2018 මාර්තු 17 වන සෙනසුරාදා

සිංහල මුස්ලිම් අධාරවලින් හාමුදුරුවන්ගේ මවට අලුත් නිවසක්

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 160

මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් සිංහල මතභේදයක් ඇතිවී මුළු රටම කලබල වෙද්දී කොළඹ සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ වැඩසිටිනා පනාමුරේ විමලබුද්ධි හිමියන්ගේ ආදරණීය මෑණියන් වෙනුවෙන් නව නිවසක් තැනීමේ අවස්ථාවට කොළොන්නාවේ ජුම්මා පල්ලියේ බැතිමතුන් පිරිසක් ද මුදල් පරිත්‍යාගයක් කිරීම කැපීපෙනුණු සිද්ධියක් විය.

ඇඹිලිපිටිය පනාමුරේ ප්‍රදේශයේ ජීවත් වූ එන්.එස්. සේනාධීරටත්, එම්.ඒ. ඇසිලින්ටත් දරුවන් හයදෙනෙකි. කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන යමින් සේනාධීර තම දරු පවුල රැක්කේය. අයියත් අක්කලා දෙන්නාත් ළඟට පවුලට එකතුවූ වසන්ත පසුකාලීනව තවත් මල්ලිලා දෙදෙනෙක් ද එකතුවූහ. ආර්ථික අපහසුතා තිබුණද තම දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නට සේනාධීරත් ඇසිලිනුත් ගත් මහන්සිය සුළුපටු දෙයක් නොවේ.

වසන්තට වයස අවුරුදු නවයක් වූවා පමණි. අහම්බෙන් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට වසන්තගේ නෙත ගැටිණි. වසන්ත පන්සලේ ලොකු හාමුදුරුවන් ඉදිරියේ දණගසා වැන්දේය.

හාමුදුරුවනේ... මට මහණ වෙන්න ඕනේ...

ක්ෂණිකයෙන් හිතට දැනුණු දේ වයස අවුරුදු නවයක් වූ වසන්ත කියා දැම්මේය.

හා... පුතා... මව්පියන්ගෙන් අවසරය ගෙන එන්න...

මාදම්පිටියේ විමලවංශ නායක හාමුදුරුවෝ වසන්තට මහණ වන්නට අවසරය දුන්හ. නමුත් පුංචි වසන්තට ඒ සඳහා තම මව්පියන්ගෙන් අවසරය ගත යුතුව තිබිණි. වසන්ත තම පියාගෙන් මහණ වන්නට අවසරය ඉල්ලීය.

“මම මුලින්ම මගේ තාත්තාගෙන් තමයි ගිහින් අවසරය ගන්නේ. ඒ වෙනකොට මගේ වයස අවුරුදු නවයයි. ලොකු හාමුදුරුවෝ අහම්බෙන් දකිද්දී හිතට දැනිච්චි විශේෂත්වය නිසාම එදා මටත් මහණ වෙන්න හිතුණා. මම මහණ වෙන්න අවසරය ඉල්ලලුවම මගේ තාත්තා “පුතාගේ කැමැත්ත ඒක නම් අපි පුතාගේ කැමැත්තට ඉඩ දෙනවා...” කියලා කිව්වා... අම්මාගේ වුණත් අකමැත්තක් තිබුණේ නැහැ. ඒ නිසා අවුරැදු නවයේදී මම ගමෙන් මහණ වෙන්න ඇවිත් මට අවුරුදු දහයේදී මහණ වුණා...”

එදා අවුරුදු නවයක් තිස්සේ උප්පැන්න සහතිකේ වසන්ත රණසිංහ ලෙසින් නම් දැරූ වසන්ත පනාමුරේ විමලබුද්ධි හිමි ලෙසින් මහණ දිවියට පිවිසියහ. ඒ දෙදහ වසරේදීය. වසර ගණනාවක් පනාමුරේ මධ්‍ය මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ පාසලට ද ආයුබෝවන් කීහ. පාසල් අධ්‍යාපනයටත් වඩා කුඩා කල සිටම උන්වහන්සේ දහම් අධ්‍යනයට වැඩි නැඹුරුවක් තිබුණි.

“ටික කාලයක් ගියාට පස්සේ මම සේදවත්ත වෙහෙරගෙඩ පුරාණ විහාරස්ථානයට වැඩම කළා. සේදවත්ත වෙහෙරගොඩ පන්සලේ නායක හාමුදුරුවන් වූ අඹන්වල ඥානාලෝක හිමිපාණන් තමයි අපේ ජීවිතයට ආලෝකයක් වුණේ. ඥානාලෝක හාමුරුවන් නිසා හැමදෙයක්ම ඉගෙනගන්න පුළුවන් වුණා.”

විමලබුද්ධි හාමුදුරුවෝ දේශයට පැවසූහ.

“පනාමුරේ විමලබුද්ධි පොඩි හාමුදුරුවෝ හරි දක්ෂ හාමුදුරුවෝ නමක්. බොහෝම ආගම දහමට ලැදි ආගමික වැඩකටයුතු පිළිබඳ හොඳ අවබෝධයක් ඇති හාමුදුරු නමක් මේ පන්සලේ බොහෝ ආගමික වැඩකටයුතු සොයලා බලලා කළේ විමලබුද්ධි පොඩි හාමුදුරුවොයි...”

