2017 ජනවාරි 14 වන සෙනසුරාදා

හුස්මගන්න මැෂිමක් හැදූ දොස්තර

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

 

රජකම නැතිනම් වෙදකම යන පැරැණි සිංහල කියමනින් ශ‍්‍රී ලාංකිකයන් වෛද්‍ය වෘත්තියට දැක්වූ සැළකිල්ලත්, ආදර ගෞරවයත් කොතෙක්ද යන්න හෙලිදරව් වේ. ඒ ආදර ගෞරවය ඔද වඩමින් අපූර්ව හපන්කමක් කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ තරුණ වෛද්‍යවරයෙකු ජංගම කෘත්‍රිම ශ්වසන යන්ත‍්‍රයක් නිපදවා ඇත. ඔහු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයක්ද වන වෛද්‍ය දුලාන් සමරවීර මහතාය. රෝගියකුගේ ශ්වසනය (හුස්ම) ඇණහිටින අවස්ථාවක එම රෝගියා පහසුකම් ඇති රෝහලක නම් හදිසි ප‍්‍රතිකාර ඒකකයට ගෙන යන අවස්ථාවේ දීත්, පහසුකම් නොමැති රෝහලක නම් පහසුකම් ඇති රෝහලක් වෙත රැගෙන යන ගිලන් රථය තුළදීත් කෘත්‍රිම ශ්වසනය නොකඩවා දිය යුතුය.

එවැනි අවස්ථාවල අප රටේ සිදුවන්නේ අතින් තදකරන බැලූනයක් වැනි උපකරණයක් මගින් රෝගියාට කෘත්‍රිම ශ්වසනය ලබාදීමයි. වෛද්‍ය දුලාන් නිපදවා ඇත්තේ එම අතින් වෙහෙසක් දරා සිදුකරන ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීයව සිදුකරන යන්ත‍්‍රයයි. මෙමගින් නිසි කාල පරාසයක් තුළ අවශ්‍ය ශ්වසන වාර ගණන රෝගියා වෙත ලබාදීමේ හැකියාව පවතී. වෛද්‍ය දුලාන් සඳහන් කරන අන්දමට වෝල්ට් 12 ක ධාරිතාවයකින් යුතු බැටරියකින් මෙම යන්ත‍්‍රය ක‍්‍රියාකරවීමේ හැකියාව ඇත. රුපියල් පහළොස්දහසක් වැනි මුදලක් පමණක් මෙම යන්ත‍්‍රය නිෂ්පාදනයට වැය වූ බව හෙතෙම කීය.

විශේෂයෙන් පහසුකම් අවම රෝහලක සිට පහසුකම් සහිත රෝහලක් වෙත රෝගීන් ප‍්‍රවාහනය කිරීමේදී ගිලන් රථය තුළ මෙම යන්ත‍්‍රය සවිකිරීමේ හැකියාව ඇත. වෛද්‍ය දුලාන් මහතා පැහැදිලි කරන අන්දමට ගිලන් රථයේ බැටරියට වුවද මෙම යන්ත‍්‍රය සවිකොට ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. ඉතා පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි අන්දමින් මෙම යන්ත‍්‍රය නිෂ්පාදනය කොට තිබීම තවත් විශේෂත්වයකි. වෛද්‍ය දුලාන් සිය නිර්මාණය පිළිබඳව පැවසූයේ මෙවැන්නකි.

මෙය තල්ලු කරගෙන, අතේ එල්ලාගෙන හෝ රෝගියා සමග ට්‍රොලියේ තබාගෙන යා හැකි අන්දමින් නිපදවා ගත හැකියි. දැනට මම නිෂ්පාදනය කරලා තියෙන්නේ තල්ලු කරගෙන යා හැකි ක‍්‍රමයට. මෙය රෝගියාට සවිකළ විට ස්වංක‍්‍රීයව විනාඩියකට අවශ්‍ය 10 - 12 ත් අතර වාර ගණනක් හුස්ම ලබාදෙනවා. එය වෙනස් කරගන්නටත්, අවශ්‍ය තරමට පමණක් අවශ්‍ය හුළං ප‍්‍රමාණය ලැබෙන ආකාරයටත් සකසා තිබෙනවා.

තමා උගත් වෙදකම ඉතා දයාවෙන් හා කරැණාවෙන් සිය ප‍්‍රජාවගේ හිතසුව පිණිස යෙදවූ වෙදදුරන් පිළිබඳව රජරට කවදත් ප‍්‍රසිද්ධය. සැබෑ වෛද්‍යවරයා රෝගීනට මවක මෙන් ස්නේහවන්තය. පියකු මෙන් උපකාරීය. මිතුරකු මෙන් හිතවත්ය. සොහොයුරකු මෙන් විශ්වාසය. සිය වෘත්තීය කාර්යභාරයෙන් ඔබ්බට ගොස් ප‍්‍රජා සත්කාරක කටයුත්තක් සේ සලකා මෙම නව නිෂ්පාදනය සිදුකොට ඇති වෛද්‍ය දුලාන් ඒ වග ප‍්‍රායෝගිකවම සනාථ කොට ඇත. අනුරාධපුර, කොහොඹගස්හන්දිය ප‍්‍රදේශයේ පදිංචි වෛද්‍ය දුලාන්ගේ අපේක්ෂාව වී ඇත්තේ ඔහු විසින් කළ නව නිර්මාණය අවම පහසුකම් සහිත රෝහල්වලට ප‍්‍රමුඛතාවය ලැබෙන සේ දිවයිනේ සියලුම රෝහල්වලට ලබාදීමය. සිය අපේක්ෂාව පිළිබඳව කරුණු පැහැදිලි කළ වෛද්‍යවරයා පැවසූයේ මෙවැන්නකි.

රෝගින් ගෙන යන ගිලන් රථයක මෙම යන්ත‍්‍රයක් සවිකර ගත හැකියි. එය ගිලන් රථයේ බැටරියට සම්බන්ධ කරන්නත් පුළුවන්. ගිලන් රථය ධාවනය වනවිට බැටරියත් ඉබේම චාජ් වෙන නිසා ගැටලුවක් නෑ. දෝෂ අවමයි. නඩත්තු අවමයි. සංකීර්ණ නැහැ. පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකියි. ඒ නිසා රජයේ මැදිහත්වීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා නිෂ්පාදනය කරලා විශේෂයෙන් දුෂ්කර ප‍්‍රදේශවල රෝහල් සඳහා මේ යන්ත‍්‍රය ලබාදෙන්න පුළුවන්. 

මුදල් උපයන මාර්ගයක් විදිහට මේ නිෂ්පාදනය පාවිච්චි කරන්න බලාපොරොත්තුවක් නෑ මගේ. හොයාගත්ත දැනුම සෞඛ්‍ය අංශයට ලබාදී, අකාලයේ නැතිවෙන රෝගී ජීවිත බේරාගන්න යම් දායකත්වයක් ලබාදෙන්න පුළුවන් නම් වෛද්‍යවරයෙක් විදිහට ඒක තමයි මගේ අරමුණ.
077-2513683 දුරකතන අංකය ඔස්සේ වෛද්‍ය දුලාන් සමරවීර ඇමතීම මගින් මේ පිළිබඳව වැඩිමනක් තොරතුරැ විමසීමේ ඉඩකඩ විවෘතය.

♦ කතාව හා සේයාරූ - තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග