2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

රටේ ගොවිතැන දියුණු වන ග්‍රහබලයක්

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 206

බුධ කුම්භයට

ග්‍රහලොව සියුම් බුද්ධිමතා වූ බුධ ග්‍රහයා තමාට සම රාශි භවනක් වූ සෙනසුරුට අයත් වූ කුම්භ රාශියට 2018 පෙබරවාරි මස 15 වන ගුරු දින පාන්දර 3.25ට පිවිසේ. කුම්භ රාශියෙහි අඟහරුට අයත් දෙනට නැකතේ සම්පූර්ණවත් බ්‍රහස්පතිට අයත් පුවපුටුප නැකතේ ප්‍රථම දෙවන තුන්වන පාදයෙන් බුධ ග්‍රහයා 2018 මාර්තු 3 වන ශනි දින උදේ 6.56 දක්වාම ගමන් කරනු ඇත.

මෙම තත්ත්වය පිළිබඳ අප රට කෙරෙහි අවධානය යොමු කිරීමෙදී වෙළඳ ව්‍යාපාර හා කර්මාන්ත දියුණුවට පත්වන වකවානුවක් වන අතර කෘෂිකර්මික කටයුතුවල නවීනත්වයක් හා දියුණුවක් ඇති වනු ඇත. පතල් කර්මාන්ත ආශ්‍රිත අශුභ සිදුවීමක් වාර්තා වේ. යම් යම් ක්‍රියාවන්ට එරෙහිව මහජනතාව කලකිරීමට පත්වීමකි. ඒ සඳහා විරෝධය දැක්වීමක් හා ප්‍රසිද්ධියේ විවේචනය කිරීමක් සිදුවනු ඇත. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලි අයකුට අපලකාරී වන අතර මාරක ද ඇතිවනු ඇත.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී අයර්ලන්තයට, අසියාතික රටවලට, සයිප්‍රස් රාජ්‍යයට ආර්ථික අර්බුද ඇති වන වකවානුවක් වන අතර මූල්‍ය ආයතන ආශ්‍රිත අශුභ සිදුවීම් ද වනු ඇත. මුදල් තත්ත්වයේ පහළ බැසීමක් ද සිදුවේ. අධ්‍යාපනික ස්ථාන විනෝද ස්ථාන ආශ්‍රිතව අයහපත් සිදුවීම් වාර්තාවනු ඇත. ස්වීස්ටර්ලන්තය, බ්‍රසීලය, ග්‍රීසිය, තුර්කිය, අමෙරිකාව ආශ්‍රිතව අපරාධ ක්‍රියාවන්හි වැඩිවීමක් ද ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යයි.

මීළඟට ලග්න අනුව

මේෂ - මිතුරන්ගෙන් උදවු
ඔබගේ කීර්තිනාමය ප්‍රසිද්ධියට පත්වනු ඇත. මිතුරන්ගෙන් උදව් උපකාර අත්වන නමුත් මෙම වකවානුව තුළ විශාල ලෙස මුදල් යෙදවීම් කිරීමේදී ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න.

වෘෂභ - නව රැකියා
ඔබට යහපත් ඵල ඇතිවනු ඇත. ඔබගේ කටයුතු දියුණුවට පත්වන අතර අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වේ. නව රුකියාවක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉටුවේ. තම දරුවකුගේ ක්‍රියාකාරකමක් නිසා සිතට ප්‍රීතිය ඇතිවේ.

මිථුන - ප්‍රේමයට හොඳයි
ඔබට ද යහපත් ඵල අත්වන අතර අධ්‍යාපන කටයුතුවල මෙන්ම ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල වර්ධනය වනු ඇත. කෙටි ගමන් අධිකව යෙදෙන්නාවූත් වකවානුවක් වේ.

කටක - නීතිමය ගැටලු
නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ලියවිලිවලට අත්සන් තැබීමේදී පරිස්සම් වන්න. ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇති කරනු ඇත.

සිංහ - අසනීප සුව වේ
ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වේ. පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවනු ඇත. පැවති අසනීප තත්ත්වයක් සුව අතට හැරෙන වකවානුවක් ද වේ.

කන්‍යා - ස්නායු පීඩා
ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවලින් බාධා ගෙනදේ. සේවා ස්ථානයේ මාරුවක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත. ස්නායු පීඩාවක් මතුවනු ඇත.

තුලා - උදර රෝග 
අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් අවහිරතා ඇති කරනු ඇත. හවුල් වැඩවලින් ඵල ලබාගත හැකි වන අතර උදරය ආශ්‍රිත පීඩාවක් උද්ගත වේ.

වෘශ්චික - පවුලේ සමගිය
ඔබට යහපත් කාල සීමාවක් වනු ඇත. නිවසේ අලුත්වැඩියාවක් සිදුකිරීමට මෙන්ම දුරබැහැර ගමනක් යාමට ද යහපත් වේ. පවුල් දිවියේ සමගිය වර්ධනය වන්නාවූත් වකවානුවක් වනු ඇත.

ධනු - කෙටි ගමන්
ඔබට යහපත් ඵල අත්වන අතර ලේඛන හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරන අයට ඉතා යහපත් වනු ඇත. කෙටි ගමන් යෙදේ. සේවා ස්ථානයේ පැවතියා වූ ගැටලු රැසක් මගහැරී යන වකවානුවකි.

මකර - හවුලට හොඳයි
ඔබගේ යම් යම් කටයුතුවලට බාධා වීම් ඇතිවනු ඇත. හවුල් කටයුතුවලින් ඵල අත්වනු ඇත. පවුල් දිවියේ සමගිය වර්ධනය වන අතර ආර්ථික වාසියක් හිමිවන කාලසීමාවක් වේ.

කුම්භ - ලාභ ලැබේ
යහපත් ඵල අත්වනු ඇත. පැවතියා වූ ප්‍රශ්න රැසක් මඟහැරී යන අතර අන් අයට ප්‍රිය පුද්ගලයකු බවට පත්වනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ලාභ ලැබේ.

මීන - සමගියට බාධා
එතරම් යහපත් ඵල අත්නොවනු ඇත. පවුල් දිවියේ සමගියට බාධා වීම් ඇති වේ. සිතේ සහනය අඩු වන කාලයක් වන අතර ඔබගේ කටයුතු සඳහා ද විවිධ වූ පාර්ශව මගින් බාධා එල්ල වේ.

 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණයතන
ඔලබොඩුව, ගෝනපල