2018 මාර්තු 17 වන සෙනසුරාදා

බඩගාන වන්දි ගෙවිල්ල

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 162

♦ ලක්ෂ පහේ අලාභයට ලක්ෂ පනහක් දාලා
 තක්සේරු වාර්තා ගන්නයි  ප්‍රමාද වෙන්නේ..

මහනුවර ජාතිවාදී සුළඟත් සමඟ හමාගිය සුළං රැල්ලෙන් ඔදවැඩුණු ජාතිවාදීහු ආනමඩුවේ මුස්ලිම් ජාතිකයකුට අයත් මදීනා හෝටලය ගිනිබත් කළහ. වහාම නගරයේ සිංහල, දෙමළ හා මුස්ලිම් ව්‍යාපාරිකයෝ එකතු වූහ. පැය 24 ක් යාමට මත්තෙන් මම හෝටලය ප්‍රතිසංස්කරණය කර හිමිකරුවාට බාරදුන්හ. දැන් ඔහු යළිත් තම ව්‍යාපාරික කටයුතු කරගෙන යමින් සිටී.

මේ අතර ගින්න ආරම්භ වූ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක විශාල මුස්ලිම් ජාතිකයෝ පිරිසක් තවමත් තම ව්‍යාපාරික කටයුතු හා එදිනෙදා ජීවිතය ආරම්භ කිරීමට නොහැකිව ලතවෙමින් සිටිති.

ගිනිදැල්වල රස්නය අඩු වී ඇඳිරි නීතිය ද ඉවත් කළ පසු රජයේ ප්‍රධානීහු මහනුවරට ගියහ. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී විපතට පත්වූවන්ට සහන සැලසීමේ ක්‍රියාමාර්ග ගැන එහිදී සාකච්ඡා කළහ. සාකච්ඡාව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

විනාශ වූ දේපළ සඳහා වන්දි තක්සේරු කිරීම, මියගිය අය සඳහා වන්දි ගෙවීම, විනාශ වූ දේපළ පුනරුත්ථාපනය යන අංශ යටතේ මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි. එහිදී වන්දි ලබාදීම සඳහා සලකා බැලීමට ජීවිත හානි තුනක් (පූජාපිටිය, තෙල්දෙණිය හා කුණ්ඩසාල) සහ දේපළ හානි 465 ක් ඉදිරිපත්ව තිබුණි. ඒ අතරින් පූර්ණ දේපළ හානි 87ක්ද, අර්ධ හානි 186ක්ද, සුළු හානි 182ක්ද වාර්තා වී තිබේ. මේ අතරින් මුස්ලිම් පල්ලි 14කටද ජාතිවාදී පිරිස් විසින් ප්‍රහාර එල්ල කර තිබේ. එයින් එකක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇත. අර්ධ හානි වූ පල්ලි 6ක්ද, සුළු හානි වූ පල්ලි 7ක්ද විය. සම්පූර්ණයෙන් විනාශ වූ පල්ලිය කෙංගල්ල පල්ලියයි. විහාරයකටද සුළු හානි සිදුව තිබේ. විනාශ වූ නිවාස සංඛ්‍යාව 232 කි. අගමැතිවරයා එම රැස්වීමේ දී අවධාරණය කළේ පසුගිය සිකුරාදා (16) දින) වන විට සියලුම තක්සේරු සිදුකර අවසන් කළ යුතු බවයි. එහෙත් වාර්තා වන පරිදි තවමත් මේ තක්සේරු කිරීම නිමාවට පත්ව නැත. හිමිකරුවන් අවිනිෂ්චිත තොරතුරු ලබාදීම නිසා තක්සේරුකරුවන්ද අපහසුතාවයකට පත්ව ඇත.

අගමැතිවරයා එහිදී උපදෙස් දුන්නේ මියගිය අයගේ පවුල් සඳහා වහාම සහන සලසන ලෙසයි.

