2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

දෙයියන්ගෙ තෑග්ග

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

දෙවියන් වහන්සේ මිනිසාව මැව්වට පස්සේ පොළොවට එවන්නේ ලොකු වායු බැලුන් එකක නග්ගලයි. මනුස්සයාව මවපු දෙවියන් වහන්නේ මනුස්සයාට පොළොවට ගියාට පස්සෙ දුකක් කරදරයක් නැතිව හොඳින් ජීවත්වෙන්න කියලා තෑගිබෝග බොහෝමයකුත් තිළිණ කළා. ඉතින් මේ තෑගි කන්දරාවත් පටවගෙන මනුස්සයා පොළොවට එන අතරෙදි, කලබලේ හින්දම බැලුන් එක පාලනය කරගන්න බැරැව ගිහින් ඒකෙ තිබුණු අර තෑගි සේරම හැලුණා. දයාව, කරුණාව, පරාර්ථකාමීත්වය, පරමායුෂ, සතුට වගේ ගොඩක් තෑගි ඒ විදිහට බිමට වැටුණා. හැබැයි එකම එක තෑග්ගක් ඉතුරු වුණා.

ඒ තමයි දෙවියෝ දීපු බලාපොරොත්තුව කියන තෑග්ග.

ඉතින් මනුස්සයා පොළොවට එන්නේ දෙවියෝ දීපු බලාපොරොත්තුව කියන තෑග්ග විතරක් අතේ තියාගෙනයි. ඒ විදිහට ලෝකෙට ඇවිත් අවුරුදු දස දහස් ගාණක් දැන් ගෙවිලා ගියත් එදා ඉඳන් අද වෙනකල් මිනිස්සු ජීවත් වෙන්නෙ බලාපොරොත්තුව හින්දයි. සතුට, දයාව, කරුණාව වගේ ගොඩක් දේවල් මිනිස්සුන්ට නැතිවෙලා තිබ්බත් මිනිස්සුන්ට බලාපොරොත්තුව නැති වුණේ නෑ.

මේක පුංචි ළමා කතාවක්. හරි ලස්සනට රූප ඇඳලා තිබුණු මේ කතාව කොහේදි හරි කියෙව්වා හොඳට මතකයි. සමහර විට මේ කතාවේ මීට වඩා කෑලි තියෙනවා වෙන්නත් පුළුවන්. ඒත් සරලව ගත්තොත් කතාව ඕකයි.

පොඩ්ඩක් තම තමන් දිහා හැරිලා බලන්න. අපි හැමකෙනෙක්ම ජීවත් වෙන්නේ බලාපොරොත්තු හින්දයි. මේ බලාපොරොත්තුවලට අපි හීන කියලත් කියනවා. මේ බලාපොරොත්තු හීන නැත්නම් මිනිස්සුන්ට ජීවත් වෙන්න, සාර්ථක වෙන්න අරමුණක් ලැබෙන්නෙ නැහැ.

අපි ඉපදුණු දා ඉඳන් කරන හැම ක්‍රියාකාරකමක්ම බලාපොරොත්තුව එක්ක බැඳිලා තියෙනවා. ජීවිතයේ සතුට, සාර්ථකත්වය බලාපොරොත්තුවෙන් තමා අපි මේ හැම දෙයක්ම කරන්නෙ. පොඩි එකෙක් ඉස්කෝලේ යෑමේ ඉඳන් තරුණයෙක් රස්සාවකට යෑමෙ ඉඳන් කෙල්ලෙක් කසාදයක් බැඳීමේ ඉඳන් හැම දෙයක්ම ලස්සන හෙට දවසක් ගැන තියෙන බලාපොරොත්තුවක ගැටගැහිච්ච තීරණ.

මේ මොහොතේ අපිට තියෙන්නෙ කොයි තරම් දුෂ්කර ජීවිතයක් වුණත්, කොයි තරම් අඟහිඟකම්වලින් පිරැණු ජීවිතයක් වුණත් අපි හැම වෙලාවෙම හිතන්නෙ අදට වඩා හෙට හොඳ වෙයි කියලයි.

ආදරේදි වුණත් එහෙමයි. මේ මොහොතේ අපේ ජීවිතේ ආදරේ අහිමිවෙලා තියෙන්න පුළුවන්. ආදරයක් ජීවිතේටම නොලැබිලා තියෙන්නත් පුළුවන්. ඒත් අපි කවදාවත් ආදරේ ගැන තියෙන විශ්වාසෙ අත්හැර ගන්නෙ නෑ. ලෝකෙට පේන්න ආදරේ ගැන මොන මොන පඬිවදන් දුන්නත් අපි ආදරේ දිහා බලන්නේ බලාපොරොත්තු පිරිච්ච මනසකින්. 

මොකක් හරි සිද්ධියක් වුණාම අපි සිය දිවි නසාගැනීම් ගැන ගොඩක් කතා කරනවා. සිය දිවි නසාගත්ත මිනිස්සු මැරුණෙ කොහොමද? මැරෙන්න හේතුව මොකක්ද වගේ ගොඩක් දේවල් ගැන අපි හාරඅවුස්ස අවුස්සා බලනවා. ඒත් කෙනෙක් සිය දිවි නසාගන්න හේතුවෙන්නේ ඔය බලාපොරොත්තු අහිමිවීම කියන කාරණේ කියලා තේරුම් ගන්නෙ බොහොම ටික දෙනයි.

අපේ රට හරි අමුතු රටක්. සිය දිවි හානිකරගන්න උත්සාහ කරන කෙනාට ආදරෙන් ළං වෙනවා වෙනුවට අපේ රටේ නීතිය කරන්නෙ සිය දිවි නසාගන්න උත්සාහ කරලා වරදින කෙනාට දඩ ගහන එකයි. ඒත් සිය දිවි නසාගැනීම කියන්නෙම අපේක්ෂා භංගත්වය, එහෙමත් නැත්නම් තවදුරටත් ජීවිතය තුළ බලාපොරොත්තු නැතිකමයි. 

කෙනෙක් සිය දිවි නසාගන්න කලින් ඒ ගැන මොන යම් හෝ ඉඟියක් අවට ඉන්න අයට ලබාදෙන බව තමයි මනෝ විද්‍යාඥයෝ කියන්නෙ. ඉතින් අනිත් පුද්ගලයාගේ හැඟීම්වලට කන්දෙන්න පුළුවන් නම්, එහෙම සංවේදී වෙද්දි අනිත් කෙනාගේ ජීවිතය ඇතුළෙ බලාපොරොත්තුව කියන ජීවිතයට අත්‍යවශ්‍යම සාධකය ගිලිහිලා කියලා දැනුණොත් ළඟින් ඉන්න කෙනාට ලොකු වගකීමක් තියෙනවා. ඒ තමයි බලාපොරොත්තුව කෙනෙක් තුළ නැතිවුණත් ළඟින් ඉන්න කෙනෙක්ට එයාට බලාපොරොත්තුව ආපහු තෑගි කරන්න පුළුවන්. මම හිතන හැටියට දෙවියන් වහන්සේට වුවමනා කරන්නෙත් ඒකමයි. කෙනෙක් තුළ බලාපොරොත්තුව කියන දෙවියන්ගේ තිළිණය, දායාදය නැති වෙද්දි වෙන කෙනෙක්ට ඒක ආපහු තෑගි කරන්න පුළුවන් වෙන්න ඕනෙ. සමාජයක් විදිහට අපි යහපත් වෙන්නෙ එතකොටයි.

 ජා