2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

පැරැණි සිතුවමෙන් නව මං සොයන ශාන්ත සිත්තරා

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1527

අපි රදාවාන මහ පන්සල අසලින් දකුණට ඇති අතුරු මාවතේ කිලෝමීටරයක් පමණ ගමන් කළෙමු. කෙත්වතු, අන්නාසි වතු පසුකරමින් ගිය අප ඉදිරියේ වූයේ ශාන්ත බුදුපිළිමයකි. එතැනින් දකුණට ඇති මාවත ගොස් නතර වූයේ එම බුද්ධ ප්‍රතිමාව තැනූ මූර්ති ශිල්පියාගේ ගෙවත්තේය. අඹ, කොස්, පොල්, උණ, නුග ගසින් සෙවණ වූ ගෙවත්තේ තැන තැන මූර්ති රාශියකි. ප්‍රවීණ ලේඛක කේ. ජයතිලක මූර්තිය මෙන්ම බුද්ධ ප්‍රතිමා රැසක් ද ඒ අතර විය. ගෙදරට ගොඩවැදුණු අපට දැකගත හැකිවූයේ ඔහු ලැබූ සම්මාන පුරවා ඇති රාක්කයකි. බිත්තිවල එල්ලා තිබුණේ ඔහුගේ අතින් හැඩ වූ තෙල්සායම් සිත්තම්ය.

විශිෂ්ඨ කලාකරුවන් කිහිපදෙනකුටම නිජබිම වූ රදාවානට නුදුරු දියවාලේ පදිංචි මේ චිත්‍ර ශිල්පියා වී.පී. සුනිල් ශාන්තය. ඔහුගේ විශේෂත්වය නම් එදා උඩරට සිත්තරුන් අනුගමනය කළ සම්ප්‍රදායික ශිල්ප ක්‍රමවලට අනුව විහාර බිතුසිතුවම් හා මූර්ති නිර්මාණයයි. ඔහු විසින් එම ක්‍රමයට අනුව මෑතකදීම චිත්‍ර අඳින ලද්දේ යෝගියාන විසුද්ධාරාමයේ ටැම්පිට විහාරයයි. එම විහාරය ද ගොඩනංවා ඇත්තේ පෞරාණික ශිල්පීය ක්‍රම අනුගමනය කරමිනි.
කුලියාපිටිය අස්වැද්දුම විහාරය, කිරිඳිවැල මිල්ලතාකන්ද විහාරය, කනම්පැල්ල විහාරය, උඩගම අභයතිස්ස මාවතේ විහාරය, කන්නිමහර වේළුවනාරාමය යන විහාරවල ඔහු උඩරට සම්ප්‍රදායට අනුව බිතුසිතුවම් නිර්මාණය කර තිබේ. මාලබේ පිට්ටුගල විහාරයේ චෛත්‍ය ගර්භයේ චිත්‍ර නිමාකර ඇත්තේ උඩරට සම්ප්‍රදායේ සහ තායිලන්ත සම්ප්‍රදායේ සංකලනයක් වශයෙනි.

