2018 මාර්තු 17 වන සෙනසුරාදා

ෆේස් බුක් කවියෝ පිට කහගන්නවා එයාලම පිරි‍හෙනවා

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 265

- ජයතිලක කම්මැල්ලවීර

ජයතිලක කම්මැල්ලවීර නවකතාකරුවකු කෙටිකතාකරුවකු ම ද නොව කවියකු ද වේ. කෙටිකතාවට මෙන්ම නවකතාවට ද ඔහු සම්මාන හිමිකර ගෙන තිබේ. 1985 දී ඔහුගේ පළමු කෙටිකතා සංග්‍රහය “කළුසපත්තු” පළවිය. ඔහු මේ වනවිට ඔහු පළකර ඇති කෙටිකතා සංග්‍රහ සංඛ්‍යාව එකොළහකි.

මෑතකදී නිකුත් වූ ඔබගේ “එකොළහ” කෙටිකතා සංග්‍රහයේ අපි වෙනසක් දකිනවා. එහි බොහෝ කතා සංක්ෂිප්තයි?

එකොළහ කෙටිකතා සංග්‍රහයේ කර්තෘ සටහනේ මම එයට හේතුව පැහැදිලිව දක්වා තිබෙනවා. කෙටිකතාවේ එක්තරා මානයක් නවීන කවියට සමීපවෙන බව මම කියලා තිබෙනවා. එක් ලක්ෂණයක් තමයි රූපක වැඩිදුර භාවිතය. වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීමක් දැනවීමට ඇති හැකියාව තවත් ලක්ෂණයක්. මේ ගුණාංග දෙක කෙටිකතාවට එකතු කරන්නේ කොහොමද? කවියේ සංක්ෂිප්තභාවය කෙටිකතාවට එක්කරන්නේ කොහොමද? යන උත්සාහය “එකොළහ” කෙටිකතා සංග්‍රහයේ දී මම ගත්තා. ඒක දැනුවත්ව කළ දෙයක්.

ඔබේ, ඇස් කෙටිකතා සංග්‍රහය පළකර අවුරැදු 5කින් පසුව තමයි “එකොළහ” පළ කරන්නේ. අද සමහර ලේඛකයන් වර්ෂයකට එක බැගින් නිර්මාණ කෘති පළ කරනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

එක් එක් කෙනාගේ ලිවීමේ භාවිතය වෙනස්. සමහර විදේශ ලේඛකයෝ ඉන්නවා වර්ෂයකට පොත් දෙකතුනක් ලියන. අපෙත් එහෙම අය ඉන්නවා. ස්වර්ණ පුස්තක සම්මානය නිසා සමහර ලේඛක ලේඛිකාවෝ වර්ෂිකව පොතක්, නවකතාවක් බැගින් පළ කිරීමට පෙළඹෙන බව පේනවා. විශාල තෑග්ගකුත් ලැබෙනවා. මේ සම්මාන දිනපු සමහර පොත් පිටපත් 25000 ඉක්මවා අලෙවි වී තිබෙනවා.

නමුත් ඔබ එලෙස ලියන්නෙ නැහැ?

ඔව්... මට කිසිදෙයක් කලින් සැලසුම් කරලා ලියන්න බැහැ. කවුරු හරි සඟරාවකට කෙටිකතාවක් ඉල්ලුවත් මට ලියන්න බැහැ. මානසික අභ්‍යන්තරයෙන් පෙළඹීමක් ආවිට තමයි ලියන්නේ. මම කෙටිකතාව සම්පූර්ණයෙන් ඔළුවේ ගොඩනගලා අවසන් කර තමයි පෑන අතට ගන්නේ. සමහර කෙටිකතා ලිවීමට පෙර සම්පූර්ණයෙන් යාළුවන්ට කියලා තිබෙනවා. මම එකොළහ ලියනකම් අවුරැදු පහක විරාමයක් ගත්තත් මාස දෙකක් වගේ ඇතුළත ඒ කතා එකදිගට ලිව්වා. කලින් කෙටිකතා ලියලා තබාගෙන ඉන්නේ නැහැ.

