2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

ගිහින් බලනකොට සුද්දො ටික කැන්ද කොළේ එක්කම හැලප කාලා

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 199

මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකයට ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේරාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරුය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනකු සමඟ කළ සංවාද සටහන් පෙළක දහ නමවැන්නයි. මෙවර ද අප හා එක්වන්නේ ඉරෝෂා නානායක්කාර ය. වසර හතක පමණ සිට සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙන ඈ බ්‍රිතාන්‍ය, කැනඩා, අමෙරිකානු, ඕස්ට්‍රේලියානු ආදී ඉංග්‍රීසි භාෂාව මව්බස කරගත් සංචාරකයන්ට රටතොට පෙන්වන්නීය.

අතින් කෑමේ යුද්ධය 

ඕනෑම සංචාරයකදී ආහාරවලට හිමිවෙන්නේ ප්‍රමුඛස්ථානයකි. ආහාර රසවිඳීම ද සංචාරයක මූලික අංගයකි. ලංකාවට එන සුද්දන් ද ලංකාවේ කෑම බීම අත්හදා බලන්නට බෙහෙවින් කැමතිය. ඇතැමුන්ට අපේ මිරිස් රස දරාගන්නට අපහසු වුණත් ඔවුන් උත්සාහ කර බලන්නට පැකිළෙන්නේ ද නැත. 

“මම අතින් කනවා දැක්කම එයාලාටත් අතින් කන්න ආසා හිතෙනවා. එතකොට හැඳි ගෑරුප්පු පැත්තකට කරලා බත් කන්න හැදුවත් එයාලට එහෙම කන්න පුරුදු නෑ” ඉරෝෂා කියන්නේ සිනාසෙමිනි. 

අතින් ගෙන යම් ආහාරයක් එක එල්ලේ කටේ ඔබා ගැනීමට පුළුවන් වුවත් උපන්දා සිට හැන්දෙන් ගෑරුප්පුවෙන් හරඹ කරන්නට පුරුදු වුණු විදේශිකයන්ට අතින් කෑම යනු නුපුරුදු දෙයකි. විශේෂයෙන්ම බත් වැනි දෙයක් අනාගෙන කන්නට ඔවුන් කරන්නේ සුළුපටු යුද්ධයක් නොවේ. 

දිනක් හැලප කන්නට ගොසින් සිදුවූ අකරතැබ්බයක් ගැන ද ඉරෝෂා විස්තර කළාය. 

එදින ඉරෝෂා ඇතුළු සංචාරක නඩයක් හබරණට සවාරියක් ගොස් තිබුණි. හබරණදී ගමේ තාලයට දිවා ආහාරය පිළිගැන්වුණු අතර දවල්ට බත් මාළු පිනි කෑ සුද්දන්ට අතුරුපසට තිබුණේ කෙසෙල්ගෙඩි සහ වෙනත් සිංහල කැවිලි කිහිපයකි. ඒ අතර හැලප ද විය. 

“ගෙස්ට්ලා ටික හිටියේ මේස තුන හතරක. ඉතින් හැමෝටම හැලප බෙදලා දීලා මම එක මේසෙක කට්ටිය එක්ක කතා කර කර හිටියා. ටික වෙලාවකින් වෙන මේසෙකට ගිහින් බලද්දි එතැන හිටපු සුද්දෝ ටික කැන්ද කොළේ පිටින්ම හැලප කාලා. පස්සෙ මම හැලප කන විදිහ පෙන්නලා දුන්නම එයාලටත් හිනා” 

පිටි කොටපන් සුදු නෝනේ... 

අපේ රටේ ගැමි ගෙදරකට ගොඩවී ආහාර පාන පිළියෙල කරන ආකාරය මුලසිටම සංචාරකයන්ට දැකබලා ගැනීමට සැලැස්වීම ද මේ සංචාර අතරතුරදී සිදුවේ. සාමාන්‍යයෙන් අනුරාධපුර පොළොන්නරැ යන අතරමඟදී ඒ සඳහාම වෙන්වුණු ගැමි ගෙදරකට ගොඩවන සුද්දන්ට කුල්ල, නෑඹිලිය, කොරහා ආදී එකී මෙකී නොකී සියලු මුළුතැන්ගෙයි උපකරණ පිළිබඳ අත්දැකීමක් ලබාගැනීමට පුළුවන. එහෙත් ඒ සියල්ලට වඩා සුද්දන්ට අපූර්වත්වය ගෙනෙන උපකරණය වන්නේ වංගෙඩිය සහ මෝල්ගහයි. 

“ගොඩක් ගෙස්ට්ලා හිතන්නේ මෝල්ගහ වංගෙඩියේ වැදෙන්නේ බම්ප් වෙන සිස්ටම් එකකට කියලයි. ඒ කියන්නේ අපේ ආයාසයක් නැතුව ඒ වැඩේ කරන්න පුළුවන් කියලයි. ඉතින් වංගෙඩියෙ පිටි කොටන්න ආවට පස්සෙ තමා මේක ගැන එයාලා දැනගන්නෙ. 

සාමාන්‍යයෙන් වංගෙඩියේ පිටි කොටන්නට ගැමි ගැහැනුන් දෙතුන් දෙනකු සහභාගී වීම සාමාන්‍ය කරැණකි. එකියකගේ මෝල්ගස අහසට යනවිට අනෙක් එකියකගේ මෝල් ගස වංගෙඩියට පාත්වෙයි. සුද්දෝ ද පිටි කොටන්නට එන්නේ ඒ අයුරිනි. 

“එයාලා පිටි කොටද්දි පිටි කෙටෙනවට වඩා සිද්ධ වෙන්නේ මෝල් ගස් එකට එක වදින එක තමා” සුද්දන්ගේ පිටි කෙටිල්ල ද ඉරෝෂාට විනෝදය ගෙනෙයි. 

කෝ මේ උතුරු දොරටුව? ...

මේ සිද්ධිය සිදුවුණේ ඉරෝෂා ගයිඩින් පටන් ගත් සමයේදීම ය. ඈ උන්නේ සංචාරකයන් පිරිසක් සමඟ ශ්‍රී මහා බෝධිය වන්දනා කරන්නට ගොසිනි. උතුරු දෙසින් ශ්‍රී මහා බෝධි මළුවට ඇතුළු වුණු ඈ සංචාරකයන්ට ශ්‍රී මහා බෝධියේ ඓතිහාසික වටිනාකමත් බුද්ධාගමේ සම්බන්ධයත් පැහැදිලි කර දුන්නාය. අවුරුදු දෙදහස් ගණනක් පැරුණි වෘක්ෂය දෙස සුද්දෝ පුදුමයෙන් බලා සිටියදී ඉරෝෂා කල්පනා කළේ බෝධි මළුවෙන් පිටවන හැටි ගැන ය. 

“ඔය මම ගයිඩින් පටන් ගත්ත මුල් කාලෙ. රැවන්මැලි සෑය පැත්තට යන්න මම දන්නෙ උතුරැ පැත්තෙන් පිටවුණොත් විතරයි. ඉතින් මට ඕන වුණේ අපි ආපු පැත්තටම ආපහු යන්නයි” 

අන්තිමේදී බෝධි මළුවෙන් පිටවන්නට ඇති තවත් තැන් කිහිපයක්ම පසුකරමින් ඈ සුද්දන්ව මළුවට ඇතුළු කළ තැනටම කැඳවාගෙන ගොස් ඉන් පිටවූවාය. 

අපි ඕස්ට්‍රේලියාවෙ නෙමේ... නවසීලන්තෙන්

ඉරෝෂාට නිතර හමුවන සංචාරකයන් පිරිසක් වන්නේ ඕස්ට්‍රේලියානුවන් ය. 

