2017 ජනවාරි 14 වන සෙනසුරාදා

කැලණි ගඟ ගිලගත් අනියම් ආදරේ

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

දෙන්නා දෙමහල්ලන්ගේ විරසකය බත් මුට්ටිය ඉදෙනකම් පමණයැයි කතාවක් පවතින්නේ විවාහක යුවළක් අතර වන අමනාපකම් ඉතා ඉක්මණින් නිරාකරණය වන නිසාය. අවාසනාවකට ඇතිවන ඇතැම් ගැටුම් හිඟන්නාගේ තුවාලය වගේයැයි පවසන්නේ එය කිසිම දිනෙක නොවිසඳෙන නිසාය. එවැනි සුළු මත මහා ගැටුම් දක්වා වර්ධනය වී අවසානයේ සිය ලෙයින් ජාතක කළ කිරිකැටි දරුවන් මෙලොව අතරමං කර ජීවිතයෙන් පළායන අඹුසැමියන් සම්බන්ධයෙන් ඇසෙන කතා සිත් කම්පා කරවන්නකි.

මෙවැනි අඹු-සැමි යුවළක් අතර වූ ගැටුමක් දුරදිග යාමෙන් ප්‍රකෝප වූ සැමියකු සිය බිරිය කැලණි ගඟට ඇද දමා ඔහුත් ගඟට පැන දිවි නසාගෙන තිබුණේ ඔවුන්ගේ මාස 13ක් වයසැති කුළුඳුල් දරුවා කුලී නිවසේ සුව නින්දක පසුවෙමින් සිටියදීය.

කොළඹ සේදවත්ත කැලණි ගඟ මිටියාවත ආසන්නයේදී වූ මේ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය පරීක්ෂණ පවත්වයි. සිදුවීම වාර්තා වන පරිදි මෙසේය.

උදුලිංගම් සත්‍යරත්නම් ලෙස උප්පැන්න සහතිකයේ නම් සඳහන් වුවද දන්නා හඳුනන අය ඔහුට ආමන්ත්‍රණය කළේ කමල් නමිනි. කමල් රැකියාවක් සොයා කොළඹට පැමිණ තිබුණේ මීට වසර කීපයකට ඉහතදීය. එසේ පැමිණියේ මාතලේ සිටය. පිටකන්ද වත්ත, අල්වත්ත, මාතලේ ඔහුගේ පදිංචි ලිපිනයයි. 

කොළඹ තාවකාලික නවාතැන්පොළක නවාතැන් ගත් කමල් විවිධ ස්ථානවල කම්කරු රැකියාවන්හි නිරත වෙමින් සිටියේය. රාස් ඔහු කලක පටන් රැකියාව කරමින් සිටියේ තුනපහ ඇඹරුම්හලක කම්කරුවකු ලෙසය.

මාසික වැටුප අතට ගත් පසුව නිවාඩුවක් ලද සැණින් මාතලේ අල්වත්ත නිවෙසට යන්නට පුරුදුව සිටිය කමල් විවාහක දරු දෙදෙනකුගේ පියෙකි. ඔහුගේ බිරිය දරු දෙදෙනා රැකබලා ගනිමින් නිවසේ සිටියදී කමල් වරින් වර නිවාඩුවට පැමිණ කොළඹ බලා ගියේය. මෙසේ යන එන අතරතුර කමල් අල්වත්ත සිය ගම් ප්‍රදේශයේම පදිංචිව සිටි තරුණියක හා හිතවත්කමක් ගොඩ නංවාගෙන සිටියේය. 28 වැනි වියේ පසු වූ කමල්ට එම තරුණිය නවමු බලාපොරොත්තු සමුදායක් එක්කරමින් සිටි බව පෙනිණි.

කමල්ගේ සිත් දිනාගත් එම තරුණිය රාජගෝබාන් බානුමති නම් 25 හැවිරිදි තැනැත්තියකි. හිත පුරා ආදරය පුරවාගෙන කමල් ගැන සෙනෙහසින් පසු වූ රාජගෝබාන් බානුමතී නිවාඩුවට පැමිණෙන කමල් නැවත කොළඹ යනවාට අකමැතිවූවාය. නිවාඩුව නිමවූ පසුත් දවසක් දෙකක් කමල් ගමේ රඳවා ගන්නට ඇය නොගත් උත්සාහයක් නැත. කමල් තම පවුලට හොරෙන් පැවැත්වූ බානුමතී ආදර අන්දරය රහසක් සේ තබාගන්නට දෙදෙනාම ගිවිස ගෙන සිටියෝය.
අනතුරැව කොළඹට පැමිණි කමල් රැකියාවෙන් මිදී බෝඩිමේ තනිවෙද්දී බානුමතී පිළිබඳ සිහින මවන්නට විය.

බානූ... මේ විදිහට මට ඔයාගෙන් ඈත්වෙලා ඉන්න බෑ. ඔයාටත් තේරෙනවානේ ගමට ආවත් අපට නිදහසේ ඉන්නත් බෑනේ... ඔයා කොළඹ එන්න. අපි මෙහේ පදිංචිවෙලා සතුටින් ඉමු...

මෙසේ කියමින් කමල් දුරකථන ඇමතුමකින් බානුමතී අමතා සිය අදහස පවසද්දී ඊට එක පයින් එකඟ වූ බානුමතී පසුදිනම කොළඹ පැමිණියේ කිසිදු පැකීලීමකින් තොරවය.

දැනට වසර එක හමාරකට පමණ පෙර කමල්ගේ සෙවණට ආ බානුමතී කමල් ඇසුරේ කල් ගෙවමින් සිටියාය. පැමිණි මුල් දින කීපයේ කුරුලු ජෝඩුවක මෙන් සැහැල්ලුවෙන් ගතකළ දෙදෙනා අතර කාලයේ ඇවෑමෙන් වාද හා ගැටුම් ඇතිවිය. සමහර දිනවලදී ඇතිවන බහින්බස් වීම් බානුමතීට එල්ල වන ගුටි පූජාවකින් අවසන් විය. එහෙත් බානුමතී කිසිලෙසකින් හෝ කමල්ව හැර නොගියාය. එදිනෙදා උද්ගත වූ ගැටුම් හේතුවෙන් කමල් බානුමතී යුවළට වැඩි කාලයක් එක් කුලී නිවෙසක වසන්නට හැකි නොවීය. බොහෝ විට නිවෙස් විසින්ම යුවළ පළවා හැර තිබුණේ දෙදෙනා අසල් වැසියන්ට පවා කරදරයක් වූබව කියමිනි.

සේදවත්ත ප්‍රදේශයේ තුනපහ ඇඹරුම්හලක සේවය කරමින් සිටි කමල් අවසානයේ පදිංචිය සඳහා කුලී නිවෙසක් සොයාගෙන තිබුණේ සේදවත්ත, වැල්ලම්පිටිය මාර්ගයේ ඉන්ධන පිරවුම්හල ආසන්නයෙනි. එහි නිවෙස් හිමි කාන්තාවගේ ගෙදරකට යාබදව ඉදිකළ කුඩා ප්‍රමාණයේ කාමරයක් යුවළගේ නවාතැන් කොටගෙන ගතව තිබුණේ මාස දෙකක් වැනි කාලයකි. එම කාමරය කැලණි ගඟ මායිමේ පිහිටියෙන් බිත්ති කීපයක් කෙළවර වී තිබුණේ ගං දිය ආසන්නයේය.

කුලී නිවසේ කල්ගෙවූ යුවළ අතර විවිධ මතවාද රණුඩු සරුවල් ඇතිවීම අසල්වාසීන්ට පුදුමයක් නොවීය. ඇතැම් ආරවුල් අවස්ථාවලදී ඔවුන්ගේ අත දරුවා ඉකි ගසමින් අඬනු ඇසුණු බව අසල්වාසීහු කියති. 

වසර එකහමාරකක පමණ කාලයක් බානුමතී කමල් සමඟ දිවි ගෙවුවද ඒ අතරතුර ඇය නැවත මාතලේ ගමට නොගිය බවද කියති. නමුත් නොවරදවාම මසකට වතාවක් පෙර පරදිම කමල් නොහොත් උදුලිංගම් සත්‍යරත්නම් සිය ගමට ගොස් එන්නට පුරුදුව සිටියේය. විවිධ ප්‍රශ්න අතරමැද හෝ බානුමතී සමඟ පවුල් දිවිය කොළඹදී ගතකරන කමල් සැකයක් නොසිතෙන ලෙසින් ඔහුගේ නිත්‍යනුකූල බිරිය හා දරුවන් දෙදෙනාට යුතුකම් ඉටුකරමින් සිටියේය.
කමල්ගේ ආදායම පවුල් දෙකක් නඩත්තුව සඳහා එසේ බෙදීයාම ගැන බානුමතී විරුද්ධත්වය ප්‍රකාශය කරන්නට ඇතැයිද ඒ හේතුවෙන් වාද හා ගැටුම් ඇතිවන්නට ඇතැයිද පොලීසිය විශ්වාස කරයි. මෙසේ කමල් සහ බානුමතී අතර වූ ආරවුල් පිළිබඳව අවස්ථා කීපයකදී පොලීසියට පැමිණිලි ඉදිරිපත් වී තිබුණි. එවැනි ගැටුම් රාශියක් එක පෙළට වර්ධනය වෙමින් තිබුණේ ජනවාරි මුල් සතියේ පටන්ය. 

සිය අනියම් බිරියගේ චෝදනා ගැරහුම් රාශියක් මැද පසු වූ කමල් පසුගිය 8 වැනිදා සවස් යාමයේ නිවෙසට පැමිණියේ කට ගොන්නක් බීගෙනය. ඔහු නිවෙසට පැමිණ වැඩිවේලාවක් ගත වූයේ නැත. බිරිඳ හා අඬදරබරයක් ඇතිකරගෙන ඇති බව ගම්මුන්ට ඇසෙන්නට විය.