මම පාසල් ගියේ කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයට. පාසල් යන කාලයේ පටන්ම චිත්‍ර ශිල්පයට ආසයි. අපේ අම්මටත් චිත්‍ර ඇඳීමේ හැකියාව තිබෙනවා. ඒ ආභාෂයත් මට බලපෑවා. තාත්තත් අපිව ඒකට උනන්දු කළා.
මම උසස් පෙළ විභාගයට ලියලා ඉන්න විට පුවත්පත් දැන්වීමක් දැක්කා, ඇස්.පී. චාල්ස් මහතාගේ උපදේශකත්වයෙන් ජාතික කෞතුකාගාරයේ පාරම්පරික චිත්‍ර ශිල්පය උගන්වන පාඨමාලාවක් පැවැත්වෙන බවට. අපේ තාත්තා මාව ඒකට එක්කගෙන ගියා. ඒ පරීක්ෂණයෙන් සමත් වී පාඨමාලාවට තේරුණා. එහිදී වැඩිපුර උනන්දුවක් දැක්වූයේ මහනුවර යුගයේ බිතුසිතුවම් කලාව ආරක්ෂා කර ගැනීමට ශිල්පීන් බිහිකිරීමටයි. සංස්කෘතික අමාත්‍යාංශය සහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මැදිහත් වී තමයි, මේ ව්‍යාපෘතිය කළේ. ලංකාවේ විශිෂ්ඨ චිත්‍ර ශිල්පීන්ගෙන් එහිදී ගුරුහරුකම් ලැබුණා. ඒ වගේම වැඩිපුර පුහුණුවට පැරැණි විහාරස්ථානවල බිතුසිතුවම් පිටපත් කිරීම, ඇඳීම වගේ දේවල් කළා.

එස්.පී. චාල්ස්ගේ මඟපෙන්වීම යටතේ ස්වභාවික වර්ණ නිපදවාගන්නා ආකාරය, ඒවායින් චිත්‍ර ඇඳ වලිත්ති යොදා ආරක්ෂා කරගන්නා ආකාරය ඔහු ඉගෙන ගත්තේය. දොරණ තෙල්, අල්ලියාදු, හල්දුම්මල, ගොකටු කිරි, සාදිලිංගම්, රත් හිරිගල් ආදී අමුද්‍රව්‍ය යොදාගෙන තැනූ සම්ප්‍රදායික චිත්‍ර අධ්‍යයනය කළේය. ඒ ක්‍රමයටම අලුතින් චිත්‍ර ඇන්ඳේය. ඔහු නිර්මාණය කළ එවැනි චිත්‍රයක් (මාර පරාජය) ගලිගමුව බිසෝවෙල ලෙන් විහාරයේ දී දැකගත හැකිය.
මහනුවර යුගයේ සම්ප්‍රදායික කලාවේදී ද්විමාන චිත්‍ර සම්ප්‍රදායක් තමයි දකින්න ලැබෙන්නේ. මම එය ඉදිරියට ගෙන ගොස් තරමක් ත්‍රිමාණ ආකාරයක් සහිතව බිතුසිතුවම් නිර්මාණය කළා. ඒ වගේ චිත්‍ර ඇඳලා රාජ්‍ය චිත්‍ර හා මූර්ති සම්මාන උළෙලේ සම්මාන පවා ලබාගත්තා. ඊටපසු විභවි ආයතනයෙන් චිත්‍ර කලාව හැදෑරුවා. ඒ අතරෙදි තමයි තායිලන්තයේ සම්ප්‍රදායික විහාර චිත්‍ර කලාව හැදෑරීමට අවස්ථාවක් ලැබුණේ. තායිලන්තයේ පෝචෑන් විශ්වවිද්‍යාලයේ මාස හයක් ඉගෙන ගත්තා. ඊටපසු ඉන්දියාව, බුරුමය වගේ රටවල වැඩමුළුවලට සහභාගි වුණා.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ පුනර්ජීවනයකට ලක් වූ උඩරට චිත්‍ර කලාවේ වර්ධනයට යම් තරමකට තායිලන්ත කලාවේ බලපෑම ද ලැබුණි. ඒ එකල උපසම්පදාව සඳහා තායිලන්තයෙන් (සියම) පැමිණි ප්‍රවර උපාලි හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ වෙතිනි. මහනුවර දළදා මාලිගය, දෙගල්දොරුව, කැලණිය, දඹුල්ල, දනකිරිගල, මැදවල ආදී වශයෙන් ලංකාව පුරාම උඩරට චිත්‍ර සම්ප්‍රදාය ප්‍රචලිත වී ගියේය. නිලගම පටබැන්දා, (දඹුල්ල) කොස්වත්තේ සිත්තර නයිදේ, දෙල්දෙණියේ සිත්තර නයිදේ (සූරියගොඩ), දෙවරගම්පල සිල්වත්තැන (දෙගල්දොරුව), මංගලතිරියේ සිරියා (සියනෑ කෝරළය) ආදී වශයෙන් සිත්තර පරම්පරාවක් ද බිහිවූහ. එහෙත් ඉංග්‍රීසි පාලන සමයේ මේ චිත්‍ර කලාව පරිහානියට පත්වෙමින් එංගලන්තයෙන් ගෙනා කෘත්‍රිම තීන්ත විහාර ගෙවල් ආක්‍රමණය කළේය. චිත්‍ර සම්ප්‍රදාය ද බ්‍රිතාන්‍ය යථාර්ථවාදී සම්ප්‍රදායට ළං විය.