සේදවත්ත වෙහෙරගොඩ අඹන්වල ඥානාලෝක හිමියෝ තම පන්සලේ පොඩි හාමුදුරුවන් ගැන එසේ පැහැදිලි කළහ.

දරුවන් සායනයට පූජා කළද දරුදුක හැම අම්මා කෙනකුටම පාහේ හැම තාත්තා කෙනකුටම පොදු ධර්මතාවයක් විය. චීවරයක් ඇන්ද ද බුදු දහමට අනුව බැඳීම්වලින් ඈත්වන්නට උත්සාහ කළද තම මවගේ අසනීපයකදී තම පියතුමාගේ අසනීපයකදී බුද්ධ පුත්‍රයකුගේ හිතට දැනීම ස්වාභාවයකි. පන්සලේ දාන වේලට රස ආහාර ලැබුණද මේ රටේ සාසනයට දරුවන් පූජා කළ ඇතැම් අම්මාවරුන්ට පියවරුන්ට කුසට හරිහැටි කෑමක් නොලැබී කුසගින්නේ සිටිනා වාර අනන්තය. සසර දුකින් එතෙර කරන්නට කොතරම් බණ කීවද තම මව්පියන් ජීවිතේ අන්තඅසරණ වෙද්දී බැඳීම් නැතැයි කියමින් තම හිතට වදදෙමින් පිටුපා සිටිය හැකිද...?

විමලබුද්ධි පොඩි හාමුදුරුවන්ට ද සිදුවූයේ එයමය. උන්වහන්සේගේ පියා දැඩි ලෙස රෝගාතුර විය. ඇඹිලිපිටිය පනාමුරේ සිට තම පියාණන් කොළඹට රැගෙන ආවේ නායක හාමුදුරුවන්ගේ උපදෙස් අනුශාසනා මතය.

“පොඩි හාමුදුරුවන්ගේ තාත්තා අසනීප වුණා. ඒ නිසා අපි ඒ තාත්තාව කොළඹ ගෙනල්ලා මාස කීපයක්ම වෙදකම් කළා. උන්වහන්සේගේ අම්මා සහෝදරයෝ ඒ හැම කෙනෙක්ම තාත්තා ගැන හොයලා බැලුවා. කරන්න පුළුවන් හැමදේම කළා. ඒ මිනිස්සු මිල මුදලින් දුප්පත් වුණාට ගුණධර්මවලින් හරි පොහොසත්. පොඩි හාමුදුරැවන්ගේ පියා මිය යද්දී මම හිටියේ පිට. මට දුරකතනයෙන් කතා කරලා විස්තර කිව්වා. ඒ වෙලාවේ මම පොඩි හාමුදුරුවන්ට කිව්වා. මල්ශාලාවට බාරදෙන්න ඒ හැමදෙයක්ම අපි බලාගන්නම් කියලා...”

සේදවත්ත වෙහෙරගොඩ අඹන්වල ඥානලෝක හිමියෝ දේශයට පැවසූහ.

ඒ අනුව පොඩි හාමුදුරුවන්ගේ පියාණන්ගේ සියලු අවසන් කටයුතු කෙරුණේ නායක හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි සේදවත්ත දායක මහත්මහත්මීන් උදව් උපකාර අතැතිවය. ඒ අතර සේදවත්ත ගම්වාසීහු ද සිටියහ. ඔවුන් අතර ජාතිවාදයක් නොතිබුණි. මුස්ලිම්, දෙමළ, කතෝලික සැවොම මේ කටයුත්තට එකතු වූහ.

“මේ අතර මට තව වෙනත් හාමුදුරුකෙනෙක් දුරකතනයෙන් ඇමතුමක් දී “හාමුදුරුවනේ පෙට්ටිය තියන්නවත් ගෙයක් නැහැ” කියලා කිව්වා. ඒ වෙලාවේ මම “දැනට මොකක් හරි ටෙන්ට් එකක් ගහලා හරි කරන්න... මම ගේ හදලා දෙන්නම්. කියලා කිව්වා. ඊට පසුවදාම මම පනාමුරේට වැඩියා. ඒ වෙලාවේ මටම “හොස්” ගෑවුණා. මේ ශාසනය වෙනුවෙන් දරුවන් කැප කරපු, ශාසනය වෙනුවෙන් දරුවන් පූජා කරපු අම්මා තාත්තාට අත්වෙලා තියෙන ඉරණම තමයි ඒ. අපේ දායකයෝ ඒ අවස්ථාවට සහභාගී වුණා. ඔවුන් මගෙන් ඉල්ලීමක් කළා “හාමුදුරුවනේ මේ දේට අපි යමක් කරමු කියලා...”

