2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ඡන්දයෙන් කණපිට පෙරළුණු පල්වෙන ආර්ථිකය

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක අභිබවා බලය පෙන්වීමට තුන්වැනි පාර්ශ්වයක් සමත් වී තිබේ. මෙය බොහෝ විට පාලක පක්ෂ බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් විය. එසේම ආණ්ඩුවේ ක්‍රියාකාරකම් පොදු ජනතාව එකහෙලා ප්‍රතික්ෂේප කළ බවට මෙම ප්‍රතිඵල තුළින් පණිවුඩයක් නිකුත් කර ඇති බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි. ආණ්ඩුවක පාලනය කෙරෙහි ජනතාව කලකිරුණු විට ඔවුන් නිදහස් ඡන්දයේ බලය පෙන්වා එය පෙරළීමට කටයුතු කිරීම අපේ රටේ විටින් විට පෙනෙන්නට තිබුණි. එහෙත් මෙය පළාත් පාලන මැතිවරණයක් නිසා මෙමගින් ආණ්ඩු පෙරළියක් සිදුනොවන බව සත්‍යයකි. ආණ්ඩුවේ ක්‍රියාකාරකම්වලට විරෝධය පෑමට ජනතාව මෙම අවස්ථාව යොදාගෙන තිබුණු බව දක්නට ලැබේ.

ජනතාව විරෝධය දැක්වූයේ ආණ්ඩුවේ කුමන ක්‍රියාකාරකම්වලටද යන්න සොයා බැලිය යුතුය. යහපාලනයක් ඇති කිරීම නිර්වචනය කරගෙන බලයට පත් ප්‍රධාන පක්ෂ දෙකේ එකතුවක් වන ආණ්ඩුව රටේ යහපාලනයක් ඇති කිරීමට කටයුතු කළාද යන්න ගැටලු සහගතය. ඔවුන්ගේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්තිවලට පොදු ජනතාව සතුටු කිරීමට නොහැකි වූයේ ඇයිද යන්න සොයාබලා දැන්වත් එම වැරදි සකස් කරගෙන ඉදිරියට ගමන් කිරීම එම පක්ෂවලට වඩා සමස්තයක් වශයෙන් මුළු රටටම වැදගත් බව කිව යුතුය.

මැදහත් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ යහපාලන රජයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ආණ්ඩුව පිහිටවූ දා සිටම පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය දක්වාම ජනතාව කලකිරී සිටි බවය. තම කලකිරීම ප්‍රකාශ කිරීමට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන තුරැ ප්‍රමාද නොවූ ජනතාව ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. ජනතාවට අවශ්‍යව තිබුණේ මහා පරිමාණ ආර්ථික ප්‍රතිසංස්කරණ නොවේ. ඔවුන්ට ඒ පිළිබඳ වැටහීමක් නැත. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වූයේ ඔවුන්ගේ එදිනෙදා ගැටලුවලට විසඳුම්ය. එහෙත් ඒවාට පිළියම් යෙදීමට රජය අපොහොසත් වූ බව මෙම ඡන්ද ප්‍රතිඵලවලින් ප්‍රකාශ වෙයි.

මේ තත්ත්වය පිළිබඳ විග්‍රහයක යෙදෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන්නේ රටේ ආර්ථික ප්‍රගතියේ පැවැති මන්දගාමී බවට ජනතාව මෙම මැතිවරණයේ දී අප්‍රසාදය ප්‍රකාශ කර තිබෙන බවය. රටේ ආර්ථිකය පසුගිය සමයේ එකතැන පල්වන ස්වරෑපයක් දක්නට ලැබුණු අතර ජනතාව බලාපොරොත්තු වූ තරම් ඉදිරියට ගොස් නොමැත.

යහපාලනය තුළින් ආර්ථිකය නඟාසිටුවන්නේ කෙසේද යන්න ගැන ආණ්ඩුව කල්පනා කළ යුතුව තිබිණ. යහපාලන සංකල්පය තුළින් ජාතික ආණ්ඩුව පවත්වාගෙන ගියද එමගින් සිදුවිය යුතු ප්‍රායෝගික ආර්ථික ප්‍රතිසංස්කරණ, ප්‍රතිපත්තිමය හා නීතිමය වෙනස්කම් සිදුවූයේ නැත. රටේ අපනයන ප්‍රවර්ධනයට, අයවැය කළමනාකරණයට, ආයෝජන ඉහළ දැමීමට රජය කටයුතු නොකළ බව සත්‍යයක් වුවද, රටේ පොදු ජනතාව එවැනි ගැටලු පිළිබඳ උනන්දුවක් දැක්වූහ. එහෙත් ජනතාවගේ මුල්බැසගත් ප්‍රශ්නවලට ආණ්ඩුව විසඳුම් ඉදිරිපත් නොකිරීම මෙම ප්‍රතිඵලය ලැබෙන්නට බොහෝදුරට හේතුවන්නට ඇති බව මහාචාර්යවරයා කියයි. එහෙත් ඒ සියල්ල ආර්ථික ගැටලු නොවේ.

රජය ලොකු ලොකු දේවල් කතා කළාට කරන්න තිබුණු දේවල් කළේ නැහැ ඔහු අවධාරණය කරයි. මෙම මැතිවරණ ප්‍රතිඵලවලින් විශාල වෙනසක් නොවුණත් රටේ ජනතා කලකිරීම එතුළින් විද්‍යාමාන වෙයි. පසුගිය වසර තුන තුළ පොදු ජනතාවට බලපාන විශාල වෙනසක් රට තුළ සිදුව නැත. 

යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීමෙන් ජනතාව ලොකු වෙනසක් වේ යැයි බලාපොරොත්තු වුවද එය සිදුනොවීය. ආරම්භය සිදුවූයේ ද හානිදායක ලෙසටය. ආරම්භ වී තිබුණු ආයෝජන ව්‍යාපෘති නැවතුණු අතර, පැවතුණු කළමනාකරණ ක්‍රමවේදයට පටහැනි ලෙස පියවර ගැනීම සිදුවිය.

ඔහු පවසන්නේ යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේද ඉහළ ආර්ථික සංවර්ධනයක් පිළිබඳ පුළුල් වැඩපිළිවෙළකින් තොරවබවය. හදිසියේ බලයට පැමිණීමට උත්සාහ කළා මිස සැලසුම් සකස් කිරීමට හා ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නොතිබිණි. ඒ නිසාම ගතවූ වසර තුන තුළම සූදානමක් හැරුණු විට ක්‍රියාත්මක කිරීමක් සිදුකළේ නැත. පසුගිය රජයේ ආර්ථික ව්‍යාපෘතිවල පවා යම් වරදක් තිබේ නම් ඒවා සකස් කර ක්‍රියාත්මක කළ යුතුව තිබියදී රජය එය කළේ නැත. මුල සිට ආරම්භ කිරීමක් හෝ ආරම්භ කර තිබූ ඒවා අවසන් කිරීමක් හෝ සිදුනොවීය.

එහෙත් සාමාන්‍ය ජනතාව ආණ්ඩුවට එරෙහි වූයේ මෙම ආර්ථික ප්‍රතිපත්ති, ආර්ථික නීති, ආයෝජන සැලසුම්, මහා පරිමාණ ව්‍යාපෘති පදනම් කරගෙන නොවේ. ආණ්ඩුව කියන ආර්ථික වර්ධනය වේගවත් වීම, අපනයන වර්ධනය, ආයෝජන ඉහළ යාම සාමාන්‍ය ජනතාවගේ ඇඟට දැනුණේ නැත. පසුකාලීනව ඒවායේ ප්‍රතිඵල ලැබෙන බව සත්‍යයය. එහෙත් ජනතාවට අවශ්‍ය තම කෙටිකාලීන ආර්ථික ගැටලුවලට විසඳුම්ය. ආර්ථික ප්‍රබෝධයක් ජනතාවට නොලැබුණි. ඔවුන්ගේ එදිනෙදා ප්‍රශ්න සංකීර්ණ වූ බවක් ඔවුන්ට දැනෙන්නට වූ අතර සෞභාග්‍යය වෙනුවට අභාග්‍යය අත්විඳින්නට සිදුවිය.

බලාපොරොත්තු වූ වෙනසක් සිදුනොවීම ගැන ජනතාව ආණ්ඩුව සමඟ කලකිරීමෙන් පසු වූ බවක් දක්නට ලැබුණි. පසුගිය ආණ්ඩුවට එරෙහි වූ ඔවුන් යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට කටයුතු කළේ මෙවැනිම හේතු නිසාය. 2005 වසරේ සිට 2015 දක්වා අවුරුදු 10 තුළම රටේ ආර්ථිකය පිරිහෙමින් පැවති අතර, එයට මහා පරිමාණ වංචා දූෂණ හා අකාර්යක්ෂමතාව ආදිය බලපෑවේය. එම ආණ්ඩුව ඉවත් කිරීමට ජනතාව ගත් පියවරවලින් යම් පාඩමක් ඉගෙන ගැනීමට වර්තමාන පාලකයන්ට හැකිවිය යුතුව තිබුණි. එහෙත් ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම අද අත්විඳින්නට වූ අභාග්‍ය ප්‍රතිඵලවලට හේතු විය.

එලෙස වැදගත් දෙයක් සිදුනොවූවද, 2015 දී බලයට පත්ව යම් ආර්ථික සැලසුමකට අවතීර්ණ වූවා නම් මේ වන විට ජනතාවට යම් පමණකට හෝ ප්‍රතිඵල ලැබිය යුතුමය. එහෙත් එය සිදුවූයේ නැත. මේ දුර්වලතාව ගැන අවධානය යොමුකර දැන් හෝ යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ නම් ඉදිරියේ දී යහපත් ප්‍රතිඵල උදාකරගත හැකිය. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පාඩමකට ගෙන ඒ දුර්වලතා සකස් කරගෙන මඳක් දුරකට හෝ ගමන් කිරීමට හැකි වේ. එම ආර්ථික පියවරවලින් ජනතා ප්‍රශ්නවලට ක්ෂණික විසඳුමක් නොලැබුණද රටේ ආර්ථික සංවර්ධනයට එය මහෝපකාරී වෙනවා ඇත. ඉදිරියේ දී බලයට පත්වන ඕනෑම ආණ්ඩුවකට අද මැතිවරණ ප්‍රතිඵලවලින් පාඩමක් ඉගෙන ගත හැකි බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
පසුගිය ආණ්ඩුව සමයේ ඇතැම් සංවර්ධන ව්‍යාපෘතිවල යම් පමණකට හෝ ප්‍රගතියක් පෙන්නුම් කළ බව සත්‍යයකි. එහෙත් නව ආණ්ඩුවෙන් පසුව ඒවා ඇණහිටි බවක් දක්නට ලැබුණි. එයට හේතු තිබෙන්නට පුළුවන. එහෙත් වැරදි නිවැරදි කර ඉදිරියට ගෙන ආ යුතුව තිබුණි. වංචා දූෂණ නිසා නැවැත්වූ බව පැවසුවද මෙම ආණ්ඩුවෙන් ද ඒවා අවම වූයේ නැත. සිදුවූයේ එයට වඩා වැඩිවීමය. සිදුවිය යුතු බොහෝ දේවල් සිදුනොවීම පිළිබඳ ජනතාව තුළ කලකිරීමක් තිබුණි. එම අපේක්ෂා භංගත්වය මෙම ප්‍රතිඵල තුළින් දැකගත හැකි විය.

මෙම ප්‍රතිඵලවලට සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම බලපා තිබෙන බව ඇතැමුන් පැවසුවත් මා හට එය පිළිගත නොහැකිය. එයට හේතුව භාණ්ඩවල මිල වැඩිවීමක් එතරම් දුරට සිදුවූයේ නැතිවීමය. හාල්, පොල්, එළවළු ආදියේ මිල යම් පමණකට වැඩිවුවද ඒවා පාලනය කර තිබුණි. ඕනෑම කාලවලදී මෙවැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ පහළ යාම අපේ රටේ පැවතුණි. ජනතාව දැන් එයට පුරුදු වී ඇති සැටියකි. උද්ධමන වේගය ඉහළ ගියේ මහත් සංයමයකිනි. එහෙත් මෙතැනදී සිදුවූයේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යාම මන්දගාමී ස්වරෑපයෙන් සිදුවීමය. උද්ධමනය වැඩිනොවුණද ජනතාවගේ ආදායම අඩුවීම නිසා ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව පහළ වැටුණි. මේ නිසා ජනතාවගේ ජීවත් වීමේ ගැටලු පැනනැගිණ. රටේ බඩු මිල ඕනෑවට වඩා පහළ දැමීම ප්‍රායෝගිකව දුෂ්කර නමුදු ආදායම් මට්ටම ඉහළ නැංවීම අපහසු නොවේ. එලෙස සිදුවූවා නම් ජනතාවට ජීවන බර තදින් දැනෙන්නේ නැත. එහෙත් ආදායම අඩුව තිබියදී සුළු ප්‍රමාණයකින් හෝ බඩු මිල ඉහළ යාම ජනතාවට බලපායි. මෙවර එම තත්ත්වය තරමක් බලපැවැත්විණි. එහෙත් ආණ්ඩුවට එරෙහි වීමට තරම් එයම ප්‍රමාණවත් වූවා යැයි සිතිය නොහැකිය.

බොහෝ දේශපාලනඥයන් පවා ස්වකීය ශක්තිය මැනගැනීමට පළාත් පාලන මැතිවරණ පාදක කරගන්නා බව සත්‍යයකි. එහෙත් එමගින් නිවැරදි තත්ත්වය දෘශ්‍යමාන නොවන බව මගේ වැටහීමය. අපේ රටේ පළාත් පාලන ආයතන ලොව වෙනත් දියුණු රටවල තරම් ස්වාධීන නොවෙයි. අපේ ආයතනවලට අවශ්‍ය මුදල් වැඩි වශයෙන් ලැබෙන්නේ මධ්‍යම ආණ්ඩුවෙනි. එම ආයතනවල ක්‍රියාකාරීත්වය ඉතාම අවමය. සියල්ල සිදුවන්නේ මධ්‍යම ආණ්ඩුවේ මැදිහත් වීමෙනි. නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය වැනි ආයතන පළාත් පාලන ආයතනවල ඇතැම් බලතල පවරාගෙන තිබේ. ඒ නිසා මෙම ඡන්ද ප්‍රතිඵලය රජයේ මහා පරිමාණ ව්‍යාපෘතිවලට බලපෑමක් සිදුනොකරයි.

මේ ප්‍රතිඵලය හා රටේ ආර්ථිකය එකට ඈඳාගෙන කතා කළ හැකි නොවේ. එහෙත් සුළු වශයෙන් හෝ ජනතාවගේ ආර්ථික හා ජීවන ගැටලු මෙම ප්‍රතිඵලවලට බලනොපෑවා යැයි කිව නොහැකිය. ජනතාව පවතින ක්‍රමය පිළිබඳ කලකිරීමකින් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කර ඇති බවක් පෙනෙන අතර ඒ පිළිබඳ අවබෝධ කරගෙන නිවැරදි ගමන් මඟකට යොමුවීම වගකිව යුත්තන්ගේ වගකීම බව පෙන්වා දෙමි.

 යසවර්ධන රුද්රිගු

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00