“ඕස්ට්‍රේලියන් කට්ටිය ලංකාවට ආවම ක්‍රිකට් ගැන ගොඩක් කතා කරනවා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් එයාලා හරි කැමැතියි. ජයසූරිය, සංගක්කාර, මහේල කියන තුන්දෙනාට තමා එයාලා වැඩියෙන්ම කැමැති”

මීට සති කිහිපයකට උඩදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම තම ක්‍රිකට් ඉතිහාසය තුළ මුහුණ දුන් අපකීර්තිමත්ම සිදුවීමක් සිදුවිය. ඒ පන්දුව පළුදු කිරීමේ චෝදනාවකට වැරුදිකරුවන් වීම නිසාවෙනි. 

“පන්දුව පළුදු කිරීමේ සිද්ධියට වෙලාවෙදිත් මම හිටියේ ඕස්ට්‍රේලියාවේ ගෙස්ට්ලා කණ්ඩායමක් එක්කයි. එවේලේ එයාලා ඒ සිද්ධිය ගැන අවංකවම කනගාටු වුණා. ඒ වගේම ලජ්ජාවටත් පත්වුණා. අපි ඕස්ට්‍රේලියන්ස්ලා නෙමේ. අපි නවසීලන්තෙ. එයාලා විහිළුවට එහෙම කිව්වත් ඒ සිද්ධිය ගැන හුඟක් වේදනාවෙන් හිටියා කියලා මට තේරුණා”

රිලව් හුරතල්

රන්ගිරි දඹුලු විහාරය යනු අපේ රටේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරැමයකි. ලෝක උරුමයක් නිසාම දඹුල්ලට සංචාරකයන් යනු ආගන්තුකයන් පිරිසක් නොවේ. මෙසේ පැමිණෙන සංචාරකයන් පිළිගන්නට දඹුලු විහාර භූමියේ සැදී පැහැදී සිටින විශේෂ කණ්ඩායමක් ද සිටී. 

“ඔය ඇවිත් මම දඹුලු විහාරයට ගිය මුල්කාලෙ. ලෙන ඇතුළට යන්න කලින් මම ගෙස්ට්ලාව එළියෙ තියාගෙන විහාරය ගැන විස්තර කරන්න පටන් ගත්තා. මම කළේ මහ මෝඩ වැඩක් කියලා තේරුණේ ටික වෙලාවක් ගියාමයි” 

දඹුලු ලෙන් විහාර භූමිය රිලවුන්ට ප්‍රසිද්ධ තැනකි. ලෝකයේ ඈත මහාද්වීපවලින් තමන්ගේ වාස භූමිය වෙත පැමිණෙන සුදු නෝනාවරු, සුදු මහත්වරු පිළිගැනීමට රිලව් රංචු සිටින්නේ මඟ බලමිනි. එසේ පැමිණෙන සුදු නෝනා කෙනෙකුගෙන් මහත්තයෙකුගෙන් කෙසෙල් ගෙඩියක්, කොමඩු කෑල්ලක් ලබාගන්නට බැරි නම් උදුරා ගන්නට හෝ මේ රිලා රාළලා පසුබට වන්නේ ද නැත. 

මේ නිසාම සංචාරකයන් සිටින විට විවිධ කෝලම් කිරීමට රිලවු හුරුව සිටිති. ඒ මේ අත පනින උන් ටික වේලාවක් සංචාරකයන් දෙස එක එල්ලේ බලා සිටී. රිලවු යනු යුරෝපීයයන්ට, ඕස්ට්‍රේලියානුවන්ට ආගන්තුක සත්ත්වයෙකි. එමෙන්ම මේ තරම් ළඟින් එවැනි සතෙකු දැකගන්නට ලැබීම ද සුවිශේෂී අවස්ථාවකි. එනිසා සංචාරකයන්ට ඉරෝෂා ගැන වගේ වගක් නැත. ඔවුන් රිලවු පසුපස දිවයන්නට පටන්ගන්නේ පුංචි එවුන් මෙනි. 

අවදානමට නැහැ ඉඩ... 

උතුරුමැද පළාත යනු වැව් බැඳි රාජ්‍යයි. අඩියෙන් අඩිය වැවක් නැත්නම් අමුණකි. ඒ වැව්වලින් සිත් සේ ස්නානය කරන මිනිසුන් ගැහැනුන් දකින සංචාරකයන්ට ද ඉස්පාසුවක් නැත. 

‘ඉරෝෂා මටත් වැවේ නාන්න ඕනෙ’ යන ඉල්ලීම බොහෝ විට ඉදිරිපත් වන්නකි. එහෙත් එක් වතාවකදී හෝ වැවකින් නෑමට ඉරෝෂා ඔවුන්ට ඉඩදී නැත. මන්ද තමා හරිහැටි නොදන්නා තැනකට සංචාරකයන් ඇතුළු කිරීමට ගයිඩ්වරුන්ට වරියන්ට ඉඩක් නැත. 

මීට අවුරුදු හයකට පමණ ඉහතදී ඉරෝෂාට ඇමරිකාවේ සිට පැමිණි සංචාරකයන් දෙදෙනකුට සීගිරිය පෙන්වීමට සිදුවිය. එක් අයකු ඒ ආසන්න කාලයේදී උගුරේ ශල්‍ය කර්මයකට බඳුන් වූ හැත්තෑ දෙහැවිරිදි වියේ පසු වූවෙකි. අනෙකා කුදු බවට පත් අසූ විය ද ඉක්මවූවෙකි. 

“මම මුලදිම ඒ දෙන්නට කිව්වා සීගිරිය නගිනවා කියන්නේ අමාරු ගමනක්. අපි මේක නොකර ඉමු කියලා. ඒත් එයාලට සීගිරිය නගින්න ඕනෙමයි කිව්වා” 

සීගිරිය නගින්නට පටන්ගෙන ටික වේලාවක් යද්දී අසූ හැවිරිදි වියේ පසු වූ අමෙරිකානුවාට හොඳටම හති ය. කුදු ගැහෙමින් සීගිරිය නගින්නට වෙර දරන ඔහු ගැන ඉරෝෂා තුළ ඇතිවූයේ අනුකම්පාවකි. එහෙත් ඔහු ඊළඟට කී දේත් සමඟ ඈට දැනුණේ අනුකම්පාවට එහා ගිය විශාල බියකි. 

“මම මේ ටුවර් එක එන්න කලින් මගේ දෙවැනි හාට් ඇටෑක් එකත් ආවා” සංචාරකයා ඇඟට පතට නොදැනී එය කීවේ සීගිරි ගලේ බාගයක් දුර නැඟ හති අරිමින් සිටියදී ය. ඒ ටික ඇසෙනවාත් සමඟ ඉරෝෂාට දැනුණේ තමාට හෘදයාබාධයක් ඇතිවෙන්නට එන බවකි. 

“මම ටක් ගාලා හෙල්පර් කෙනෙක් අතේ එයාව ආපහු පල්ලෙහාට යැව්වා. මම ඇත්තටම බය වුණා. මොනවා හරි වුණා නම් එහෙම”

එහෙත් අනෙක් සංචාරකයා ඉරෝෂා සමඟ සීගිරිය මුදුනටම නැග්ගේය. සීගිරි මාලිගයට ගොඩවීමෙන් පසු ඔහු ලැබු‍වේ අපමණ සතුටකි. කෙසේ හෝ සීගිරියට නැගීමේ තම සිහිනය සැබෑ කරදුන් ඉරෝෂාට ඔහු බෙහෙවින් ළෙන්ගතු විය. හැම අවුරුද්දකම නත්තලටත් අලුත් අවුරුද්දටත් ඉරෝෂාට සුබපැතුම් පතක් වරදින්නේ නැති තරම් ළෙන්ගතු වීය. 

(තවත් කොටසක් ලබන සතියේ) 

  රජිත ජාගොඩ ආරච්චි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00