චිත්‍ර ශිල්පියාට සම්ප්‍රදායන් හා සම්මත ව්‍යවහාර කවියාට වචන මෙනි. මේවා තනි පුද්ගලයන් තැනූ ඒවා නොවේ. පරම්පරා ගණනක් තිස්සේ වෙනස් වෙමින්, හැඩවෙමින් ආ ලක්ෂණයි. මෙය පැරණි ආභාසයෙන් පොහොසත් වූ ගැමි කලාවකි. යැයි විශිෂ්ඨ කලා විචාරකයකු වූ ආනන්ද කුමාරස්වාමි පවසා තිබේ.

විනාශ වී ගොස් තිබෙන අපේ සම්ප්‍රදායික චිත්‍ර කලාව ආරක්ෂා කරගැනීමට තමයි මම උත්සාහ කරන්නේ. පුරාණයේ දී වගේ පාෂාණ වර්ග (සාදිලිංගම්, රත්හිරියල්) කුඩු කර තීන්ත තනාගැනීමට අද අමුද්‍රව්‍ය නැහැනේ. ඒ නිසා ඉන්දියාවෙන් ගෙන්වන කුඩු සායම් දොරණ තෙල් සමඟ කලවම් කරලා තමයි සායම් හදාගන්නේ. දොරණ තෙල් අකුරුස්ස, දෙනියාය වගේ පළාත්වලින් ගෙන්වාගන්නවා. දොරණ ගසෙන් තමයි මේ තෙල් ලබාගන්නේ. හල් ගසෙන් ලබාගන්නා දුම්මලත් විවිධ පළාත්වලින් ගෙන්වාගන්නවා.

බිතුසිතුවම් අඳින බිත්තිය සකසා ගැනීමට ඉස්සර නම් යොදාගන්නේ මකුළු මැටි. අද අල්ලියාදු කියන අමුද්‍රව්‍ය යොදාගන්නවා. ඒවායින් බිත්තියට සුදු පැහැය ලැබෙනවා. අල්ලියාදු ගෙන්වා ගන්නේ ඉන්දියාවෙන්. ඒ මත චිත්‍ර ඇඳලා හල් දුම්මලවලින් තමයි වලිත්තිය සකසා ගන්නේ. මේ වලිත්තිය ගෑවාම චිත්‍රවලට දීප්තියක් ලැබෙනවා. චිත්‍ර දීර්ඝ කාලයක් ආරක්ෂා වෙනවා. ඔහු විස්තර කළේය.

අද බොහෝ විහාරවල චිත්‍ර කෘත්‍රිම සායම්වලින් අඳිනවා නේද?
ඔව්. ලැකර් කියන තීන්තවලින් වර්ග අඩි ගණනට මුදල් අයකරමින් චිත්‍ර අඳිනවා. ඒ චිත්‍ර අවුරැදු දෙක තුනක් යන විට පතුරැ ගැලවී විනාශ වෙනවා. කැලණිය අලුත් විහාරය වගේ මෑත අතීතයේ දී කළ විහාරවල චිත්‍රත් පුරාණ චිත්‍රත් ඇඳ තිබෙන්නේ ස්වභාවික වර්ණවලින්. ඒවා අදටත් තියෙන හැටි බලන්න.

සුනිල් ශාන්ත විහාර බිතුසිතුවම් කලාවට අමතරව පොත් පිටකවර ශිල්පියෙක් ලෙස ද නමක් දිනාගෙන සිටී. ඒ අතර ළමා පොත් පිටකවර කැපීපෙනේ.
මම ළමා පොත් කවර ඇඳීමට යොමුවුණේ කිරිඳිවැල ප්‍රදේශයේම ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් වූ ජයරත්න සමරසේකර මහතා හින්දයි. මට පළමු ළමා පොත් කවරය දුන්නේ කේ. ජයතිලක මහත්තයගෙ මල්ලී වන කේ.ජී. ප්‍රේමරත්න මහතායි. ඊටපසු කේ. ජයතිලක, ගුණසේන විතාන, රංජිත් ධර්මකීර්ති, ජයකොඩි සෙනෙවිරත්න වැනි ලේඛකයන්ගේ පොත් කවර නිර්මාණය කළා. ඔහු පැවසුවේය.

අද චිත්‍ර කලාව ධනවතුන් කිහිපදෙනකුගේ රසවින්දන මාධ්‍යය වී තිබේ. ගමේ සිත්තරාට තැනක් නැහැ. ගැමියන් චිත්‍ර දකින්නේ නිවස සරසන දෙයක් ලෙස නොව, පන්සලේ බිත්ති සරසන අලංකරණයක් ලෙස පමණි. ඒ ගැන පවසන සුනිල් ශාන්ත,
ඇත්තටම අද චිත්‍ර ශිල්පියාට තැනක් නැහැ. ඔහු මුළුගැන්වී සිටින්නේ. දක්ෂ සිත්තරකු ගැන පවා කතාබහ කරන්නේ කවුද? චිත්‍ර ශිල්පියාට නිර්මාණ ශිල්පියකු මිස වෙළෙන්දකු වෙන්න බැහැනේ. ඒ නිසා බොහෝ ශිල්පීන් දුෂ්කරතාවලට පත්වෙලා.
තමා විසින් වර්ධනය කරගත් චිත්‍ර කලාව ප්‍රදේශයේ ප්‍රචලිත කිරීමට ද සුනිල් ශාන්ත දායකත්වය ලබාදෙයි. කිරිඳිවැල ප්‍රාදේශීය සභාවෙන් පවත්වාගෙන යන සියනෑ සෞන්දර්ය ආයතනයේ චිත්‍ර කලා පාඨමාලාවක් කරගෙන යනවා. මම ස්වේච්ඡාවෙන්ම තමයි මේ පාඨමාලාව කරගෙන යන්නේ. ළමයි ලොකු උනන්දුවකින් ඒකට සහභාගි වෙනවා. ඔහු කීවේය.

අද විහාර බිතුසිතුවම් කලාවට අත්වී ඇති ඉරණම තරමක් දුරට හෝ වෙනස් කිරීමට සුනිල් ශාන්ත හුදෙකලා උත්සාහයක නිරතව සිටී. මට මතක් වූයේ ඔහුගේ ගුරුවරයා වන කලාසූරී එස්.පී. චාල්ස් සඳහන් කළ සටහනකි. පැරැණි ශිල්පීන් සතුව තිබූ මුහුකුරාගිය කාර්යක්ෂමතාවය දැන් ශිල්පීන් තුළ දක්නට නැත. ඒ බව මේ අලුත් වැඩවලින් පෙනේ. අලුත්කිරීම්වලදී කරන මහා අපරාධය නම් නොගැලපෙන සායම් වර්ග භාවිතයයි. කිසිසේත් නොගැලපෙන දේ එකතු කිරීමයි.

 කුසුම්සිරි විජයවර්ධන

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00