නායක හාමුදුරුවන්ගේ අනුශාසනයෙන් අද විමලබුද්ධි පොඩි හාමුදුරුවන්ගේ මෑණියන් වෙනුවෙන් පනාමුරේ ඒ ඉඩමේ මේ වෙද්දී අලුත් නිවසක් තනාගෙන යමින් පවතී.

“කොළොන්නාවේ ජුම්මා මුස්ලිම් පල්ලියේ අපේ සහෝදර මුස්ලිම් මහත්වරුන් ද මේ කටයුත්තට සහයෝගය දැක්වූවා. ඔවුන් මා හමුවී “හාමුදුරුවනේ අපි මේ ගෙදර වහළයට අවශ්‍ය කරන සීට් සියල්ලම අරගෙන දෙන්න ලෑස්තියි.” කියලා කිව්වා. ඔවුන් ඒ සඳහා විශාල සහයෝගයක් දැක්වූවා. ඒ විතරක් නොවේ අප විහාරස්ථානයේ රන්වැට විවෘත කරලීම හා නව භික්ෂු නේවාසිකාගාරයට මුල්ගල තැබීමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි වෙලාවේ මම කියපු දෙයක් තමයි පැවිදි වුණ හාමුදුරුවන් බොහෝ දෙනෙකුගේ අම්මගේ තාත්තාගේ ජීවිත හරි ශෝචනීයයි යමක් කමක් තියෙන පවුල්වල ඉන්න දරුවන් පැවිදි වීම සිදුවන්නේ බොහෝ විට හරිම අඩුවෙන්. ඒ නිසා ඒ ගැන තව හිතන්න ඕනේ කියලා... එතුමා මේ රටේ සියලුම අවුරුදු පනහ ඉක්මවූ ස්වාමීන් වහන්සේලාට රක්ෂණය අරඹන්න එකඟ වුණා... ඒ වගේම හාමුදුරුවන් වහන්සේලාගේ මව්පියන් පිළිබඳව සොයාබලා කිරීමට අවශ්‍ය කරන කටයුතු පිළිබඳ සොයා බලන්න පියවර ගත්තා...”

සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ පැවසූහ.

අද වනවිට පොඩි හාමුදුරුවන්ගේ මෑණියන් වෙනුවෙන් නිවසක් පනාමුරේ ප්‍රදේශයේ ඉදිවෙමින් පවතී. ශාසනය වෙනුවෙන් තම දරුවන් පූජා කළ මෑණියන්ට සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව එක්ව ඉදිකෙරුණු නව නිවසේ නොබෝ දිනකින්ම තම සැඳෑසමය ගෙවන්නට එම මෑණියන්ට අවස්ථාව ලැබේ. නමුත් තම දරුවන් ශාසනයට පූජා කර සංසාරේ දුකින් එතෙරවන්නට කෙසේ වෙතත් මේ දුකින් පීඩාවිඳින මව්පියන් මොනතරම් පිරිසක් ජීවත් වෙයිද...? ඒ මව්පියන් හෙට දවස කෙබඳුවේද...?

► දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ:- සුමුදු හේවාපතිරණ 

කොළොන්නාව ජුම්මා පල්ලියේ අය ඉදිරිපත් වුණා

මන්ත්‍රී මරික්කාර්

කොළොන්නාවේ සියයට හැත්තෑතුනක් සිංහල ජාතීන් ජීවත් වෙනවා. සියයට දහනවයක් මුස්ලිම් ජාතිකයන් ද, සියයට හයක් දෙමළ ජාතීන් ද ඉතිරිය අනෙකුත් ජාතීන් ජීවත් වෙනවා. කොළොන්නාව තමයි සංහිඳියාවේ සංකේතය වෙන්නේ. බොහෝ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා එක්ක මගේ තියෙන සම්බන්ධතාවයත් ඉතාම ප්‍රබලයි. අඹන්වල ඥානාලෝක හාමුදුරුවෝ එක්කත් මට තදින්ම ඇසුරක් තියෙනවා. මේ පොඩි ස්වාමීන් වහන්සේගේ ගැටලුව පිළිබඳ මට කිව්වම මම දන්න මුස්ලිම් ව්‍යාපාරිකයන් කීපදෙනකුට මේ පිළිබඳව කිව්වා. ඒ අය කොළොන්නව ජුම්මා පල්ලියට සම්බන්ධ අය. කරපු ඉල්ලීම අනුව ඒ උදව්ව කළා. කොහොම හරි තව ආධාර එකතුකරලා ඒ නිවස සම්පුර්ණයෙන්ම නිම කරලා දාන්න උදව් කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා.

ඒ විතරක් නෙමේ ඉදිරියේදී මෙවැනි අන්තර් සම්බන්ධතා තියෙන වැඩසටහන් පවත්වන්නත් බලාපොරොත්තු වෙනවා. මුස්ලිම් මිනිසුන්ට පුළුවන්නම් සිංහල දරැවන්ගේ අධ්‍යාපන කටයුතුවලට උදව් කරන්න. සිංහල අයට පුළුවන්නම් මුස්ලිම් දරුවන්ට උදව් කරන්න ඒක කොච්චර හොඳද...? එවැනි කටයුතු කිහිපයක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා...