2017 ජනවාරි 14 වන සෙනසුරාදා

මිනිහකු මැනගන්නේ කොහොමද?

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

අනන්‍යතාවය කියන්නෙ හරිම වැදගත් දෙයක්. භෞතික වස්තුවකට වගේම මිනිස්සුන්ටත් එහෙමයි. නැත්නම් ඔහු හෝ ඇය කවුද කියලා හඳුනාගන්න බෑ. අනන්‍යතාවයට පදනම් වෙන කාරණා රැසක්ම තිබෙනවා. ඒත් විශ්වාස, සංස්කෘතිය, ලිංගභේදය හා ජාතිය ආදී මූලික සාධක නිසා තමයි අපි තව කෙනකුව නිතරම වෙන්කරලා ගන්න බලන්නේ. හැබැයි අපි මූලිකව මිනිසුන්ව වෙන් කරන මේ සාධක මඟින් ඔහු හෝ ඇය සතු හොඳ නරක මනින්න යෑම නුවණට හුරු නෑ. උදාහරණයකට මගේ උප්පැන්නෙන් මම කිතුණුවකු කළාට සෑම ආගමකම තිබෙන දාර්ශනික වටිනාකම් ගැන මට තිබෙන්නේ හොඳ අවබෝධයක්. ඒ වගේම ඒ දේවල් ගැන තව තවත් ඉගෙනගන්න මම ගොඩක් උනන්දුයි. ඒ වුණාට කිතුණුවන් ගැන බෞද්ධ හෝ මුස්ලිම් අන්‍යාගමික ප‍්‍රජාව අතරේ තිබෙන බහුතර මතය ටිකක් වෙනස්. ජාතිය හෝ ආගම මුල්කරගනිමින් මිනිසුන් තෝරාබේරාගැනීම සීයට සීයක් සාර්ථක නෑ කියලා මම කිව්වේ මේ හින්දයි. 

ඒ වගේම තමයි මිනිසුන්ගේ ඇඳුම පැළඳුම හා ශරීර ස්වභාවයෙන් මිනිසුන් මැනීම. බැලූ බැල්මටම විකාරසහගත හා අපිළිවෙළ මිනිසුන් ගැන අපි චිත‍්‍ර ඇඳගන්නවා. ඒ චිත‍්‍ර වැඩිමනත්ම යහපත් නෑ. ඒත් ඔවුන් එක්ක ටිකක් කතා කළොත් අපි හිතන් ඉන්න මිනිහා නෙවෙයි. ඇතැම්විට ගොඩක් මිත‍්‍රශීලී මනුස්සයෙක්. තවත් අය ඉතාම පිළිවෙළට ඇඳුම් අඳින කතාබහ වුණත් තැන්පත් අය. හැබැයි ඔවුන් තුළ සැඟවිලා තිබෙන දුර්ජන ගති කුහක පැවැතුම් දැනෙන්න ගන්නේ කාලයක් ඇසුරු කරද්දියි. වර්ණවලට තිබෙන අනන්‍යතාවයත් ඒ විදියමයි. සුදු හෙවත් ධවල වර්ණය පවිත‍්‍රත්වයේ සංකේතය හැටියට සැලකෙනවා. මේ හින්දාම සිරිතක් හැටියට සුදුම අඳින මිනිස්සුත් ඉන්නවා. ඒත් ඒ සුදෙන් ආවරණය කරපු පපු ඇතුළේ රාගය, මානය ආදී පුහුදුන් මනුෂ්‍ය ගති පැසවමින් තිබෙන්නේ. අවස්ථාව ලැබුණු ගමන් ඒවා එළියට පනිනවා. 

ඉතාම තදින් බෞද්ධ දර්ශනය පිළිගන්න කාන්තාවකට පවා බුර්කාවක් ඇන්දුවොත්? මොහොතක් හිතලා බලන්න. ඇය ඒ ඇඳුමෙන් බාහිර සමාජයට පිවිසියොත් ලැබෙන පිළිගැනීම මොන වගේ වේවිද කියලා. ඒ වගේම මේ වෙද්දී බටහිර ලෝකයේ මිනිසුන් රැලි වශයෙන් නොවුණත් බුදු දහමට සමීපවෙන කිසියම් ප‍්‍රවණතාවයක් තිබෙනවා. ඒත් ඒ සුදු මිනිස්සු ලංකාවට ආවොත් අපට එක්වරම ඔවුන් බෞද්ධයන් කියලා හඳුනාගන්න පුළුවන්ද? බැහැ. මේ විදියට බැලුවාම මනුස්සයකු දුටුමනතින් මනින්න අපි කාලයක් තිස්සේ පාවිච්චි කරන උපකරණ ටික දැන් කොච්චර පරණද? 

♦ නොයෙල් ශාමිකා ඩයස්
ජා ඇල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00