2017 ජනවාරි 14 වන සෙනසුරාදා

උඩවලවේ වතුර නෑ : කුඹුරු අක්කර හටදහසක් මකර කටේ

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

 

මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි යනු සිංහල ජන වහරේ එන රන් වටිනා කියමනක් වුවත් නුදුරේදීම ඒ කියමන වෙනස් කිරීමට සිදුවන බව වලව කලාපීය වී ගොවියෝ පවසති. වසරකට ගොවියන් යල මහ ලෙස කන්න දෙකක් වගා කටයුතු සිදු කරයි. මේ අතරිනුත් මහ කන්නය නොහොත් මාස් කන්නය ගොවියාගේ වගා කටයුතු සාර්ථකවම සිදුකරන කන්නයයි. යල කන්නය අතහැරියද කිසිදා ගොවියන් මාස් කන්නය නම් අත්හරින්නේ නැත. ඒ තරමටම ගොවියාට මාස් කන්නය විශේෂය. මෙවරද මාස් කන්නය සඳහා වී ගොවියා සේම හේන් ගොවියාද මාස් කන්නයට සූදානම් වූයේ දහසකුත් බලාපොරොත්තු ඇතිවය. එහෙත් ප්‍රමාණවත් වැසි නොලැබීම නිසාවෙන් වී ගොවියාට මුහුණ පෑමට සිදුව ඇති ඉරණම ඉතා ශෝචනීයයි.

වාරි ජලය නොමැති වීමෙන් වලව මහවැලි විශේෂ කලාපයේ වී ගොවීන්ට අකමැත්තෙන් වුවද මාස් කන්නයේ කුඹුරු ඉඩම් අක්කර හැට දහසක් පමණ වගා නොකර අතහැර දැමීමට සිදුව තිබේ. ඊට හේතුව වී තිබෙන්නේ වලව කලාපයේ ගොවිතැන් සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන උඩවලව ජලාශයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස පහත බැස තිබීමයි. උඩවලව ජලාශයේ ජල මට්ටම ජල අක්කර අඩි දෙලක්ෂ දාහත් දහසකි. එහෙත් මේ වන විට උඩවලව ජලාශයේ ජලය ඇත්තේ ජල අක්කර අඩි දහසකටත් අඩු ප්‍රමාණයකි.

පසුගිය කාලය පුරා ප්‍රමාණවත් වැසි නොලැබීම මීට හේතුව වී තිබේ. අද වන විට උඩවලව ජලාශයෙන් දියවර නිකුත් කෙරෙන්නේ පානීය ජලය සඳහා පමණි. එහෙත් ඉදිරි සති දෙක තුන තුළ ප්‍රමාණවත් වැසි නොලැබුණහොත් පානීය ජලයද සීමා කිරීමට සිදුවෙන බවයි වලව මහවැලි නේවාසික කළමනාකරු ආර්.බී. සිරිසේන මහතා පවසන්නේ.

උඩවලව ජලාශයෙන් ලැබෙන ජලයෙන් කුඹුරු අක්කර 72000ක් පමණ ජල මහ වී වගා කෙරෙන අතර මෙවර ජලය නොමැති වීමෙන් වගාකර ඇත්තේ කුඹුරු අක්කර 5000ක් පමණ බවයි ගොවීන් පවසන්නේ.

කිරිඉබ්බන්ආර, චන්ද්‍රිකා වැව, මුරවැසිහේන, අගුණුකොළපැලැස්ස, සූරියවැව හා මයුරපුර යන කොට්ඨාසවල වී ගොවිතැනට හා ගොඩ ගොවිතැනටද ජලය සැපයෙන්නේ උඩවලව ජලාශයෙනි. වලව කලාපයේ ලියාපදිංචි ගොවීන්ට අමතරව තවත් ගොඩ හා මඩ ගොවීන් විශාල ප්‍රමාණයක් සිය ගොවිතැන් සිදු කරනු ලබන්නේ උඩවලව ජලාශයෙන් ලැබෙන ජලය මගිනි. කෙසේ වෙතත් මේ වන විට පවතින දැඩි නියං සහිත කාලගුණය හේතුවෙන් වී ගොවියා සම්පූර්ණ වශයෙන්ම අනාත වී තිබේ.

