2017 ජනවාරි 14 වන සෙනසුරාදා

හම්බන්තොට ඔසවන චීනය කපන ක්‍රා ඇළ

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 213

 

හම්බන්තොට පසුගියදා යුද පිටියක් විය. පිරිසක් පැවසුවේ ආණ්ඩුව හම්බන්තොට චීනාට විකුණන්න හදනවා යනුවෙනි. ආණ්ඩු පාර්ශ්වය පැවසුවේ ශ්‍රී ලංකාව ඉහළටම ඔසවා තැබීමට යෝධ ආයෝජන කලාපයක් හදන බවයි. කවුරු කෙසේ කීවත් කවදාවත් නැති වටිනාකමක් හම්බන්තොට සෑම බිම් අඟලකටම ඉදිරියේදී හිමිවීමට නියමිතව ඇත. ඒ අන්කවරක් නිසාවත් නොවේ. හම්බන්තොට වරාය නිසාය. එසේ පවසද්දී ඇතැමුන්ට විහිලුවක්යැයි සිතෙනවා ඇත්තේ හම්බන්තොට වරාය පතුලේ විශාල ගල්පර්වතයක් තිබෙනවායැයි විශ්වාස කළ කාලයක් තිබූ හෙයිනි. ඔවුන්ගේ විශ්වාසය කෙසේ වෙතත් පසුගිය වසර තුනක් තිස්සේ වරායට විශාල නෞකා කිහිපයක්ම පැමිණ ඇත. වරාය පතුළේ පර්වතයක් තිබුණත් නැතත් නැවක් ඇතුළු කිරීමට ප්‍රමාණවත් ගැඹුරක් තිබීම ප්‍රමාණවත්ය.

රටක නාවික බලය ශක්තිමත් කිරීමෙන් ලෝක ආර්ථිකය හා දේශපාලන බලයට කළ හැකි බලපෑම විශාලය. ලොව රජ කළ රෝම, පර්සියානු, මිසර ‍අධිරාජ්‍යයන්ගේ බලය හීන කරමින් 15 වැනි සියවසේදී බ්‍රිතාන්‍ය, ස්පාඥ්ඥ, පෘතුගීසි, ප්‍රංශ, ජපාන ඇතුලු නව අධිරාජ්‍යන් බිහිවීම  සිදුවන්නේ නාවික බලයේ සිදුවූ වෙනස්කම් වලින් පසුවයි. යුරෝපීය අධිරාජ්‍යයෝ අප්‍රිකානු මහද්වීපය වටා ගොස් සුබපැතුමේ තුඩුව හරහා පැමිණ ආසියාතික රටවල් පාලනය කළහ. යුරෝපයට අවශ්‍ය අමුද්‍රව්‍ය ද සපයා ගත්හ. නමුත් නාවික ගමන් සඳහා යුරෝපයට විශාල වියදමක් දැරීමට සිදුවූ අතර දීර්ඝ කාලයක් ද ගතවිය. නමුත් 1869 දී සුවස් ඇළ කැපූ පසු නාවික සැතපුම් දසදහස් ගණනාවකින් යුරෝපීය නාවික ගමන කෙටි විය. වියදම් අඩුවිය. ගතවන කාලය කෙටි විය. ඔවුන්ගේ ආර්ථික වර්ධනය වේගවත් විය. ඒත් සමඟම අරාබීන්ගේ ආර්ථික ඒකාධිකාරයද බිඳවැටුණි. ලෝක ආර්ථික බලය යුරෝපයට හිමි විය. ලෝක දේශපාලනය බලවතුන් ලෙස යුරෝපය පත්විය. 

20වැනි සියවස මුල් කාලය වන විට ලෝක බලවතා නොවුණත් දේශපාලනිකව ස්ථාවරත්වයකට පත්වෙමින් සිටි අ‍ෙමරිකා එක්සත් ජනපදයද සිය නාවික බලය වර්ධනය කරගැනීමට අවධානය යොමු කළේය. ලෝක ආර්ථිකයේ හා දේශපාලනයේ ප්‍රබලයා වීමට අ‍ෙමරිකාවට බාධාවක් වූයේ අත්ලාන්තික් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා දකුණු අ‍ෙමරිකානු මහද්වීපය වටා ගමන් කිරීමට විශාල කාලයක් හා වියදමක් දැරීමට සිදු වූ නිසාය. එයට විසඳුමක් ලෙස අ‍ෙමරිකාව 1914 දී පැනමා ඇළ කැපීමෙන් පසු දකුණු අ‍ෙමරිකානු මහද්වීපය හරහා නාවික සැතපුම් දසදහස් ගිය ගමන සැතපුම් සිය ගණනකට අඩුකර ගත හැකි විය. එතැන් පටන් ක්‍රමයෙන් නාවික බලය වර්ධනය කරගත් අ‍ෙමරිකාව 20වැනි සියවස අවසන්වන විට ලොව සුපිරි බලවතා බවට පත්වන්නේ යුරෝපය ද පරදමිනි.