“අමාත්‍ය මණ්ඩල තීරණයක් අරන් තිබෙනවා මියගිය අයගේ ළඟම ඥාතීන්ට රුපියල් ලක්ෂ හයක සහන මුදලක් ලබාදීමට. ඒ මුදලින් රුපියල් ලක්ෂයක් බැගින් තුන්දෙනකුට පසුගිය 12 දා ගෙව්වා. ඊට අමතරව අපගේ චක්‍රලේඛය අනුව අවමංගල්‍යාධාර වශයෙන් රුපියල් 15000 ක් ලබාදිය හැකියි. අපි ඒ මුදල් ද ලබාදුන්නා. තව ලක්ෂ හතර බැගින් ඒ පවුල් තුනට ලබාදිය යුතුයි. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඉතිරි මුදල් ගෙවිය යුතුයි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කරනවා. කැබිනට් අනුමැතිය එම පත්‍රිකාවට ලැබුණු පසු සතියක් වගේ ඇතුළත ඒ මුදල් ගෙවීමට බලාපොරොත්තු වෙනවා.” අපට එලෙස පැවසුවේ පුනරුත්ථාපන අධිකාරියේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතාය.

මෙලෙස මියගිය අයට වන්දි ගෙවීමට අමතරව පහරදීමකින් මරණයට පත් ලොරි රියැදුරාගේ පවුලට ජීවත් වීමට ස්ථිර ආදායම් සහිත වැඩපිළි‍වෙළක් ඇතිකළ යුතු බවත් අගමැතිවරයා ඉහත සාකච්ඡාවේ දී පැවසුවේය.

හානි වූ ව්‍යාපාරික ස්ථානවලට මූලික වශයෙන් ලබාදීමට එකඟ වූ වන්දිය රුපියල් ලක්ෂයකි. හානි වූ නිවාස සඳහා මූලික සහන මුදල රුපියල් පනස් දහසකි. එමෙන්ම බැංකු ණය ලබාගත් ව්‍යාපාරිකයන් සඳහා නිවාස හිමියන් සඳහා ණය වාරික අයකරගැනීම තාවකාලිකව නතර කිරීමට බැංකු කළමනාකරුවන්ට උපදෙස් දීමටත් තීරණය කර තිබේ. අලාභහානි වූ විශාල ව්‍යාපාරික ස්ථාන සඳහා වෙනම ක්‍රමවේදයක් යටතේ වන්දි ගෙවීමට සැලසුම් කර තිබේ.

වන්දි ගෙවීමේ දී වැඩිම මුදලක් වෙන්කළ යුතුව ඇත්තේ කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයටය. වැඩිම හානි සිදුව ඇත්තේ එයට බැවිනි. එහි ව්‍යාපාරික ස්ථාන සහ නිවාස 147 ක් විනාශ කර තිබේ. 76ක්ම සම්පූර්ණයෙන් විනාශ වී ගොසිනි. ඊට පසු වැඩිම හානිය හාරිස්පත්තුවටය. පාතදුම්බර ප්‍රදේශයේ නිවාස 15කට හානි වී ඇති අතර පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද විනාශය පැතිර තිබේ.

“ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරටම මේ වන විට තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 24 දෙනෙක් සිටිනවා. දැනට දේපළ වන්දි සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට අපි අයැදුම්පත් නිකුත් කර තිබෙනවා. තක්සේරු වාර්තා අරගෙන අයැදුම්පත් පුනරුත්ථාපන අධිකාරියට ලැබුණට පස්සේ වහාම රුපියල් ලක්ෂයක් ගෙවීමට කටයුතු කරනවා. ඉතිරි වන්දි මුදල් ගෙවන්නේ ඒවා අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර අනුමැතිය ලැබුණු පසුවයි. මිලියන ගණන් ගෙවිය යුතු හානිත් තිබෙනවා. ඒවා තීරණය වන්නේ තක්සේරු වාර්තාව අනුවයි.

මේක තක්සේරු කිරීම සංකීර්ණ කාර්යයක්. ගිනිතබා තිබෙන වෙළෙඳසල්වල භාණ්ඩ පිළිස්සී තිබෙනවා. මේ නිසා කොපමණ වටිනාකමක භාණ්ඩ විනාශ වී තිබෙනවාද යන්න සෙවීම එක්වරම කළ නොහැකියි.”

වන්දි ගෙවීම පරක්කු වන බවට ජනතාවගේ පැත්තෙන් මැසිවිලි නැගේ. තම ජීවිත යළිත් යථා තත්ත්වයට පත්කර ගැනීමටත් යළිත් ව්‍යාපාර ආරම්භ කිරීමටත් වන්දි අත්‍යවශ්‍යව පවතී. මේ පිළිබඳව සඳහන් කරන පුනරුත්ථාපන අධිකාරියේ අධ්‍යක්ෂවරයා මෙසේ ද කීවේය.