වලව කලාපයේ හබරලුගල එම්.ඩී.13 එකමුතු ගොවි සංවිධානයේ ලේකම් එච්.ඒ. බන්දුල

අපේ සමිතියේ එම්.ඩී.13 ඇළෙන් වතුර අරගෙන වී ගොවිතැන කරන ගොවීන් 72ක් ඉන්නවා. කුඹුරැ අක්කර 150ක් පමණ යල මහ වගා කරනවා. නමුත් මෙවර මහ කන්නය වතුර නැතිව වගා කටයුතු සිදුකරගන්න බැරි වුණා. අපේ යායේ කුඹුරු අක්කර 150න්ම මෙවර වගා කරලා තියෙන්නේ කුඹුරු අක්කර 05ක් විතර ප්‍රමාණයක් විතරයි. ඒ සඳහාත් වතුර නැතිව වේලිලා ගිහින් තියෙන්නේ. කුඹුර කරන්න බැරිවුණ නිසා අතිරේක භෝග වගාව සිදුකරන්න කියලා හිතාගෙන අපි කුඹුරු සූදානම් කළත් එයටවත් වතුර දෙන්න පුළුවන්කමක් නෑ කියලයි මහවැලි නිලධාරීන් කියන්නේ. අඩුම සතියකට එක වතුර මුරයක් හරි දෙනවානම් ගොඩ ගොවිතැනක් හරි කරගන්න තිබුණා. නමුත් වතුර නැති නිසා මෙවර කුඹුරු කරගන්නත් බැරි වුණා. කවුපි ටිකක්, මෑ ටිකක් හෝ ඉරිඟු ටිකක්වත් හිටවගන්න බැරි වුණා. මාස් කන්නය මෙහෙම වගා නොකර අතහැරියා කියන්නේ ගොවියාට වස බොන්න තමයි වෙන්නේ.

වලව මහවැලි විශේෂ කලාපයේ රන්වැලිගම රාජපක්ෂ පතිරණගේ සිරිසේන

වෙනදා යල මහ කන්න දෙකම අපි කළේ වී ගොවිතැන තමයි. නමුත් මෙවර මහ කන්නය අපිට වී වගාව සිදුකරන්න බැරි වුණා උඩවලවෙන් වතුර දෙන්නේ නැති නිසා. කවදාවත් අපිට මෙහෙම වෙලා නෑ. යල කන්නයේ වගා කටයුතු සිදු නොකළත් මාස් කන්නය නම් අපි කවදාවත් අත්හැරියේ නැතිව වගා කටයුතු සිදුකළා. අපි දන්න කාලෙකින් තමයි මේ මාස් කන්නයක් මේ විදියට වගා කටයුතු සිදුනොකර තියෙන්නේ. යල කන්නයට වතුර නැතිවුණත් මාස් කන්නය කියන්නේ හොඳට වගා කටයුතු සඳහා වතුර ලැබෙන කාලයක් විදියටයි අපි සලකන්නේ.

රටටම කන්න වී නිෂ්පාදනය කරන්න සහාය වුණු ගොවියන් වන අපිටත් අද වන විට  හාල් ටික සල්ලිවලට කන්නයි වෙලා තියෙන්නේ. එක කන්නයක් වී වගා කළාම අනිත් කන්නය වෙනකම් අපි කෑමට වී තියාගන්නේ වී මලු පහක් හයක් විතරයි. අනිත් ඒවා විකුණලා කුඹුරු කරන්න වියදම් වුණු ණය තුරුස් ගෙවා දමනවා. යල කන්නයේ කුඹුරුවලින් කෑමට අපි තියාගත්ත වී මලු දැන් අවසන් වෙමිනුයි යන්නේ.

වලව කලාපයේ කිරිඉබ්බන්ආර කොට්ඨාසයේ ඩබ්ලිව්. සුරංග

මෙවර වැස්ස නොලැබුණු නිසා උඩවලව ජලාශයේ වතුර මට්ටම පහළ බැහැලා. ඒ නිසා ගොවිතැන් කරන්න වතුර දෙන්නේ නෑ. කුඹුරු වගාව කරන එක මාස් කන්නයේ අතහැරලම දමන්න වුණා. මාස් කන්නයේ කුඹුරු කරගන්න බැරිවුණා කියන්නේ අපි සිංහල අලුත් අවුරුද්ද කාලත් ඉවරයි කියන එකයි. වතුර නැති නිසා කුඹුරු වැඩ කෙරෙන්නේ නෑ. ඒ කියන්නේ කුලී වැඩත් නෑ කියන එකයි. අපි මහවැලි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අඩුම සතියකට සැරයක් වත් වතුර ටිකක් දෙන්න කියලයි.

වලව විශේෂ මහවැලි කලාපයේ හබරුගල මහවැලි ඒකක කළමනාකරු ජී.කේ. ධර්මදාස.

උඩවලව ජලාශයේ ජල මට්ටම පහළ බැස තිබීම නිසා වී ගොවිතැනට තියා කිසිදු ගොවිතැන් කටයුත්තක් සඳහා වතුර ලබාදීමට නොහැකිවෙලා තියෙනවා. මේ ගැටලුවට විසඳුමක් දෙන්න නම් ඉතින් ප්‍රමාණවත් වර්ෂාවක් ලැබිය යුතුමයි. ඒ හැරුණුකොට වෙන විසඳුමක් දෙන්න පුළුවන් කමක් නෑ. වතුර දෙන්න දෙන්න කිය කියා උද්ඝෝෂණ කළාට, පෙළපාළි ගියාට වැඩක් නෑ. මේක ස්වභාවික විපතක් ලෙසයි සලකන්න වෙන්නේ. සල්ලිවලට ගෙනත් පිරිමහන්න පුළුවන් දෙයක් වුණානම් දෙන්න තිබුණා. ගොවීනුත් මේ තත්ත්වය තේරුම් ගන්න ඕනේ. වලව මහවැලි නේවාසික කළමනාකරු ආර්.බී. සිරිසේන මහතා ගොවීන්ව අවස්ථා කීපයකදීම දැනුවත් කිරීමටත් කටයුතු කළා. පවතින මේ වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් බරපතළ තත්ත්වයකටයි මුහුණ දෙන්න වෙන්නේ. මොකද මේ වෙනකොට උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කෙරෙන්නේ පානීය ජලය සඳහා පමණයි. ප්‍රමාණවත් වැස්සක් ඉදිරි සති කීපය තුළදී නොලැබු‍ණොත් පානීය ජලය ලබාදීමත් සීමා කරන්න වීම නොවැළැක්විය හැකියි.

තව කාරණයක් තමයි ලංකාවේ වී ගොවියා වී ගොවිතැන සඳහා වැඩි වශයෙන් වතුර භාවිතයට පුරුදුවෙලා තිබීමත් විශාල ගැටලුවක් වී තිබෙනවා. ඇත්තටම වී ගොවිතැන සඳහා මහා වතුර ප්‍රමාණයක් අවශ්‍ය නෑ. නමුත් ලංකාවේ වී ගොවියා පුරැදුවෙලා තියෙන්නේ වැඩි වතුර ප්‍රමාණයක් භාවිත කිරීමටයි. එය අඩු කරගන්න පුළුවන්නම් වතුර ඉතුරු කරගන්නත් පුළුවන්කම තියෙනවා.

මේ සියල්ල මෙසේ කියවුණද ගොවීන්ගේ පාර්ශවයෙන්ද වාරි බලධාරීන් වෙත එක් චෝදනාවක් ප්‍රබල ලෙසම එල්ලවීය. ඒ නිසි කලට වැව් ටික නිසි පරිදි සුද්ධ කරලා රොන් මඩ ඉවත් කරලා සකස් කළානම් මේ ලෙස නියඟයකට මුහුණ දීමට සිදුනොවන බවයි. 

කතාව හා සේයා රූ - සූරියවැව දිලීප් නුවන් ජයසේකර

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00