2018 මාර්තු 03 වන සෙනසුරාදා

ඔළු ගෙඩි මාරුව ගැන ගැටෙන ජනමතය

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 174

පොදු අපේක්ෂක වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ පසුව දින සියයේ සම්මුතිවාදී ආණ්ඩුව ආරම්භ කෙරිණි. 2015 ජනවාරි මස පැවැති ජනාධිපතිවරණයෙන් පසුව පිහිට වූ නව රජය යටතේ පැවැත්වූ දෙවැනි මැතිවරණය වූ පළාත් පාලන ඡන්දය පසුගියදා පැවැත්විණි. එහි ප්‍රතිඵලය මඟින් ආණ්ඩුවට බරපතළ අනතුරු ඇඟවීමක් සිදු කරන්නට රටේ මහජනතාව කටයුතු කළහ. බලාපොරොත්තු නොවූ ඡන්ද ප්‍රතිඵලයෙන් ආණ්ඩුව අභ්‍යන්තරය කැළඹීමකට පත්ව වාද විවාද මත ගැටුම් ඔස්සේ දේශපාලනයේ උණුසුම් පුවත් වාර්තා විය. අවසානයේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කරන්නට පුංචි ඡන්දය මඟ පෑදුවේය.

පළාත් පාලන මැතිවරණයේ බහුතර කැමැත්ත අනුව විශාල පිරිසක් ආණ්ඩු පෙරළියක් සිදුවනු ඇතැයි විශ්වාස කළෝය. ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ප්‍රධාන පෙළේ දේශපාලකයෝ මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා තර්ක ගෙන ආවෝය. වාද බේද ගැටුම් සහිත අස්ථාවර දේශපාලන වටපිටාවක් නිර්මාණය වී තිබියදී ජනාධිපතිවරයා පියවර ගත්තේ කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමටය. එම කටයුත්ත ස්ථාවර වීමත් සමඟ ප්‍රබල දේශපාලනඥයන් පවා බිය වූවාට සැක නැත. මේ අතර පසුපෙළ මන්ත්‍රීවරුන් සහ දෙවැනි පෙළ නායකත්වය අපේක්ෂාවෙන් බලා සිටි ඇතැම් දේශපාලනඥයෝ ද කැබිනට් තනතුරු සහිත උසස් වීම් අපේක්ෂා කළෝය.

අවසානයේ ජනාධිපතිවරයා විසින් කැබිනට් සංශෝධනය සිදු කළේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබල ඇමැතිවරුන් කීපදෙනකු යටතේ තිබූ බලතල හා කටයුතු ඔවුනොවුන් අතර හුවමාරු කිරීම හරහාය. සැබැවින්ම සිදු කර තිබුණේ එකම ඔළු ගෙඩි එකිනෙකාට මාරු කිරීම පමණය. මේ ආකාරයට අමාත්‍යංශ හා රජය සතු ප්‍රධාන බලතල සෙසු දේශපාලන අධිකාරිය හෝ රටේ මහජනතාව බලාපොරොත්තු වූ විධිමත් අයුරකින් සිදු වූයේ නැත. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සම්මුතිවාදී ආණ්ඩුවේ අනෙක් ප්‍රබල ඇමැතිවරුන්ගේ සංශෝධනය පසුවට කල් තැබීම තවත් ගැටලුවක් විය. මේ නිසා විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පෙළේ මැති ඇමැතිවරුන් අතර පවා පැහැදිලි බෙදීමක් හා ප්‍රසිද්ධ විවේචනයක් සිදු කරන බව පෙනෙන්නට තිබේ.

