඒවා අපගේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමත කරල තියෙන නිර්ණායකවලට අනුකූලව ගෙන්විය යුතු වෙනවා. මෙම වාහනය ලංකාවට ගෙන්නලා තියෙන්නේත් ඒ නිර්ණායකවලට අනුකූලවයි. ඒවා ලංකාවට ගෙන්වීමෙන් පසුව ලංකාවේදී එම වාහන පහක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඒවා ධාවනය කරලා පරීක්ෂා කරලත් තියෙනවා.

මෙම වාහනය ඉන්දියාවේදී තහනම් කරල තියෙන්නේ ඒ රටේ වෙනත් ආයතනයකින් කරල තියෙන පැමිණිල්ලක් හේතුවෙනුයි. එය පසුගිය සතියේදී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කරලා තියෙනවා. ඒ වාර්තාවද මේ වෙනකොට අපිට එවලා තියෙනවා. එම නිසා එය ඉන්දියාවේද රජයේ ලියාපදිංචි කිරීමට අවසරය ලැබිලා තියෙනවා.

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00