“වන්දි ගෙවීම් ප්‍රමාදයක් නැහැ. නමුත් එයට තක්සේරැ වාර්තා පැමිණිය යුතුයි. සම්පූර්ණ වන්දියම ගෙවීමට රජය තීරණය කරලා තිබෙනවා. ලක්ෂයට වැඩි වන්දි ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගත යුතු වෙනවා. ඊට වඩා අඩු අලාභ නම් තක්සේරු වාර්තා පැමිණි පසුව ගෙවීමට පුළුවන්. ඉතිරි ඒවාට හැකිතාක් ඉක්මනට වන්දි ගෙවීමට අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ තක්සේරුව අවසන් වීමට සති දෙකක්වත් යාවි. අපි ප්‍රාදේශීය ලේකම් සමඟත් සාකච්ඡා කර තීරණය කළේ තක්සේරු ඉවරවන හානියට පත් ස්ථානවල වාර්තා ඉක්මනට එවන්න කියලයි. එවිට ඒ ලැබෙන වාර්තාවල ගෙවීම් ආරම්භ කිරීමට පුළුවන්.”

මෙහිදී ව්‍යාපාරික ස්ථානවලට වන්දි ගෙවන අතරම හානියට පත්වූ නිවාස යළි සකසාදීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබේ. කෙසේ වුවත් යමක් විනාශ වූ පසුව යළි යථා තත්ත්වයට පත්කිරීම ඉතා දුෂ්කරය කොස්ගම සාලාවේ ආයුධ ගබඩාව ගිනිගැනීමෙන් විනාශයට පත් නිවාසවල ජීවත්වූවෝ තවමත් ජීවිතය ගොඩනගාගැනීමට උත්සාහ කරමින් සිටිති. පසුගිය කාලයේ අලුත්ගම සිදුවූ දේපළ සංහාරයට ද රජය තම වියදමින් ගොඩනැගිලි ඉදිකර දුන්නේය. එහෙත් අපරාධය මෙහෙයවූවෝ නිදැල්ලේ සිටිති.

මෙලෙස වන්දි ලබාදෙන්නේ රජයේ අරමුදල්වලිනි. එනම් පොදු ජනතාව බදු ගෙවන මුදල් වලිනි. ඒ අතර පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමට මිනිස් සිත් තුළ ජාතිවාදය වපුරන කණ්ඩායම් මාධ්‍ය සංදර්ශන පවත්වමින් වැජඹෙති.

♦ කුසුම්සිරි විජයවර්ධන සහ ජේ.ඒ.එල් ජයසිංහ
සේයාරුව : ගයාන් අමරසේකර

තොරතුරු සොයාගෙන ගෙවීම් කරනවා
 - මහනුවර දිස්ත්‍රික් ලේකම්

පසුගිය දිනවල තෙල්දෙණිය දිගන, බලගොල්ල, කෙන්ගල්ල, අකුරණ, කටුගස්තොට, මැද මහනුවර, උඩිස්පත්තුව, පේරාදෙණිය, නානුඔය, පූජාපිටිය යන ප්‍රදේශවල ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් ප්‍රචණ්ඩකාරීන් විසින් ගිනි තබා විනාශ කරන ලද වෙළඳසල්, නිවාස ඇතුළු වාහන (ත්‍රිරෝද රථ, යතුරුපැදි, වෑන් රථ) සඳහා වන්දි මුදල් ගෙවීම් කටයුතු සඳහා මේ දිනවල රාජ්‍ය නිලධාරීන් විසින් තක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

බොහෝ ප්‍රදේශවල සිදුවූ අලාභ හානිකිරීම් සම්බන්ධව ඒ ඒ බල ප්‍රදේශයන්හි පොලිස් ස්ථාන වෙත මේ වනවිටත් පැමිණිලි ලැබෙමින් පවතින බව මහනුවර පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

මූලික අදියරේ වෙළෙඳසලක් සඳහා රුපියල් ලක්ෂයක මුදලක්ද නිවසක් සඳහා සුළු අලුත්වැඩියාවන් වෙනුවෙන් රුපියල් පනස් දහසක මුදලක්ද ලබාදෙන බව රජය විසින් පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමැතිවරුන්ගේ විශේෂ රැස්වීමකදී ප්‍රකාශ විය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ පැවසීය.

ගැටුම්වලින් මරණයට පත්වූ මරණකරුවන්ගේ පවුල් සඳහා එක් පවුලකට මූලික වශයෙන් රුපියල් එක් ලක්ෂ පහළොස් දහසක මුදලක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. එයිට අමතරව රජය මගින් මෙම එක් මරණකරුවකුගේ පවුලක් සඳහා රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාදීමට කටයුතු කරන බව දන්වා තිබෙනවා. එම දීමනාව ඉදිරි කාලයේදී රජය විසින් ලබාදෙනු ඇතැයි විශ්වාස කරනවා. කෙසේ වෙතත් දැනට අලාභහානි වූ සියලු දේපළ පිළිබඳව විස්තර වාර්තා අපේ නිලධාරීන් විසින් එක්රැස් කරගෙන යනවා. මුලින් එක්රැස් කළ තොරතුරු වාර්තා අදාළ අංශ වෙත යවා තිබෙනවා.
ලැබෙන සෑම අලාභ හානි තොරතුරු වාර්තාවක්ම පරීක්ෂා කර බලා රජය වෙත යොමුකර ක්‍රමවේදයක් අනුව අලාභ හානි වූ දේපළ සඳහා වන්දි ලබාදීමේ කටයුතු සිදුකරගෙන යනවා.” දිගන කෙන්ගල්ල බලගොල්ල යන ප්‍රදේශවල අලාභහානි වූ වෙළඳසල්වල අබලි ද්‍රව්‍ය එම ස්ථානවලම තිබෙනු දක්නට ලැබුණු අතර කෙන්ගල්ල මුස්ලිම් දේවස්ථානයට සිදුවූ අලාභ හානි හේතුවෙන් මුස්ලිම් බැතිමතුන්ට සිය ආගමික කටයුතු කරගෛන යෑම සඳහා එම ස්ථානය ආසන්නයේ කොටසක තාවකාලික ශාලාවක් ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතියි.

දේපළ හා නිවාස අහිමිවූවන් බොහෝ දෙනකු පැවැසුවේ තම නිවාස දේපළ අලාභ හානි තක්සේරු කළත් මේ වනතෙක් තමන්ට සතුටුදායක ලෙස වන්දි මුදලක් අතට නොලැබුණු බවයි. ඇතැම් වෙළෙඳසල්වල සිදුවූ සුළු තත්ත්වයේ අලාභ හානි ඉතා බරපතළ ලෙස වැඩිකර පෙන්වා දෙන ඇතැමුන් රුපියල් ලක්ෂ පහක දහයක පමණ සිදුවූ අලාභ හානි තත්ත්වයන් රුපියල් ලක්ෂ 50 සිට රුපියල් කෝටියක් දක්වා වැඩිකර පෙන්වා දක්වන බවද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් හෙළිවිය.

මධ්‍යම පළාත් හමුදා ආඥාපති මූලස්ථානයේ 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතාගේ මෙහෙයවීම මත යුධ හමුදා භට කණ්ඩායම් සිවිල් සංවිධාන නියෝජිතයන් හා භික්ෂූන් වහන්සේලා සිංහල ජනතාව සම්බන්ධ කර ගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් හානි වූ ස්ථාන පිළිසකර කිරීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යුධ හමුදාව පියවරගෙන තිබේ. අලාභ හානි වූ වෙළඳ ආයතන අතර මෝටර් රථ අමතර කොටස් අලෙවිසල් රෙදිපිළි අලෙවි සැල්, ජංගම දුරකතන අලෙවි සැල්, එළවළු අලෙවි සල් ආපන ශාලා කිහිපයක්ද සිල්ලර භාණ්ඩ අලෙවිසල් හා ඉන්ධන හලක්ද තිබිණි.

මුස්ලිම් පල්ලිවලට වියළි ආහාර ද්‍රව්‍ය පවා රජය විසින් ලබාදී තිබෙන අතර ඇතැම් අවස්ථාවල වියළි ආහාර ද්‍රව්‍ය ලැබිය යුතු පීඩාවන්ට ලක්වූ මුස්ලිම් ජනතාවට එම වියළි ආහාර ද්‍රව්‍ය නොලැබුණු බවත් කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම්වරිය දිගන බලගොල්ල ප්‍රදේශයේ පීඩාවට ලක්වූ මුස්ලිම් ජනතාවට අවශ්‍ය සහන සලසාදීමට පියවර ගත් බවත් ජනතාව පැවසූහ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00