පළාත් පාලන මැතිවරණයට පසුව උණුසුම් වූ දේශපාලනයේදී ඇතැම් ඇමැතිවරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස් වූ අතර ඔවුන් මෙන්ම පසුපෙළ ඇතැම් මන්ත්‍රීවරු ඉහළ තනතුරු අපේක්ෂාවෙන් සිටි බව පැහැදිලිය. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පැවති ගැටලුව සංකීර්ණය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව මෙන්ම විපක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරු අඩු වැඩි වශයෙන් නොයෙක් කතා සමාජ ගත කළෝය. එම අදහස් චෝදනා මතවාද සියල්ල ජනතාවට විකාර නාටකයක් වැනිය. අවසානයේ ආණ්ඩුවේ ඉහළ පෙළේ ඇමැතිවරුන් ඔවුන් සතු බලය එම පිරිස අතරම බෙදාගෙන අර්ථ විරහිත නව කැබිනට් සංශෝධනයක් ජනතාවට ඉදිරිපත් කෙරිණි. එතුළින් රටේ අනාගතයට යහපතක් සිදුවේද? මහජනතාවට බලපාන ගැටලු විසඳෙයිද? මිනිසුන්ගේ අදහස් බලාපොරොත්තුවලට සහනයක් ලැබෙනු ඇත්ද? මේ පිළිබඳ කළ විමසීමකදී ජනතාව මෙසේ අදහස් දැක්වූහ.

හිසරදයට කොට්ට මාරු කිරීමක්
ජේ. ඒ. වෝල්ටර් පෙරේරා - කොළඹ

කැබිනට් සංශෝධනය තේරුමක් නැති දෙයක්. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනසක් වුණනම් හොඳයි. ආණ්ඩුවේ ඉන්න පිරිසට තේරුමක් නෑ. නායකත්වයට සුදුසු තරුණ අය ඉන්නවා. ඒ අයට අවස්ථාවක් නෑ. සජිත් ප්‍රේමදාස, බුද්ධික පතිරණ වගේ දැනුම තියන අය ඉන්නවා. ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරු රැල්ලක් වගේ තිබුණා. නමුත් දැන් පේන්න නෑ. අගමැති තුමා ජනතාව සහ පක්ෂය ප්‍රතික්ෂේප කරනවානම් නම්බුව පිටින් අයින් වෙන එක හොඳයි. කරන්න අවශ්‍ය දේ නොකර ඔළුවේ අමාරුවට කොට්ටේ මාරු කළා වගේ කැබිනට් එක මාරු කරලා තියෙනවා. ඒකෙන් පේන්නේ අවුරුදු තුනටම කැබිනට් අමැතිවරු වැඩක් කරලා නෑ කියලනේ. හොඳක් දකිනවානම් අපිත් හොඳයි කියනවා. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු, ඇමැතිවරුන් මේක විවේචනය කරනවානේ. සුදුසු අයට සුදුසු තැන දෙන්න අවශ්‍යයි. එහෙම කරන්න මේ පාලනය සූදානම් නෑ.

අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් මේකෙන් වෙන්නේ නෑ. අපිට පාටක්, පක්ෂයක් අදාළ නෑ. ඒකාබද්ධ විපක්ෂය බැලුවා පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් ආණ්ඩුව පෙරළන්න. එතන ඉන්න සමහරුන්ගේ හොර වැඩ ඒ අස්සේ වහගන්නයි ඒ අය කල්පනා කරන්න ඇත්තේ.

 

බොරු සෙල්ලමක්
කේ. සුමනරත්න - හෝමාගම

මේක නිකම් සෙල්ලමක් කළා වගේ. ජනතාව හිතපු බලාපොරොත්තුවක් වුණේ නෑ. එකම ගොඩක හිටපු මිනිස්සු ටික තැනින් තැනට මාරු කළා විතරයි. මේකෙන් මොකද්ද මිනිස්සුන්ට තියෙන සහනය. ජනාධිපතිතුමා දවස් ගාණක් කීවා වෙනසක් ගැන. කොහෙද වෙනස් කළේ. ඔළුගෙඩි ටික මාරු කළා. එයාලගේ තනතුරු මාරු කරගෙන සෙල්ලම් කළාට මිනිස්සුන්ට සහනයක් ලැබෙනවාද? මහජනතාව විදිහට අපිනම් දකින්නේ නෑ මේ කැබිනට් සංශෝධනය රටට යහපතක් කියලා. මේ අවුරුදු තුනේම මිනිස්සුන්ට දැනෙන සේවයක් ආණ්ඩුව කළානම් එදා ඡන්දේ ප්‍රතිඵලය ඔහොම වෙන්නේ නෑ. ඉස්සරට වඩා රටේ යම් මාධ්‍ය නිදහසක් තියෙනවා. නමුත් ජනතාවට ඒක විතරක් මදි. මේ අය දැන්වත් පොරොන්දු දේශපාලනයෙන් මිදෙන්න වෙනවා.

 

අපේ බලාපොරොත්තු ඉටු වුණේ නැහැ
වයි. සරත්චන්ද්‍ර - කැස්බෑව

කැබිනට් සංශෝධනය අපි නම් දකින්නේ ඔළුගෙඩි මාරුවක් විදිහට විතරයි. හිටපු අයමනේ ඉන්නේ. අපි හිතන්නේ නෑ ජනතාවට මේකෙන් සහනයක් වේවි කියලා. අගමැතිතුමාට බැඳුම්කර සිද්ධිය පිළිබඳව චෝදනා තියෙනවා. එතුමාට නීතිය හා සාමය දීලා තියෙනවා. ඉතින් තාවකාලිකව හරි ඒ තනතුර අගමැතිවරයාට දීම සුදුසු නෑ. මේ සංශෝධනය රටට සුබදායී එකක් නොවේ. පළාත් පාලන ආයතන ඡන්දය ආණ්ඩුවට හොඳ පාඩමක් ඉගැන්වුවා. මේක ආණ්ඩුවට විතරක් නෙමේ ඉස්සරහට ආණ්ඩු හදන්න බලාගෙන ඉන්න අයටත් හොඳයි. දැන්ම තේරුම්ගන්න වෙනවා. මහජනතාව දේශපාලකයන්ට වඩා බුද්ධිමත්. 

 

ලොකු අයහපතක් නෑ
එක්. කේ. වීරබාහු - ගණේමුල්ල

රටකට කවුරු හරි ආණ්ඩුවක් කරන්න අවශ්‍යයි. කවුරු කළත් ආර්ථික ප්‍රශ්න නැති වෙන්නේ නෑ. ලෝකය දියුණු වෙද්දී කාලයත් එක්ක අපිට ඕකට මූණ දෙන්න වෙනවා. ගිය ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් හැමෝම බලන්නේ ගසා කන්න. මේ කැබිනට් සංශෝධනය අලුත් අත්හදා බැලීමක් ද දන්නේ නෑ.

අයහපතක් නොවෙයි කියලා හිතනවා. අපි හම්බකළොත් අපි කනවා බොනවා. අත්දැකීම් බහුල අගමැතිතුමා වගේ කෙනෙක් ඉන්න එක හොඳයි. නමුත් තරුණ නියෝජිතයන් අවශ්‍යයි. මොනවා කළත් රටේ ජනතාවට නිදහසේ කාලා ඇඳලා ඉන්න අවශ්‍යයි. ආණ්ඩුවට ඒ ගැන හිතන්න අවශ්‍යයි.

 

මොකද්ද වෙච්ච වෙනස?
මධුක ප්‍රභාත් - කුරුණෑගල

කැබිනට් සංශෝධනය වුණාට අලුත් වෙනසක් වෙලා නෑ. හිටපු පිරිස අතරම අඩු වැඩි වශයෙන් අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන බෙදාගෙන තිබෙනවා. මේ ක්‍රමයෙන් නව සංවර්ධනයක් අපේක්ෂා කරන්න බෑ. වැඩ කළ හැකි තරුණ නායකත්වයක් තිබෙනවා. ඔවුන්ට අවස්ථාවක් ලැබුණානම් හොඳයි. ඒ අය රටට යමක් කරන වුවමනාවෙන් ඉන්න බව පේනවා.

පළාත් පාලන ඡන්දය ආණ්ඩු හදන මැතිවරණයක් නොවේ. නමුත් ජනතාව හොඳ පණිවුඩයක් දීලා තියෙනවා. ඒක නිසයි කැබිනට් සංශෝධනයක් හදිසියේ සිදු කළේ. ඒත් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙලා නෑ. ඒ අයගේ බලාපොරොත්තු ඉටු වෙලා ජීවත් වෙන්න අවශ්‍ය සහන ලැබෙනකම් ජනතාව බලාගෙන ඉන්නේ. ඒ කරුණු ඉටු නොවේනම් මේ ආණ්ඩුව විතරක් නොවේ ඉදිරියේදී එන්න හදන ආණ්ඩුවත් ජනතාවට පරදිනවා.

 

සහනයක් නෑ. මහා මුලාවක්
එම්. එම්. සී. ගාමිණී - කොළඹ

කැබිනට් සංශෝධනය කළා කියලා මටවත් රටේ මිනිස්සුන්ටවත් සහනයක් වෙන්නේ නෑ. අපිට ඒ අය කන්න බොන්න දෙන්නේ නෑ. අපි හම්බ කරොත් කනවා. නැත්නම් බඩගින්නේ. කඩේකට ගිහින් බලන්න ඕනේ.. අද තියන මිල නොවේ හෙට. සමහර බඩු රුපියල් ගණනකින් හිටි හැටියේම ගාණ වැඩි කරනවා. කැබිනට් සංශෝධනය කියලා ඒ අය එයාලගේ වැඩ ටික කරගන්නවා. රටේ ජනතාව උන්නද මළාද බලන්න ගාණක් නෑ. ඒ අය එයාලගේ පැවැත්මට වැඩ කරන්නේ. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා කරන්නෙත් බොරු කියන්නෙත් බොරු. මිනිස්සුන්ට සහනයක් දෙනවානම් බොරැ කියලා ඡන්ද ගන්න ඕන නෑ. මිනිස්සු බලෙන් ඡන්දය දෙනවා. කැබිනට් සංශෝධනය මහ මුලාවක්. මිනිස්සු රවට්ටනවා. ඒ අයට බලාපොරොත්තු දෙන නිසා තමයි ජනතාව ඒ දේවල් බලාපොරොත්තු වුණේ. දැනටනම් රට යන ක්‍රමය හරි අසාර්ථකයි.

 

බලය තියාගන්න කරන වැඩක්
ජේ. පී. ජයසේකර - කොළඹ

ඔළුගෙඩි මාරු කෙරුවට වැඩවලින් ලංකාවේ ප්‍රගතියක් පෙන්නන් නෑ. තේරුමක් නැති බොරු වැඩ. කවුරුවත් වුවමනා දෙයක් කරන්නේ නෑ. තමන්ගේ බලය තනතුරු තියාගන්න දේශපාලකයෙක් ඕනෑම ජරා වැඩක් කරනවා. දැන් රටට අවශ්‍ය කැබිනට් සංශෝධනයක්ද? මිනිස්සුන්ට සහනයක් වෙන දෙයක් කරන්න වැඩ පිළිවෙළක් හැදුවානම් නරකද? මේ රටේ එක අඩුපාඩුවක්ද තියෙන්නේ? හොරු අල්ලන්න කියලා ආවා. අල්ලපු හොරෙක් ඉන්නවද? දූෂකයන්ට, වාංචාකාරයන්ට ඡන්දය දෙන්න එපා කීවා. දැන් කවුද මහබැංකුව හොරා කෑවේ. බැංකුවේ අධිපතිකම දීලා තියෙන්නේ මේ රටේ පුරවැසියෙක්ටද? නෑනේ. ඉතින් කොහොමද හොරා අල්ලන්නේ? වැරදි අඩුපාඩු කියන්න ගියොත් දවස් ගණන් කතා කරන්න වෙනවා. කැබිනට් සංශෝධන නෙවේ දේශපාලනයයි ඒවායේ ඉන්න මිනිස්සු ගැනයි කතා කරන්නම දෙයක් නෑ.

