2018 මාර්තු 17 වන සෙනසුරාදා

එන්න! වෙනස්ම විදියෙ පෙම් කවියක් ලියන්න

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 140

සගය, මේ අනන්ත වූ ප්‍රේමය
ඉතින් පැමිණ වැළඳගන්න
තෙරක් නොපෙනෙන
ප්‍රේමයේ අහස් ගැබ මත
පියාපත් දිගහැර පියාසර කරන්න
සංසර්ගයක - උපත් පාලන පෙත්තක
සීමා ඉරි හදවත්වලින් බිඳගෙන
එන්න පියාඹන්න;
ආත්මාර්ථයට සීමා නොවී
පරාර්ථයත් දහස් වාරයක් ප්‍රශ්න කරන
ආධ්‍යාත්මයම ප්‍රේමණීය
සිනහවකින් පුරවාලන
ඒ අනන්ත වූ හැඟීමට ඉඩදෙන්න
තමන්ගෙන් පිට තමන්ගෙම ලෝකයක
තමන්ගෙම සිතින් තනිවෙන්න
තනිවී හිඳින සඳ කඳුළක් නැගෙන විට
දිව ඇවිත් තුරුළු වී සිපගන්න
එන්න ඒ උත්තරීතර හැඟීමේ 
බර හදවතින් දරාගන්නට,
අසීරුම කොන්දේසි තුළ ජීවිතේ
ඇයගේ සිනහවේ නාදයට කන්දෙන්න
ඔහුගේ තුරුළෙහි උණුසුමට ඉඩදෙන්න
ක්ෂිතිජයට දිවයන මේ ප්‍රේමයේ මාවතේ
ඉතිහාසයේ විප්ලවීය ප්‍රේමවන්තයින්ගේ
සොහොන් කොත් මත
නොනිමෙනා ඉටිපන්දමක් දල්වන්න
සුරංගනා කතාපොත් වසා අගුලු ලා
අහසෙන් දෑස්ගෙන පිටතට
මහ පොළොව මත සැඟවී ගිය
ඒ උදාරතර ප්‍රේමවන්තයා සොයාගන්න
උපත් පාලන කොපු වෙනුවට
කටුකම්බි, ටයර් මැදත්
ප්‍රේමයේ නාමය පාවා නොදුන්
ඒ උත්තරීතර විප්ලවවාදීන්ගේ
ප්‍රේමණීය හදවත් සිදුරු කළ
වෙඩි උණ්ඩවලටත් ප්‍රේමයේ පාඩම කියාදී
හදවත් වලින් ගලා ගිය රතු ලේ ධාරා වලින්
රත් පැහැ ගැන්වුණු පුංචි රෝසමලකින්
එන්න! වෙනස්ම විදියෙ පෙම් කවියක් ලියන්න.

►මායන දස්නක