2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ලෝකය පුංචි ඡන්දය දුටු හැටි

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 478

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ නොමැකෙන සටහනක් තැබීමට 2018 පළාත් පාලන මැතිවරණය සමත්විය. ගමේ කුණු කන්දල් අස්කර ගැනීමට, ගමට පාරක් තනාගැනීමට, විදුලිය, වතුර ලබා ගැනීමට උදව් ගන්නට හැකි, කවුරුත් දන්නා ගමේ ඇත්තෙකු මැම්බර් හැටියට පත්කර ගන්නට සාමාන්‍යයෙන් පැවැත්වෙන (පුංචි ඡන්දය) මෙවර නොසිතූ විරූ ආන්දෝලනයක් ඇති කළේය. පුංචි ඡන්දය මහා ඡන්දයක් බවට පත්ව තිබුණි. ගමේ මැම්බර් පත්කිරීම කෙසේ වෙතත් රටේම නායකත්වය වෙනස්වන ආණ්ඩු පෙරළියක් ඇතිකළ හැකි ජනමත විචාරණයක් බවට එය වෙස් පෙරළී තිබුණි. එසේ මහා ඡන්දයක් බවට පත්වූ ශ්‍රී ලංකාවේ පුංචි ඡන්දය ගැන ලෝකයේම මාධ්‍ය ලොකුවට කතා කරන්නට වූයේ එහෙයිනි.

ප්‍රධාන පෙළේ වෙබ් අඩවි වන රොයිටර්, AFP, AP, Dailymail, NDTV, Al Jazeera, BBC ඇතුළු වෙබ් අඩවි ගණනාවක්ද The Hindu, Guardian, Hindusthan Times වැනි ඉන්දියානු පත්තරද The Newyork Times, Saudi Gazette, Singapore Times වැනි ලෝක ජනමාධ්‍යයන් රැසක්ද ලංකාවේ මැතිවරණය ගැන ප්‍රධාන තැනක් දී කතා කර තිබුණි.

AP සහ AFP පුවත් සේවාවන් කියා තිබුණේ හිටපු ප්‍රබල නායකයා වන මහින්ද රාජපක්ෂ පවතින රජය අවමානයට ලක්වන අන්දමේ ජයග්‍රහණයක් අත්කරගත් බවය. ඩේලිමේල් පුවත් වෙබ් අඩවියද පවතින ආණ්ඩුව බලාපොරොත්තුව සිටි ප්‍රතිඵලය නොසිතූ ලෙස වෙනස්ව ඇති බවත් මහින්ද හිතවාදී පක්ෂය ආණ්ඩුවේ සභාග පක්ෂ ලජ්ජාවට පත්කරන මට්ටමේ ඉහළ ජයග්‍රහණයක් ලබා ඇති බවත් කීවේය. පවතින ආණ්ඩුව පිළිබඳ ජනතා අප්‍රසාදය මේ ප්‍රතිඵලවලින් සනාථවන බව මාධ්‍ය කිහිපයකම පළවූ වාර්තාවලින් පුන පුනා ඉස්මතු කර තිබූ කාරණාවකි.

The Hindu වාර්තාව ගෙන ආවේ පුංචි ඡන්දයේ මහින්ද රාජපක්ෂ සහාය දුන් පක්ෂය කඳු නායයාමක් බඳු ජයක් ලබා ඇති බවය. 2016 දී මහින්ද රාජපක්ෂගේ සහාය ලද පක්ෂය ඇතිවීමත් සමඟ පුංචි මැතිවරණය සඳහා තුන්කොන් සටනක් ඇවිල ගියේ රටේ ප්‍රමුඛ නායකයන් අතර බව එය පෙන්වා දෙයි. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීල.නි.ප අතර මත ගැටුම් ඇවිල යාමත් සමඟ එම පක්ෂ වෙන්ව තරග කිරීමට පියවර ගැනීමත් සමඟ පුංචි ඡන්දය ජාතික මහා මැතිවරණයක් ලෙසට වෙස් පෙරුළී ගිය බව “හින්දු” පෙන්වා දේ.

අලුත් බහු ඡන්ද ක්‍රමය යටතේ තරගයට පිවිසුණු බැඳුම්කර වංචා ඇතුළු ආන්දෝලනයන්ට ලක්වූ රනිල් - සිරිසේන ආණ්ඩුව මහා අලකලංචියකට ලක්වන බවට “හින්දු බිස්නස් ලයින්” කලින්ම අනාවැකි කියා තිබුණි.

ඩේලිමිරර්, AP – AFP, රොයිටර් ඇතුළු මාධ්‍ය ගණනාවක් උලුප්පා දක්වා තිබුණේ (හිටපු ප්‍රබලයා හදිසි මහා මැතිවරණයක් ඉල්ලයි) යන පුවතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 230ක ජය තහවුරු කරගැනීමත් සමඟ BBC සමඟ කළ සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබූ කාරණාවකි මෙය.
(ජනතාව පැහැදිලි පණිවුඩයක් ලබා දී තිබෙනවා. දැන් ආණ්ඩුවට පවතින්න සදාචාරමය අයිතියක් නෑ. බලයකුත් නෑ. හරිනම් ඔවුන් ජනතා හඬට කන් දිය යුතුයි) ඩේලි මේල් ඇතුළු ජ්‍යාත්තන්තරය එලෙස උපුටා දක්වා තිබුණි. 
BBC සමඟ සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිවරයා තමන්ට පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් එය බාර නොගන්නා බව කීවේය. අස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යනවාට වඩා පාර්ලිමේන්තු මැතිවරණයකට යාම වඩාත් සුදුසු බවට ඔහු කියා තිබුණි. ජනතාව තමන් 2015 ජනවාරි සිදුකළ වැරැද්ද ගැන අද හරි මාර්ගයකට පැමිණ තීන්දුගෙන ඇතැයි ඔහු කී බව වාර්තා වී තිබුණි.

Indian Express දක්වා තිබූ විග්‍රහයට අනුව වත්මන් ජනාධිපතිවරයා බලයට ආවේ සුළු ජන ඡන්දවලින් බවත්, පුංචි ඡන්දයෙන් රාජපක්ෂ මහතා ලබා ඇති විජයග්‍රහණය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට ඉල්ලා අස්වී නැවත විපක්ෂයේ ඉඳගැනීමට බලකෙරෙන අන්දමේ පීඩනයක් එල්ල වී ඇති බවත් පැහැදිලි කර තිබුණි.

මේ අතර BBC වාර්තා කළේ සම්මුතිවාදී රජයකට ලබාගත් එකඟතාව පැවැතියේ වර්ෂ දෙකකට බවත් දැන් ඒ කාලය ඉකුත් වී ඇති බවත්, කියමින් පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයකු අගමැති ලෙස පත්කර නව රජයක් බිහිකරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානය ජනාධිපතිවරයා වෙතත් ඉල්ලීමක් කර ඇති බවය. ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා අගමැති ධුරයට පත් කෙරෙන කතාවක් ද ඇති බව වාර්තා විය.
ශ්‍රී ලංකාවේ පවතින ආණ්ඩුව පුංචි ඡන්දයෙන් අසාධ්‍ය අඩියකට වැටී ඇති බව කියන Al-jazeera විග්‍රහයකට අනුව ජනාධිපතිවරයා විසින් යූඇන්පියේ ආර්ථික මෙහෙයුම් ගැන කරන ලද විවේචන මෙන්ම සමහර යූ.ඇන්.පී. ඇමැතිවරු ජනපතිවරයාට එරෙහිව එල්ල කරන ලද විවේචන නිසා පක්ෂ දෙක අතර ඇති අසමගිය ගැන ජනතාවට ලැබුණු නොමග යවන සුළු අවබෝධය මේ මැතිවරණ ප්‍රතිඵලයට හේතු වූ බවයි.

2020 වනතුරු තමන්ට බලයේ සිටිය හැකි බවට අන්තිම මොහොත වනතුරු එජාප නායකත්වය කියා තිබුණත් කඩවුණු පොරොන්දු සහ දූෂණ වංචා හේතුකොට ඔවුන්ට සහාය නොදෙන බව ජයග්‍රාහී පක්ෂය කියා ඇති බව වාර්තා කර තිබේ. ඒ අනුව රට තුළ දේශපාලනික අස්ථාවර තත්ත්වයක් මතුව ඇති බව එහි වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

මැතිවරණ පරාජය ශ්‍රී ලංකා නායකත්වය පරීක්ෂාවට ලක්කරන අතර ඉදිරියේදී රට යන අත ගැන ඉඟියක් පළකර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පෙන්වා දෙයි. ජාතික රජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ජනමත විචාරණයක් බවට පුංචි ඡන්දය පත්ව ඇති බව කියන එම පුවත්පත, සන්ධාන ගත වූ පක්ෂ එකිනෙකාගේ ගෙල සිරකිරීමට තැත් දරමින් සිටියදී හදිසි ජනමත විචාරණයක් බඳු ප්‍රතිඵලයක් ලබාදුන් පුංචි ඡන්දය, යුද්ධයෙන් පසුව බිහිවූ රජය එකතැන පල්වූ අක්‍රිය රජයක් බවට තීන්දු කර ඇතැයි පෙන්වා දෙයි.

රෝසි සේනානායක මහත්මිය කොළඹ පුරපතිනිය බවට පත්වීමත් සමග කාන්තා නියෝජනයට ඉඩ සැලසීම හා එහි බලපෑම ගැනද කතා කරන්නට The Newyork Times අමතක නොකළේය. “පළාත් පාලන ඡන්ද පරාජය: ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් නිකුත් කරයි” ලෙස එහි ශීර්ෂ පාඨයේ දක්වා තිබුණි. රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ මැතිවරණ අපේක්ෂකත්වය සඳහා සියයට 25ක කාන්තා නියෝජනයක් අවශ්‍ය බව තහවුරු කර ඇති බව කියන එය මේ නියෝජනයේ බලපෑම ඉක්මණින්ම දක්නට නොහැකි වුවත් කාන්තාවන් වැඩියෙන් ජයග්‍රහණය කර ඇති බව කියයි. කොළඹ ප්‍රධාන නගරයට එහි ප්‍රථම නගරාධිපතිනිය හැටියට රෝසි සේනානායක ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් පත්වීම නිදසුනක් ලෙස දක්වා තිබේ.

ඒ අතර ලැබූ මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ පාලක සන්ධානගත පක්ෂ දෙකම 2019 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂය බලයට පැමිණීම වැළැක්වීම සඳහා මීළඟට ගතයුතු පියවර තීන්දු කිරීම සඳහා බලවත් අරගලයක යෙදී සිටින බව කියා තිබුණි. සන්ධානයට අයත් පක්ෂ දෙකම පැහැදිලිව තේරුම්ගෙන ඇති කාරණයක් වන්නේ ඔවුන්ට නැවත හැරවිය නොහැකි ජන රැල්ලකට මුහුණදීමට සිදුව ඇති බවය. මේ මැතිවරණ ප්‍රතිඵල පසුගාමී වුවත් ශ්‍රී ලංකාවේ බහුතරය තවමත් රාජපක්ෂ විරෝධී බව පෙනී යන්නේ යැයි රාජිත සේනාරත්න ඇමැතිවරයා කළ ප්‍රකාශයද ඇතැම් මාධ්‍ය උපුටා ගෙන තිබුණි. ප්‍රතිඵලවලට අනුව පෙනී යන්නේ 2015 දී සන්ධාන ගතවූ පක්ෂ ලැබූ සමස්ථ ඡන්ද එකතුව තවමත් රාජපක්ෂ සහය ලද පක්ෂය ලද ඡන්දවලට වඩා වැඩි බව යැයි ඔහු කියා තිබුණි.
“ලංකාවේ මහා ජයග්‍රහණයෙන් පසු රාජපක්ෂ හදිසි මහා මැතිවරණයක් ඉල්ලයි” යනුවෙන් මුම්බායි හි පලවන ඩේලිනිවුස් පුවත්පතේ පළවූ වාර්තාව උපුටා දක්වා ඇත්තේ “රටේ ජනතාව රට බෙදීමට එරෙහිව ඡන්දය” භාවිත කර ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා දැක්වූ අදහසය. මෙම පුංචි ඡන්දයේ ප්‍රතිඵලය ජනමත විචාරණ ප්‍රතිඵලයක් ලෙස සලකා පවතින රජය මහ මැතිවරණයක් කරා යා යුතු බව එහි කියා තිබේ. පවතින ආණ්ඩුවට තවදුරටත් ජනබලයක් නැති බවත් එම සන්ධාන රජයේ ප්‍රතිපත්ති ජනතාව පිළිගෙන නැති බවත් මෙම පුංචි ඡන්ද ප්‍රතිඵලය මගින් තහවුරු වී ඇති බව එය පෙන්වා දෙයි.

“ඉන්ඩියන් එක්ස්ප්‍රස්” පුවත්පතද “මහා ජයග්‍රහණයෙන් පසු රාජපක්ෂ හදිසි මැතිවරණයක් ඉල්ලයි” යනුවෙන් මේ තත්ත්වය වාර්තාකර තිබුණි. රජය දැන් පාර්ලිමේන්තුව විසුරැවා හැර මහා මැතිවරණයකට පැමිණිය යුතු බවට පොදුජන එක්සත් පෙරමුණ කාර්යාලයේදී පලකළ අදහස් එහි දක්වා තිබේ. මහා මැතිවරණයක් ව්‍යවස්ථාවට අනුව 2020 වනතුරු පැවැත්විය නොහැකි වුවද තුනෙන් දෙකක බලය ලබා ගනිමින් එබඳු තීන්දුවක් පාර්ලිමේන්තුවට ගත හැකි අතර එවැනි වෙනසකට තමන්ද සහාය දෙන බවට හිටපු ජනාධිපතිවරයා පවසා ඇති අදහස් මෙහිදී උපුටා ගෙන තිබුණි.

මේ සමගම මංගල සමරවීර ඇමැතිවරයාගේ අදහසක්ද එහි උපුටා දක්වා තිබුණි. මෙම ඡන්ද ප්‍රතිඵල මගින් ජනතාව ලබා දී ඇත්තේ (රජය වැඩකළා මදි) කියන පණිවුඩය යැයි ඔහු කියා තිබුණි.

මේ අතර ලංකාවේ පුංචි ඡන්දයේ ප්‍රතිඵලය ගැන වෙනස්ම මතයක් ඉදිරිපත් කර තිබුණේ දමිළ හිතවාදී වෙබ් අඩවි මගිනි. ටැමිල් ගාර්ඩියන් ප්‍රමුඛ වෙබ් අඩවි හිටපු ජනාධිපතිවරයාගේ සහාය ලත් පක්ෂයේ බලවත් වීමේ අනතුරක් දමිල ජනතාව ඇති බව වාර්තා කර තිබුණි. යහපාලන ආණ්ඩුව මේ මැතිවරණය පරාජය වීම තුළින් පෙනී යන්නේ සිංහල ජනතාව එම රජය ප්‍රතික්ෂේප කර ඇති බව යැයි එම වෙබ් අඩවි පෙන්වා දෙයි. මේ නිසා ‍ෆෙඩරල් විසඳුමක් ලබා ගැනීමේ තම අරමුණ ඉටු නොවෙනු ඇතැයි එයින් අනතුරු අඟවා තිබේ. පවතින ආණ්ඩුවට දෙමළ ජාතික සන්ධානය ආධාර කළද ඔවුන් සිය අපේක්ෂා ඉටු කිරීමට අපොහොසත්ව ඇතැයි එම අඩවිය පෙන්වා දෙයි. සිංහල ජනතාව මේ ඡන්දය මගින් නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කර ඇති බවද එම වෙබ් අඩවි පෙන්වා දී තිබේ.

♦ සුගත් පී. කුලතුංගආරච්චි