 

කන්න නැතුව වයිෆයි දෙන්න ගිහින් ඇණගත්තා
ඒ. එම්. ඩබ්ලිව්. බණ්ඩාර - කෑගල්ල

දැන් අවුරුදු පනහක් විතර මම ඡන්දය දීලා තියෙනවා. ඒ කාලෙදි ආණ්ඩුවක් පත්වෙනකොට සහ පෙරළෙනකොට තිබුණු කිසිම ලක්ෂණයක් මේ ආණ්ඩුවේ නෑ. මනුස්සකම, යුතුකම, සුදුස්සාට සුදුසු තැන දීම ඇත්තේම නෑ. එක පක්ෂයක් පවුලක් විදිහට පාලනය කළා. අනෙක් අය ඊට විරුද්ධ වෙලා සුදුස්සාට සුදුසු තැන නොදී ඉන්නවා. මේ ආණ්ඩුවේ ලොකුම වරදක් තමා ඒක. රටේ නායකයා හොඳයි. අගමැති රෝස මලෙන් උපන් කුමාරයා වගේ ඉන්නේ. එයාට පොඩි මිනිහගෙ දුක ප්‍රශ්න තේරෙන්නේ නෑ. එයා වයි ෆයි දෙන්න හදනවා. මිනිස්සුන්ට ඒ දේ ඕනේ. නිදහස, සල්ලි, තුන් වේල කන්න තියෙන්න ඕනෑ. කැබිනට් සංශෝධනය කියලා මොකද්ද කළේ? කිසිම ගැලපීමක් නෑ. ආණ්ඩුවේ ඉන්නවා තනතුරු බලාපොරොත්තු නැති, තරුණ, වැඩ කරන්න ආස පිරිස්. ඒ අයට අවස්ථාව දෙන්න. එයාලා රටට යමක් කරන්න උත්සාහ කරනවා.

මේ ආණ්ඩුව නම් තරුණ නායකත්වයට අවස්ථාවක් දෙන්නේම නෑ. කාටත් සාධාරණ පාලනයක්, පොඩි මිනිහගේ සාක්කුවට කීයක් හරි වැටෙන පාලනයක් ගේන්නයි අවශ්‍ය. මේ කැබිනට් සංශෝධනය නම් අන්තිම ජරාවක්.

 

වැදගැම්මකට නැති වැඩක්
එන්. ටී. කේ. තිස්ස එදිරිසිංහ - මොරටුව

“මේ අවස්ථාවේ කැබිනට් සංශෝධනයක් රටට අවශ්‍ය නෑ. කරගෙන ගිය අයට ඉන්න දුන්නානම් ඉවරයි. මේක කිසි වැදගම්මකට නැති දෙයක්. මේක නිකන් මහජනතාවට තවත් බරක්. දැන් පත් කරපු අයට අලුත් වාහන, ගොඩනැගිලි, බඩු මුට්ටුවලට හොඳ ගාණක් වියදම් කරයි. එයාලා ඒවට ගෙදරින් සල්ලි ගේන්නේ නෑ. මේ රටේ බදු මුදල් නාස්ති කරනවා. ඕවා යන්නේ අපේ අතින් තමයි. නැතුව ලොකු ලොකු මිනිස්සු දෙන්නේ නෑනේ. ඔය හැමෝම දේශපාලනයට එන්නේ තමන්ම හැදෙන්න. බඩු මිල අඩු කළා කියලා මාධ්‍ය සංදර්ශන පවත්වනවා. හිටි ගමන් බඩු ගණන් උස්සනවා. කවුරුත් දන්නේ නෑ. ඖෂධ මිලට කළේ ඒකනේ. ඒකට මහජනතාව පලි නෑ. මිනිස්සු යුතුකම කියලා කෙනෙකුට ඡන්දය දීලා පත් කරනවා. ටික කාලෙකින් ඒ මිනිහත් අර ජරා වලටම වැටෙනවා. තමුන් හැදෙන්න තමුන්ගේ සාක්කු පුරවනවා. 

 

මේ රටේ පවතින ක්‍රමය වැරදියි. ඒක වෙනස් වෙන්න අවශ්‍යයි. අපි යම් නිදහසක් බලාපොරොත්තු වුණා. නමුත් කිසිම වෙනසක් නෑ. මටනම් හිතෙනවා ගෙවුණු අවුරුදු 70ක කාලයෙන් තවත් ටික කාලයක් සුද්දාගේ පාලනය තිබුණානම් හොඳයි කියලා. අන්තිමට කියන්නේ අපි කන හැටි ලිපා දනී කියලා තමයි.

♦ කතාව හා සේයාරූ I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00