ඔබේ පළවෙනි නවකතාවට (අට අවුරුද්ද) ඩී.ආර්. විජේවර්ධන සම්මානය ලැබෙනවා. ඊට පසුත් නවකතාවලට සම්මාන ලැබෙනවා. නමුත් විචාරකයන් සලකන්නේ ඔබ විශිෂ්ට කෙටිකතාකරැවෙක් ලෙසයි?

මම තාමත් කෙටිකතාවට ගොඩාක් ආදරේ කෙනෙක්. කෙටිකතා රචනය කියන එක ඉතාම අමාරු ඉතාම සියුම් නිර්මාණ කාර්යයක්. ඒක නිසාම මම ආසයි සාර්ථක කෙටිකතාකරැවකු ලෙස හඳුන්වනවාට. ඒකෙන් කියන්නේ නැහැ මම අසාර්ථක නවකතාකරුවෙක් කියලා. (සිනහවෙමින්.)

අද අපේ සාහිත්‍යයේ කෙටිකතාව තියන තැන ගැන ඔබේ අදහස කුමක්ද?

මගේ නිරීක්ෂණය නම් අපේ නවකතාව, කෙටිකතාව හා කවිය ගත්තොත් ඉහළම දියුණුම තැනක තිබෙන්නේ කවියයි. ඊළඟට කෙටිකතාව තබන්න පුළුවන්. සමස්තයක් ලෙස නවකතාව ජාත්‍යන්තර මට්ටමෙන් සසඳා බැලුවොත් ඉහළම තත්ත්වයක තබන්න අමාරුයි. අපේ හොඳම නවකතාවක් ලියවුණත් වෙනත් බසකට පරිවර්තනය වෙලා ලෝක පාඨකයන් අතරට යනවා අඩුයි. ඒ නිසාම අවිඥානිකව අපේ නවකතාකරැවෝ යොමුවෙලා තිබෙනවා සිංහල පාඨකයන්ට පමණක් ලියන්න. ඒක ලොකු අවාසියක්.

හැබැයි ඉන්දියාවේ ඔය තත්ත්වය දකින්න නැහැ නේද?

ඔව් ඉන්දියාවේ එක් ප්‍රාන්තයක් ගත්තත් අපේ රට වගේ කීපගුණයක්. ඒ රටේ ප්‍රාන්තවල හොඳම නවකතා සාහිත්‍ය ඇකඩමිය විසින් අනෙකුත් භාෂාවලට සහ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනවා. ඒ නිසා විශාල පාඨක පිරිසක් ඒ පොත කියවනවා.

කෙටිකතා හා කවිවලට රජත පුස්තක සම්මාන ලබාදීම ගිය වර්ෂයේ සිට ඇරඹුණා. මේ නිසා එම කෘති පළවීම ප්‍රමාණාත්මකව ඉහළ ගිහින්. මේ සම්මාන උසස් ගණයේ කෙටිකතා පොත් පළවීමට හේතුවෙලාද?

