2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

දුප්පත්කමට යටවෙන ශිෂ්‍යත්ව හපනාගේ ලොකු පාසල් හීනය

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 152

උපතින්ම දුප්පත්කම මිටමොලවා පැමිණි නිපුන් හර්ෂණ පසුගිය වර්ෂයේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු එකසිය අසූ තුනක් ගෙන පාසලටත් තම මව්පියන්ටත් කීර්තියක් ගෙනදුන් ආදරණීය පුතෙකි. ඉමදූව හොරදුගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ නිපුන්ගේ එකම අදිටන වූයේ පැවැති ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් ලෙස සමත් වී ගාල්ල නගරයේ පිහිටි උසස් පාසලකට යාමටය.

ඒ වෙනුවෙන් නිපුන් කුඩා කල සිටම මහන්සි වූ‍යේය.

පුතා... පුංචි කාලේ ඉඳන්ම ඉගෙනීමට දක්ෂයි. ඉස්කෝලෙදී කරන්න දෙන වැඩ එයා ගෙදර ඇවිත් හරිම ආසාවෙන් කළා. ඒවා කරන්න කියලා අපිට එයා පස්සෙන් ඉඳන් කියන්න ඕන වුණේ නෑ. එයා හැමවෙලේම කිව්වේ මට ගාල්ලේ තියෙන ලොකු ඉස්කෝලෙකට යන්න ඕන කියලයි. නිපුන්ගේ ආදරණීය පියා වූ නිරෝෂන් මහතා පැවසීය.

ඉමදූව හොරදුගොඩ ප්‍රදේශයේ පදිංචි නිරෝෂන්ට ස්ථිර ආදායම් මාර්ගයක් නොවීය. තම කුඩා පවුල නඩත්තු කිරිම වෙනුවෙන් ඔහු බොහෝ රුකියාවල නිරත විය. ඒ සෑම කුලී රුකියාවකදීම ලැබෙන සොච්චම් වැටුපෙන් ඔහු තම පවුල ගොඩනැඟුවේය.

පුතා... කවදාවත් අපිට කරදර කළේ නෑ. සමහරදාට එයාට ඉස්කෝලේ ගෙනියන්න පොත්පත් පවා තිබුණේ නෑ. ඇඳගෙන යන්න හරිහැටි ඇඳුමක්, සපත්තු දෙකක් තිබුණේ නෑ. ඒත්.. පොඩි වයසට එයා ළඟ ලොකු අධිෂ්ඨානයක් තිබුණා. ඒ කොහොම හරි ශිෂ්‍යත්වයෙන් ජය ගැනීමයි. ඒ වෙනුවෙන් කියලා අපිට එයා පස්සෙන් ඉඳගෙන අමතර පන්ති යවන්නවත් වත්කමක් තිබුණේ නෑ. ඉමදූව හොරදුගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් ඉගෙන ගත්තු දේ තමයි මේ...  නිරෝෂන් වැඩිදුරටත් පැවසීය.

ශිෂ්‍යත්ව විභාගය යනු බොහෝවිට මව්පියන්ගේ කඩඉම් විභාගයක් වේ. උදේ රැයින්ම අවදිවන මව්පියන් ඒ කාලයේ දී තම දරුවන්ව ඇදගෙන දිවයන්නේ අමතර පන්තිවලටය. ඒ විතරක් නොවේ, අමතර පන්ති අවසානයේ දී ගෙදරට එන ඔවුහු නැවතත් තම දරුවා ළඟින් හිඳවාගෙන නැවතත් ශිෂ්‍යත්වයට උගන්වති. සැබැවින්ම මෙය දරුවන්ට මානසික වදයකි. මෙවන් බොහෝ දරුවන්ගේ අවසන් ප්‍රතිඵලය වන්නේ ශිෂ්‍යත්වය අසමත් වීමය. නමුත් ඒ ප්‍රතිඵලය ලැබීමට මව්පියන්ගේ අනවශ්‍ය බලපෑම ද, දරුවාගේ මනසට දෙන පීඩනය ද හේතුවක් විය හැක.

නමුත් නිපුන් හර්ෂණ ඊට හාත්පසින්ම වෙනස් දරුවෙකි. පාසලෙන් ලැබූ දැනුමට අමතර දැනුමක් ඔහු අමතර පන්තියකින් ලැබුවේ නැත. නමුත් ඔහු තුළ හිතේ සවිය මෙන්ම ඉගෙනුමට උපන් හපන් කමක්ද තිබුණි. තම දරුවාට අකුරු ශාස්ත්‍රය කියාදෙන්නට තරම් උගත් දැනුමක් ඒ මව්පියන්ට නොතිබූ නමුත් ඔවුන් තුළ දරුවා කෙරෙහි විශ්වාසය තිබුණි.

පුතාට හොඳට ඉගෙන ගන්න පුළුවන් කියලා අපි දැනගෙන හිටියා. ඒක පාසලේ ගුරුවරු පවා කිව්වා. අපි ඉන්නෙත් කුලී ගෙයක. මම කළෙත් කුලී වැඩ. සමහරදාට කුලී වැඩක්වත් නැතිවෙන දවස් තිබුණා. ගමේ ඉඳන් ගොඩක් දුර ගියත් කුලී වැඩක් නැතිව ආයෙත් ගෙදර එන දවස් තිබුණා. ඒ හැමදෙයක්ම මගේ දරුවෝ දැක්කා. අපේ ගෙදරට ලයිට්වත් නෑ... පුතා ඉගෙන ගන්නේ කුප්පි ලාම්පුවෙන්... නිරෝෂන් පැවසීය.

ලෑලි ගෙයක ජීවත් වුණු නිපුන්ට හරිහමන් කෑමක් ද සමහර දිනවලදී නොලැබුණි. රාත්‍රියට පාඩම් කරද්දී බොහෝ දරුවන්ට මෙන් නිපුන්ට අමතර කෑමක් ද නොලැබුණි. ඇතැම් දිනවලදී නිපුන් තම කුස පුරවාගත්තේ තම මව සාදාදෙන කහට උගුරෙනි. නමුත් මොකක්දෝ පන්නරයක් මේ පුංචි සිතට ලැබුණි.

නිපුන් පාසල් වැඩවලට හපනෙක් මෙන්ම හොඳ කඩිසර දරුවෙක් ද විය. තම කුඩා සහෝදරයා සමඟ ඔහු හිතේ හැටියට සෙල්ලම් ද කළේය. ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙද්දී බොහෝ දරුවන්ට සෙල්ලම තහනම් වෙද්දී නිපුන් ගමේ ගහකොළ අතරේ දුව පැන නැටුවේය.

පුතා... ශිෂ්‍යත්ව විභාගයට කියලා සෙල්ලම් කරන එක නතර කළෙත් නෑ. එයා මල්ලිත් එක්ක තමයි වැඩිපුර සෙල්ලම් කළේ. මගේ දෙවැනි පුතාත් මුලින්ම ඉගෙන ගත්තේ හොරදුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ. නමුත් ආර්ථික අපහසුතා එන්න එන්නම වැඩිවෙද්දී අපි එයාව අස්කරලා මගේ නෝනගේ මහගෙදර ළඟ තියෙන ඉස්කෝලෙට දැම්මා.. එයාටත් හොඳට ඉගෙන ගන්න පුළුවන්

ආර්ථික අපහසුතා කොයි තරම් තිබුණ ද නිපුන් අවාසනයේ දී තම කඩඉම් විභාගය ලියුවේය.

ශිෂ්‍යත්ව විභාගය ලියලා ඉවරවෙලා ගෙදර ඇවිත් එයා මටයි එයාගේ අම්මටයි කිව්වා විභාගය හරි ලේසියි, දැන් මට ලොකු ඉස්කෝලෙකට යන්න පුළුවන් නේද කියලා... තම පුතුගේ ඉල්ලීමෙන් පියා තවත් අසරණ විය.

ආර්ථික අපහසුතා අහස උසට තිබුණද, හරිහමන් රස්සාවක් නොතිබුණද, නිරෝෂන්ට තම පුතුගේ ඉල්ලීම ඉවත දමන්නට නොහැකි විය. ඒ දරු සෙනෙහස නිසාවෙනි. නිපුන් හර්ෂණ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් විය. ඔහුට ශිෂ්‍යත්වයට ලකුණු එකසිය අසූ තුනකි. ගාල්ල නගරයේ ඉතා උසස් පාසලකට යාමට ඔහුට වාසනාව ලැබුණි. නමුත් සියල්ල එසේ වෙද්දී දරිද්‍රතාවය පුංචි නිපුන්ගේ ජීවිතේ සතුට උදුරාගන්නට වෙර දැරුවේය. පුංචි නිපුන්ගේ හීනය විසුරැවාලන්නට දුප්පත්කම හරස් විය.
පුතා විභාගයේ ප්‍රතිඵල ආපු දවසෙ ගෙදර ආවේ දුවගෙන හරිම සතුටින්. එයා මගෙයි අම්මගෙයි හීනය හැබෑ කළා. ඒත්... පුතාගේ හීනය අපි හැබෑ කරන්නේ කොහොමද... පුතාට ගාල්ලේ උසස් පාසලකට ඇතුළත් වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒත්... එයා වෙනුවෙන් අපිට වියදම් කරන්න සල්ලි නැහැ. අඩුම තරමේ අපිට ජීවත් වෙන්න සමෘද්ධියවත් නෑ. මේ ගමේ හොඳට ජීවත්වෙන සමහරැන්ට සමෘද්ධිය තියෙද්දී අපිට ඒක නැතිවුණේ අපේ දුප්පත්කම නිසාද..?* නිරෝෂන් පසුවන්නේ කනස්සල්ලෙනි.

කෙසේ වුවද නිරෝෂන් තම උත්සාහය අතහැරියේ ද නැත. පුංචි නිපුන් ද අගහිඟකම් කොතරම් තිබුණද, තම උත්සාහය අතහැරියේ නැත. නිරෝෂන් ද අද පුතු වෙනුවෙන් දැඩි උත්සාහයක නිරත වේ. ඔහු තම පුතුට ගාල්ල නගරයේ උසස් පාසලකට යාමට තම ගම්වාසීන්ගෙන් මුදල් එකතු කළේය. නිපුන් ගැන, නිරෝෂන් ගැන දන්නා ගම්වාසීහු ඔහුට උදව් කළහ. නමුත් වසර ගණනාවක් මෙලෙස ගම්වාසීන් ලබාදෙන මුදල් එකතුකොට නිපුන්ට ඉගෙන ගත හැකිද?

හැමදාම මට ගමේ මිනිසුන්ට කරදර කරන්න බැහැ. මට හරිහමන් රස්සාවක් තිබුණා නම්... ඒක කොයිතරම් දෙයක්ද..? කොහොම හරි මට මගේ පුතාව විශ්වාසයි. ඉදිරි අධ්‍යාපනයත් එයා ඉතා හොඳින් කරගනීවි. අනේ.. ඒකට අපිට උදව් කරන්න. මගේ පුතා ඉස්කෝලෙකට දාලා උගන්වන්න අපිට උදව් කරන්න. ඒක ලොකු පිනක්.. අවසානයේ දී නිරෝෂන් ඉල්ලීමක් ද කළේය.

මම ආසයි ගාල්ල ටවුන් එකේ තියෙන ලොකු ඉස්කෝලෙන් ඉගෙන ගන්න. මම ශිෂ්‍යත්වයෙන් හොඳට පාස්වුණා. අනේ මට උදව් කරන්න... නිපුන්ගේද ඉල්ලීම එයයි.

පුංචි නිපුන් බලාගෙන සිටී. ඒ හීනය සැබෑකරන්න නිපුන්ගේ පුංචි ලෝකය දිනවන්නට ඔබටත් හැකි නම්.. ඒ පුංචි ලෝකය දවසක සැබෑවට සතුටු වේවි.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00