21වැනි සියවසේ ලොව බලවතා වීමට බලාපොරොත්තු වන්නේ ආසියාතික රටක් වන චීනයයි. දේශපාලනිකව ස්ථාවර රටක් වන චීනයේ නිෂ්පාදන ආර්ථිකය ද ශක්තිමත් තැනකට පත්ව ඇතත් තවමත් චීනයට ලෝ බලවතා වීමට හැකි වී නැත. චීනය ද මුහුණ පා තිබෙන්නේ යුරෝපය මෙන්ම අ‍ෙමරිකාවද මුහුණ දුන් නාවික ගමනාගමන ගැටලුවකටය. චීන නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට ප්‍රවාහන කිරීමේදී සහ චීනයට අවශ්‍ය අමුද්‍රව්‍ය, තෙල්, ගෑස් ආනයනය කිරීමේදී ගතවන කාලය සහ වියදම චීනයට තිබෙන ප්‍රධානම අභියෝගයයි. එම අභියෝගය ජයගැනීමට චීනයට තිබෙන එකම විසඳුම නාවික බලය ශක්තිමත් කිරීම සහ නාවික ප්‍රවාහනය ලාභදායි සහ වේගවත් කිරීමයි. දැනට ඉන්දියාව, අප්‍රිකාව සහ මැදපෙරදිග රටවල්වලින් චීනය මිලදී ගන්නා ගෑස්, තෙල් ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන්නේ සේද මාවත ඔස්සේය. එනම් ඉන්දියානු සාගරය හරහා ශ්‍රී ලංකාව ආසන්නයෙන් ඇදී යන නාවික මාර්ගය ඔස්සේ ගොස් පටු සමුද්‍ර තීරුවක් වන මලක්කා සමුද්‍ර සන්ධිය දිගේ ගමන් කර සිංගප්පූරු වරාය හරහාය. මුහුදු මංකොල්ලකරුවන් සහ ත්‍රස්ත ක්‍රියාකාරකම් ගහන මලක්ක සමුද්‍ර තීරුව හරහා යන දීර්ඝ නාවික මාර්ගය වෙනුවට තායිලන්තයේ ක්‍රා පහත්බිම හරහා ඇළක් කැපීමෙන් චීනයට නාවික ගමන කි.මී 1200කින් අඩුකරගත හැකිය. චීනය පමණක් නොව නැගෙනහිර ආසියාතික ප්‍රබලයන් වන ජපානය කොරියාව ඇතුළු අනෙකුත් රටවලටද මේ වාසිය හිමිවනු ඇත.

ක්‍රා පහත් බිම හරහා ඇළක් කැපීමේ යෝජනාව මුල්වරට යෝජනා වූයේ 1677 දීය. නමුත් එවක තාක්ෂණික පහසුකම් ඇළකැපීමට බාධාවක් විය. නැවතත් 1882 දී සුවස් ඇළ කැපූ ෆර්ඩිනන්ඩ් ද ලෙසප් ක්‍රා තැනිතලාව හරහා ඇළක් කැපීම යෝජනා කළ ද එම යෝජනාවට බ්‍රිතාන්‍යය එරෙහි වූයේ බ්‍රිතාන්‍යය යටතේ තිබුණු සිංගප්පූරු වරායට සිදුවිය හැකි හානිය නිසාය. බ්‍රිතාන්‍යයට අවශ්‍ය වූයේ සිංගප්පූරු වරායේ ආධිපත්‍ය පවත්ගෙන යාමයි. දැනට වසර 150ක කාලයක් තිස්සේ ලොව කාර්යබහුලම වරාය සිංගප්පූරු වරායයි. නැගෙනහිර ආසියාතික රටවල් කරා මලක්කා සමුද්‍ර තීරය හරහා ගමන් කරනු  ලබන සහ පැමිණෙන සෑම නෞකාවක්ම ආහාර, ඉන්ධන ආදිය සඳහා සිංගප්පූරු වරායේ නවත්වනු ලැබේ. මීට අමතරව නැව් අලුත්වැඩියාව, එක්නැවකින් තවත් නැවකට භාණ්ඩ හුවමාරුව ආදි සේවාවන්ද සිංගප්පූරු වරායෙන් සිදු වේ. 

සිංගප්පූරු ආර්ථිකය මුළුමනින්ම් රඳාපවතින්නේ වරාය සේවාව තුළිනි. චීනය ඇතුළු නැගෙනහිර රටවලට ගමන් කරන නෞකා මලක්කා මුහුදු තීරය හරහා ගමන් කිරීම නැවැත්වුවහොත් සිංගප්පූරු ආර්ථිකය කඩා වැටෙනු ඇත. ක්‍රා පහත්බිම හරහා ඇළක් කැපීම තම ආර්ථිකයට වාසි සහගත බව චීනය දැන සිටියද අද දක්වා චීනය එම ව්‍යපෘතිය ආරම්භ නොකළේ චීනයේ හිතවතකු වූ සිංගප්පූරුවට සිදුවන හානිය නිසාවෙනි. නමුත් පසුගිය කාලය තුළ සිංගප්පූරුව අමෙරිකාවට ළංවීම සම්බන්ධයෙන් කුපිත වූ චීනය තම හිතවත්ම රටක්වන තායිලන්තය හරහා ක්‍රා ඇළ කැපීමට ගිවිසුම් අත්සන් කළේය.අ‍ෙමරිකානු ඩොලර් බිලියන 28ක් වැය කර මීටර් 25ක් ගැඹුරු මීටර් 400ක් පළලැති කිලෝමීටර් 102ක් දුරැති ඇළක් කැපීමට චීනය සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට වසර 10ක් ගතවනු ඇත. ක්‍රා ඇළ කැපීමෙන් මෙතෙක් කාලයක් මලක්කා සමූද්‍ර සන්ධියේ පිහිටි එකම වරාය වූ සිංගප්පූරු වරාය සැපයූ සේවාවන් සැපයීමේ අවස්ථාව දකුණු ආසියාතික රටකට පැවරේ.

ඉන්දියාව උත්සාහ කරන්නේ පෝක් සමුද්‍ර සන්ධිය ගැඹුරු කර චීන නැව් ඉන්දියානු වරායට ගෙන්වා ගැනීමටය. නමුත් සේද මාවත වැටී ඇත්තේ හම්බන්තොට මාගම්පුර වරායට කිලෝමීටර් 15ක් පමණ දුරකිනි. කොළඹ හෝ ත්‍රිකුණාමල වරායන් පිහිටන්නේ සේද මාවත සිට සැතපුම් කිහිපයක් ඈතිනි. ගාලු වරාය පුළුල් කිරීමට නොහැකි වන අන්දමින් ගල්පර පිහිටා තිබේ. ඒ අතර මේ සඳහා සුදුසුම ස්ථානය වන්නේ අතීතයේ මාගම වරාය පිහිටි හම්බන්තොටය. 2008 දී හම්බන්තොට මාගම්පුර වරාය ඉදිකිරීමට චීනය ආධාර කළේය. චීනයේ අරමුණ වන්නට ඇත්තෙත් ක්‍රා ඇළ කැපීමෙන් පසු සිංගප්පූරුවෙන් ලබාගත් සේවාවන් මාගම්පුර වරායෙන් ලබා ගැනීමටයි. 

2014 වසරේදී මාගම්පුර වරාය ඉන්ධන ගබඩා කිරීමෙන් මිලයන 750ක් උපයා ගත්තේය. විශේෂයෙන්ම ඉන්දීය, ජපාන, දකුණු කොරියානු වාහන නිෂ්පාදන ආයතන මාගම්පුරවරාය භාණ්ඩ හුවමාරුව සඳහා භාවිත කළේය. 2014 මුල්මාස නවය තුළ පමණක් හුවමාරු වූ වාහන ප්‍රමාණය 100,000 ඉක්මවීය. ඒ අතර ටාටා මරුටි විශේෂ තැනක් ගත් අතර වරාය වැඩිපුරම භාවිත කර තිබුණේ හයිහුන්ඩායි සමාගමයි. 

හම්බන්තොට වරාය ඉදිකිරීමේ වැදගත්කම මුලින්ම පෙන්වා දුන්නේ 1970 දශකයේදී ආරියසීල වික්‍රමනායක මහතායි. නමුත් ඒ සම්බන්ධයෙන් පාලකයන් එතරම් සැලකිල්ලක් නොදැක්වීම හේතුවන් වරාය ඉදිකිරීම කල්ගියේය. කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුසමයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මාගම්පුරවරාය චීනයේ සහාය ඇතිව පළමු අදියර ඉදිකර අවසන් කළේය. නමුත් වරාය එමෙන්ම වරාය ඉඳිකිරීම විවේචනය කරමින් සිටි එ.ජා.ප ප්‍රමුඛ ආණ්ඩුව වරායේ ඉදිකිරීම් අවසන් කිරීමට චීනය සමඟ ගිවිසුමක් නැවතත් අත්සන් කළේය. ඒ අනුව අක්කර 4000ක භූමියක් පුරා ඉදිවන වරායේ නෞකා 33කට එකවර සේවා සැපයිය හැකි වන අතර ඉදිරියේදී ඉදිවන මහා පරිමාණ මෙගා නෞකාවලටත් සේවා සැපයීමේ අවස්ථාවද හිමිවනු ඇත. එමෙන්ම පර්යන්ත හතරකින් සමන්විත, ගබඩා පහසුකම්, ඉන්ධන සැපයුම්, ස්වභාවික දියර වායු පිරිපහදු, ඉන්ධන ගබඩා පහසුකම්, ප්‍රතිඅපනයන කලාප හා වියළි වරාය පහසුකම් ආදි පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ විශාලතම වරාය බවටත් හම්බන්තොට මාගම්පුර වරාය පුළුල් කිරීමට නියමිතය.

රතු මුහුද, පර්සියන් බොක්ක, මලක්කා සමුද්‍රය, පකිස්තානයේ ග්වාදාර් සහ මියන්මාරයේ සිට්විවලට ප්‍රවේශවන තෙල් සහ වායු ටැන්කි සඳහා හම්බන්තොට වරාය ප්‍රධාන අන්තර් මධ්‍යස්තානයක් වශයෙන් ද ක්‍රියාත්මක වේ. එමෙන්ම දකුණු ආසියාතික දූපත් ආශ්‍රිතව පුළුල් වෙමින් පවතින චීනයේ පුළුල් ආයෝජනයන්වල අන්තර් මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මකවේ. එමෙන්ම ප්‍රතිඅපනයනයේ වැදගත් මධ්‍යස්ථානයක් බවට මෙම වරාය දැනටමත් පත්ව තිබේ. මේ වන විටත් සේද මාවත හරහා ගමන් කරන නෞකා අමතර සේවා ලබාගැනීමට වැඩි දුරක් ගෙවමින් ඉන්දියාවේ කොචි වරායට යාම වෙනුවට හම්බන්තොට වරායට පැමිණීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇත.

වර්තමානයේ චීනයට අයත් තෙල් 50%ක්ම ආනයනය කරන්නේත් චීනයෙනයේ අපනයන 80%ක් ප්‍රවාහනය කරන්නේත් මලක්කා සමූද්‍ර සන්ධිය තුළිනි. මුහුදු මංකොල්ලකරැවන්ගෙන් පිරිණු අභියෝගාත්මක දීර්ඝ මුහුදු ගමන ක්‍රා ඇළ කැපීමෙන් දිනිය හැකිය. එමෙන්ම ගමන කි.මී 1200කින් කෙටිවන අතරම කාලය හා තෙල්ද ඉතිරි වේ. මෙම ක්‍රා ඇළ නිර්මාණය කිරීමෙන් පසු වාසි ලබන ප්‍රධාන පාර්ශවකරුවන් වන්නේ ශ්‍රී ලංකාව, තායිලන්තය සහ මැලේසියාවයි. එම වාසිය ශ්‍රී ලංකාව ලබාගැනීමට නම් මාගම්පුරවරායේ සේවා සැපයීම් සඳහා අවශ්‍ය සෑම පහසුකමක්ම නිර්මාණය කළ යුතුය. එමෙන්ම විවිධ නැව් සමාගම් සමඟ හේජින් ගිවිසුම්වලට යා යුතුය. එමෙන් එක්සත් ජාතීන්ගේ සංගමයේ ඉන්ටර්නැෂනල් මෙරිටයිම් ආයතනයේ ලියාපදිංචි විය යුතුය.

ක්‍රා ඇළ චීන ආර්ථිකයට වැදගත් වන අයුරින් තායිලන්තයට ද වාසිදායකය. එමෙන්ම මාගම්පුර වරායෙන් චීනයට ලැබෙන ආර්ථික ලාභයට සාපේක්ෂව ශ්‍රී ලංකා ආර්ථිකයට වාසිදායකය. චීන නෞකා පමණක් නොව පිලිපීනය, කොරියාව, ජපානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු අනෙකුත් රටවල් කරා ප්‍රවාහනය වන එම රටවලින් පැමිණෙන නෞකාවන්ට අවශ්‍ය ආහාර, ඉන්ධන සැපයුම්, අලුත්වැඩියාව, වැනි අමතර සේවාවන් සැපයීමේ අවස්ථාව හිමි වේ.  ඉන් රටට විශාල ධනස්කන්ධයක් උපයාගත හැකිය. 21වැනි සියවස අගභාගයේ චීනය ලොව සුපිරි බලවතා නම් 21වැනි සියවසේ ලොව කාර්යබහුලම වරාය බවට මාගම්පුරවරාය පත්වන අතර අලුත් සිංගප්පූරුව බවට පත්වනු ඇත්තේ ශ්‍රී ලංකාවයි.

සාම් සකීෆ් තන්වීරි