ඉක්මන් වූ කමල් කෝපයෙන් බිරිය බානුමතීට පහර දෙන්නට විය. කුලී නිවෙසින් පිටට පැනගත් දෙදෙනාටම අසල්වැසියන් මතක නැත. ඇතැම්හු ඈතින් සිට ඒ දෙස බලා සිටියහ. වීර්ය ගත් කමල් බිරියගේ දෑතින් අල්ලා ගං ඉවුර දෙසට ඇදගෙන යන්නට විය. වේලාව රාත්‍රී 10.15ට පමණය.

අක්කේ... අක්කේ... මාව බේරගන්නෝ.... මේ මිනිහා මාව ගඟට දාන්න හදනවෝ... යැයි කෑමොර දෙමින් සිටි බානුමතී එසේ කියන්නට ඇත්තේ කුලී නිවෙස හිමි කාන්තාවටය. එම කාන්තාව ශබ්දය ඇසී එතැනට එන විටත් කමල් ගං දියට බැස අවසන්ය. බානුමතීගේ දෑත වෙලාගෙන සිටි කමල් සැණෙකින් බානුමතී ගංදියට ඇද දමා තමාද පැන්නේය. ආවේගයෙන් පසු වූ දෙදෙනාම මොහොතින් කැලණි ගංදියේ නොපෙනී ගියේ දුටුවන්ගේ දෑස්පනා පිටය.
සිද්ධිය දුටු වහාම නිවෙස් හිමි කාන්තාව පොලීසියේ 119 හදිසි ඇමතුමට දුරකථන පණිවුඩයක් දෙමින් සිද්ධිය පැමිණිලි කළාය. වහාම ක්‍රියාත්මක වූ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් සොයා බැලුවාද කමල් හෝ බානුමතී පෙනෙන්නට නොවීය. මේ වෙද්දී ගං ඉවුර දැඩි අන්ධකාරයක තිබූ නිසාත් වේලාව රාත්‍රී 10.30 පසුවිම හේතුවෙනුත් පසු දින සෝදිසි මෙහෙයුමක් කරන්නට පොලීසිය තීරණය ක‍ලේය. ඒ සඳහා පොලීසිය නාවික කොට්ඨාසය සහ නාවික හමුදා කිමිදුම් අංශයද යොදාගන්නට ක්‍රියා කළේය. ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට මිටර් 800ට පමණ පහළට වන්නට වූ ස්ථානයක රැඳී තිබියදී ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු සොයාගැනුණේ 9 වැනිදා පස්වරු 3.35ට පමණය. සිද්ධිය පිළිබඳව පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී දියේ ගිලීමෙන් මරණ සිදුව ඇති බවට නිගමනය කෙරිණ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මව සහ පියා අහිමි වූ මාස 13ක් වයසැති දරුවා අධිකරණ නියෝගය මත මිය ගිය රාජගෝබාන් බානුමතීගේ මවට බාර කරනු ලැබීය. විමර්ශනවලදී දෙපාර්ශවයේම පවුලේ ඥාතීන් පැමිණ සිටි අතර කමල් විවාහ දෙකක් කරගෙන සිටින බවට ඔවුන් නොදන්නා බව ප්‍රකාශ කර තිබුණි. නමුත් එකම ගමේ වෙසෙන අය එසේ පැවසීම මුසාවක් බව බොහෝ දෙනාගේ අදහස විය. 

පොලීසිය අවධාරණයෙන් කියා සිටින්නේ මෙවැනි ඛේදවාචක වළක්වා ගැනීමට කාන්තාවක හෝ පිරිමියකු තවත් කෙනෙකු අනියම් ලෙස ඇසුරු කිරීමේදි ඒ පිළිබඳව සෙසු අය අවධානයෙන් පසුවිය යුතු බවය. පවතින නීතිය තුළ රැදෙමින් අනියම් සබඳතා වලින් වැළකී සිටීම සහ තමා පිළිබඳව ඥාතීන් පවුලේ හිතවතුන් දැනුම්වත් කර තිබීම අනතුරකින් ගැලවීමට මහඟු උපකාරයක් වන බවද පොලීසියි පවසයි.

නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කොට්ඨාස බාර පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක, සහකාර පොලිස් අධිකාරි රසල් සොයිසා මහත්වරුන්ගේ අධික්ෂණය මත ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විමල් ශාන්ත මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක රංජිත් වීරසූරිය, උප පොලිස් පරීක්ෂක කොස්තාපල් ශාන්ත 49579 යන අය විමර්ශන සිදුකළහ. කාන්තා උප පොලිස් පරීක්ෂක රාමනායක සහ පොලිස් සැරයන් බණ්ඩාර 27580 අධිකරණ කටයුතු මෙහෙය වූහ.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර