2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ක්‍යුට‍ෙක්ස් නිසා ඡන්දය අහිමි වෙන්න ගිය කථිකාචාර්යවරිය

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 225

පළාත් පාලන මැතිවරණය පසුගිය දහවැනිදා නිමාවට පත්වුවද එහි උණුසුම තවමත් පහව ගොස් නොමැත. වසර හතක් පමණ විදෙස් රැකියාවක නියතුව සිට නැවත පැමිණි මහනුවර ප්‍රදේශයේ පුද්ගලයකුගේ ඡන්ද පත්‍රිකාවෙහි “අදාළ ඡන්දහිමියා මියගොස් ඇත යනුවෙන් සඳහන්ව තිබූ අතර මෙරට මැතිවරණ ඉතිහාසයේ ඡන්දදායකයකු කිසිදාක මුහුණ නොදුන් ආකාරයේ තවත් අපූරු සිදුවීමක් අපට අසන්නට ලැබුණේ වාද්දුව ප්‍රදේශයෙනි.

සිද්ධිය සැකවින් මෙසේය.

පසුගිය දහවැනිදා වාද්දුව ප්‍රදේශයේ පදිංචි රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් සිය මැතිවරණ පත්‍රිකාව සහ ජාතික හැඳුනුම්පතද රැගෙන සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුනේත්‍රාරාම විහාරස්ථානයට ගියාය. එහි ඡන්ද රාජකාරියෙහි නියැලී සිටි නිලධාරියකු ඇයට සිය ඡන්දය භාවිත කිරීමට ඉඩ ලබානොදුන්නේ ඇයගේ දෑතෙහි නියපොතුවල නිය ආලේපන ගල්වා ඇති බැවින් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සුළඟිල්ලේ තීන්ත ආලේප කිරීමට නොහැකි බව පවසමිනි.

අදාළ සිදුවීමෙන් පසුව ඇය සිය නිවෙස වෙත ගොස් ඇය මුහුණ පෑ මෙම සිදුවීම සිය මුහුණු පොතෙහි සටහන් කර තිබූ අතර ඉන් මඳ වේලාවකට පසුව ඇයගේ එම මුහුණු පොතෙහි දමා තිබූ සටහනට පිළිතුරැ සපයා තිබූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එවැනි නීතියක් නොමැති බවත් පස්වරු හතරට පෙර ගොස් ඡන්දය ලබාදෙන ලෙසටත් පවසා සිටියේය. එම අවස්ථාවේදී ද යම් ගැටලුවක් පැන නැගුණහොත් තමාව අමතන ලෙසටද සිය දුරකථන අංකයද ලබාදෙමින් ඇයට ප්‍රතිචාර දක්වා තිබිණි.

එම උපදෙස් සැලකිල්ලට ගත් කුමුදු කොප්පියාවත්තගේ නම් කථිකාචාර්යවරිය නැවත වරක් තමාට ඡන්දය හිමි ඡන්ද පොළට ගිය අතර එහිදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවහිරයක් නොතිබිණි. 

පසුගිය 10 වැනිදා සිය ඡන්දය භාවිත කිරීමට ඡන්ද පොළට ගොස් එහිදී වූ සිදුවීම ගැන ඇය තමන්ගේ මුහුණු පොතෙහි මෙලෙසින් සටහන් කර තිබිණි.

නියපොතුවල ක්‍යුටෙක්ස් ගා ඇති නිසා ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බව දන්වා හරවා එවන ලදී... එහෙමත් නීතියක් තිබේද?

සුනේත්‍රරාම විහාරස්ථානය
මහ මැස්ටිය
වාද්දුව

ඇය මෙම සටහන සිය මුහුණු පොතෙහි සටහන්කර ටික වේලාවකින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇයගේ එම සටහනට පිළිතුරැ ලබාදී තිබුණේ මෙලෙසිනි.

එහෙම නීතියක් නැහැ. හැකිනම් ඡන්දපොළට ගොස් (4ට පෙර) මට කතා කරන්න 0777464911

මෙවැනි අවස්ථාවලදී ඡන්දදායකයන්ට හිමිවන නීතිමය තත්ත්වය පිළිබඳව අතිරේක මැතිවරණ කොමසාරිස් (නීතිය හා සාමය) එම්.එම්. මොහොමඩ් මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

ඡන්ද පත්‍රිකා බාර දීමට නොහැකි ඡන්දදායකයන් කවුද කියලා පනතේ කියලා තියනවා. පිළිගත් හැඳුනුම්පතක් නොමැතිව තමන්ගේ අනන්‍යතාවය පැහැදිලි කරන්න බැරි කෙනෙක්ට ඒවගේම තමන්ගේ වම් අතේ සුළගිල්ල පරීක්ෂා කරන්න නොදෙන කෙනෙක්ට, නොමැකිය හැකි තීන්තවලින් තමන්ගේ ඇඟිල්ල පාට කරන්න දෙන්නේ නැති කෙනෙක්ට, ඡන්දය ලබාදීමක් කරන්න බැහැ කියලා කියනවා. එහෙම නැතුව ඡන්ද මධ්‍යස්ථානවලට නිය ආලේපන ගල්වා ආවා කියලා යම්කිසි කාන්තාවකට ඡන්දය දාන්න බැහැ කියලා නීතියක් නැහැ. නමුත් එම ඡන්ද මධ්‍යස්ථානයේ සිටින ප්‍රධානියාට යම්කිසි සැකයක් ඇතිවුවහොත් අදාළ ඡන්දදායකයා හෝ ඡන්දය භාවිත කරලා ඇවිල්ලා නැවතත් ඡන්දය දානවා කියලා ඔහුට බලයක් තියනවා අදාළ පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබාගන්න ඒක මැතිවරණ පනතෙත් තියනවා.

ඒ ඔහු කළ සඳහන් කිරීමයි. ඒ අනුව පැහැදිලි වන්නේ ක්‍යුටෙක්ස් ගැල්වීම ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් නොවන බවයි. ඡන්ද මධ්‍යස්ථානවල නිල රාජකාරි සඳහා පත්වන මුලින් සඳහන් කළ ආකාරයේ නිලධාරීන් ගැන අවසානයේ ඉතුරුවන්නේ අප්‍රසාදයක් හා කනගාටුවකි.

 හසිත් අංජන

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00