එහෙම වෙන්නේ නැහැ. මම මුලින්ම කෙටිකතා පොත් පළකරන්නේ 1980 දශකයේ. අජිත් තිලකරත්න, සෝමරත්න බාලසූරිය, රංජිත් ධර්මකීර්ති, ඇරුව්වල නන්දිමිත්‍ර වගේ පිරිසක් ඒ කාලේ හිටියා. ඊට අවුරැදු 10 – 15කට පසු තමයි කීර්ති වැලිසරගේ ලියනගේ අමරකීර්ති, පියල් කාරියවසම්, නිශ්ශංක විජේමාන්න වගේ සාර්ථක කෙටිකතාකරැවන් බිහිවන්නේ. අවුරුදු 15ක් පමණ දැන් ගෙවිලා ගිහින් තිබෙනවා. නමුත් කැපී පෙනෙන කෙටිකතාකරැවෙක් මතු වී නැහැ. අනුරසිරි හෙට්ටිගේ “සිංහබාහු එනකං” හොඳයි. ඉසුරු චාමර සෝමවීර, තරංගා රණසිංහ (අච්චාරු සහ තවත් කතා), විරාජීනි තෙන්නකෝන් වගේ තරුණ පිරිසක් මෑතකදී කෙටිකතා පොත් ලිව්වා. විරාජිනී මෑත යුගයේ බිහිවූ ශූර කෙටිකතාකාරියක්. නමුත් මේ පිරිස දිගටම කෙටිකතා ක්ෂේත්‍රයේ සිටිවී ද කියනඑක ප්‍රශ්නයක්.

ඔබ එක් කවි පොතකුත් පළ කළා. කවියේ දිගටම නිරත වන්න අදහසක් නැද්ද?

මට හිතලා ලියන්න අපහසුයිනේ. තරුණ කාලේ අපි කවි ලියලා තමයි පටන් ගත්තේ. නමුත් මට පසුව තේරුණා නව කවිය කියනඑක ගැඹුරැ වැඩක් කියලා. නමුත් ලංකාවේ අද ඉන්න හොඳ කවියෝ ඔක්කොම මගේ මිත්‍රයෝ. ආරියවංශ රණවීර, ලාල් හෑගොඩ, රත්නශ්‍රී විජේසිංහ, පරාක්‍රම කොඩිතුවක්කු, නන්දන වීරසිංහ වගේ කවීන් රාශියක් ඇසුරැ කරනවා.

මම ඕස්ට්‍රේලියාවෙ මාස 10ක් ගත කළා. එහි ගිය දවසට පසුදින සිටම දිනකට එකක් බැගින් වගේ කවි ලියැවුණා. වෙනත් කවි කිහිපයක් ද එක්කර “කාගෙද වසන්තය” පොත පළ කළා.

ඔබ ප්‍රවීණයෙක් වුණත් යමක් ලිවීමට පෙර බොහෝ ඒ ගැන හිතනවා. නමුත් අද තරැණ පෙළ සීග්‍රයෙන් කවිපොත් පළ කරන බව පේනවා?

අද තරුණ පෙළ අතර හුඟාක් තියෙන්නෙ. අමු කවි තමයි. විරෝධාකල්ප හුඟාක් ලියනවා. කවියාගේ යුතුකම සමාජ ප්‍රශ්න මතුකරන එකයි කියන අදහසක් තරුණ පරපුරේ තිබෙනවා. ඒක අමුවට මතුකරනවා. කාව්‍යමය ගුණය අඩුයි. 

ෆේස්බුක් කවිය ගැන කිව්වොත්?

ෆේස්බුක් එකේ කවියෝ ඕනෑ තරම්. ඒගොල්ලන්ට මුකුත් උගන්වන්නත් බැහැ. ඔවුන් ලියන කවි ඔසවා තබන්න කමෙන්ට් කරන්න වෙනම පිරිසක් ඉන්නවා. ඉතින් ලියපු කෙනා හිතනවා ඒක තමයි හොඳම කවිය කියලා. එලෙස කවි නොවන දේවල් ෆේස්බුක් දැමීමෙන් වන්නේ කවියට හානියක් නොවෙයි. කවි ලියන කෙනාටම තමන්ටම හානියක්. කිසියම් නිර්මාණාත්මක හැකියාවක් තියන කෙනෙක් තමයි කවියක් ලියන්න උත්සාහ කරන්නෙ. ඒක වර්ධනය කරගත යුතුයි. නමුත් ෆේස්බුක් එකේ අය වැරදි පෙන්වලා දෙනවා වෙනුවට ඔසවලා තබනවා.

 කුසුම්සිරි
සේයාරූ:- සුමුදු හේවාපතිරණ