2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ඩොක්ටර් නවරියන් ඉන්දියානු කොපියක් ?

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 149

අද කාලේ චිත්‍රපටවලට ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීම අසිරු වී තිබේ. මේ නිසා සැකයක් නැතිව සල්ලි හොයන්න නම් ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක් කොපි කළ යුතු බවට මතයක් මෑතකදී යළිත් පැතිර ගියේය. ධර්මයුද්ධය, මායා, ප්‍රවේගය වැනි බොලිවුඩ් කොපි චිත්‍රපට පසුගිය කාලයේ දැකගත හැකිවිය. මේ පරම්පරාවට අලුතින්ම එක්වූ කොපිය ඩොක්ටර් නවරියන්ය.

රන්ජන් රාමනායක අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය ද රඟපාන මෙය වසර 14කට පෙර ඉන්දියාවේ ජනප්‍රිය වූ මුන්නාභායි එම්.බී.බී. එස්. චිත්‍රපටය ඇසුරෙන් නිපදවූවකි. සන්ජේ දත් ප්‍රධාන චරිතය රඟපෑ එහි අධ්‍යක්ෂණය රාජ් කුමාර් හිරානියෙනි.

පාර්ලිමන්ට් ජෝක්ස්, වන්ෂොට්, ලීඩර් වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ රන්ජන් රාමනායක ඩොක්ටර් නවරියන් තුළින් උත්සාහ කරන්නේ ප්‍රේක්ෂකයාට විනෝදාස්වාදයක් ලබාදෙන අතරම රටේ ඔඩුදුවා ඇති වෛද්‍ය අර්බුදය ගැන කතාවක් කීමටයි. රන්ජන්ගේ චිත්‍රපට ආදායම් ඉපයුවද ඔහුට තවමක් පාර්ලිමන්ට් ජෝක්ස්වලින් එයාට අඩිය තැබීමට ඉඩනොලැබීම නම් කනගාටුවකි.

පසුගිය වසර කිහිපය තුළ සයිටම් ගැටලුව සමාජයේ විශාල කතාබහකට ලක්ව ඇති යුගයක පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ගැන කියැවෙන මේ චිත්‍රපටය කාලීන වටිනාකමකින් ද යුක්තය. චිත්‍රපටයේ සාකච්ඡා කෙරෙන වෛද්‍ය සේවයේ දුර්ගුණ අද ඒ අන්දමින්ම පවතිනවා ද යන්න ගැටලුවකි. රජයේ රෝහල්වල වෛද්‍යවරු හා කාර්යමණ්ඩලය රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී (වර්ජන අවස්ථාවලදී හැර) දැඩි අවධානයකින් කටයුතු කරති.

රන්ජන් තම චිත්‍රපටයෙන් වෛද්‍යවරු, වෛද්‍ය ශිෂ්‍යයන්, පීඨධිපතිවරු, රෝහල් වෘත්තිකයන් ගැන කතා කරයි. ඔවුන්ගේ දුර්ගුණ උපහාසයට ලක්කරයි. මෙම සිනමාපටයෙන් ව්‍යංගයෙන් හඟවන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවීමෙන් පසු ඕනෑම කෙනෙකුට පහසුවෙන් වෛද්‍යවරයකු වියහැකි බවයි. චිත්‍රපටය රූපගත කර ඇත්තේ ද මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිසා එය සයිටම් ප්‍රශ්නය හා නොදැනුවත්වම බද්ධ කර ගැනීමට ප්‍රේක්ෂකයන්ට ඉඩ ලැබේ.

ඩොක්ටර් නවරියන් තිරරචනය ලාල්ප්‍රියදේව සහ ශෝභන්ති පූර්ණිමාගෙනි. තිරරචනය ඉන්දීය චිත්‍රපටයට අනුව ලියා තිබුණ ද ඉන් යටිපෙළක් මතුකිරීමට තිබූ අවස්ථාව ගිලිහී ගොසිනි. ඩොක්ටර් නවරියන් ද රන්ජන්ගේ අනෙක් චිත්‍රපටවලට සමාන කෘතියක් පමණි. වෛද්‍යවරුන්ගේ ගැටලු මෙන්ම රෝගීන්ගේ ගැටලු දෙසද වඩාත් මානූෂීය දෘෂ්ටියක් හෙළීමට ඉඩතිබුණ ද මෙහි මතුවන්නේ උපහාසය පමණි.

නිර්වාන් සේනානායක වැදගත් පවුලක එකම පුතාය. දෙමාපියන්ට අවශ්‍ය තම පුතා දොස්තර කෙනෙක් කිරීමටය. නමුත් නිර්වාන්ට අවශ්‍ය දූෂණය වී ඇති සමාජයට සේවයක් කිරීමටයි. මේ නිසා නිර්වාන් අසාධාරණයට එරෙහිව අරගල කරන චණ්ඩියකු වේ. ඔහු ඩොක්ටර් නවරියන් නමින් විවිධ චණ්ඩිකම් කරයි. ඒ අතර නවරියන්ට සැබෑවටම දොස්තර කෙනෙකු වීමේ අවශ්‍යතාව හටගනී. ඔහු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට උපක්‍රමිකව ඇතුළුවේ. එහි පිඨාධිපතිගේ එකම දුව වන වෛද්‍ය භාග්‍යා (රුවන්ගි රාමනායක) සමඟ ආදරයෙන් බැදෙයි. ඇය සමඟ ගීත ගයමින් නටයි.

චිත්‍රපටය පුරාම අපට දැකගත හැක්කේ පීඨාධිපති වික්‍රමසිංහ, නවරියන් හා වෛද්‍ය භාග්‍යා අතර සිදුවන හැලහැප්පීම්ය. මෙහිදී ඔවුන්ගේ ගැටුම් අතර උපහාසය ද මතුවේ. බොහෝ උපහාසාත්මක චිත්‍රපටවල මෙන් දෙපිට කැපෙන දෙබස් මෙහි යොදාගෙන නැතිවීම නම් සතුටට කරුණකි. සරල කතා තේමාව කුතුහලය දනවන අයුරින් ගලායයි.

චිත්‍රපටයේ අතරමැද වෛද්‍ය සේවය විවේචනය කිරීමක් දක්නට ලැබුණද චිත්‍රපටය අවසාන වන්නේ වෛද්‍ය වෘත්තිය ඉතා ඉහළ බව ප්‍රකාශ කරමිනි.

සරත් කොතලාවල, සරත් චන්ද්‍රසිරි, ශ්‍රීමාල් වෙඩිසිංහ, ශ්‍රියානි අමරසේන යන ප්‍රවීණ රංගවේදීන්ගේ සහයෝගය ඩොක්ටර් නවරියන්ට ආලෝකයක් ලැබී ඇත. ඔවුන් තම චරිතවලට මනාව පිවිසෙන්නේ තම අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමිනි.
අද ඉන්දියානු චිත්‍රපට පවා කලාත්මක රූපරචනයෙන් ඉහළ තලයක සිටී. තමුන් මෙහි රූපරචනයේ දුර්වලතා අපට පසක්වේ.

කෙසේ වුවත් ප්‍රවීණ රංගනවේදියෙක් මෙන්ම ජනප්‍රිය චරිතයක් ද වන රන්ජන් රාමනායක සිනමාවේදී එකතැන පල්නොවී ඉදිරියට පියවර තැබීමට දැන්වත් කටයුතු කළ යුතුය.

► කුසුම්සිරි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00