2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

මෙන්න කනවා නම් ගෙදර හදපු ice cream

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 242

අයිස්ක්‍රීම් කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආස කරන ආහාරයක්. ඒත් ගෙදර හදන අයිස්ක්‍රීම්වල රස දැනුනට පස්සේ කවුරුවත් සාමාන්‍ය වෙළෙඳපොළේ තියෙන අයිස්ක්‍රීම් රස බලන්න යොමුවෙන්නෙ නැති එකත් කියන්න ඕනෙමයි. ඕෂනී ද සිල්වා ගෙනෙන Venice by Ocean කියන්නෙත් ඒ වගේ රසවත් නිවසේදීම හදන අයිස්ක්‍රීම් එකතුවක්. 

දේශීය වගේම පිටරටින් ගෙන්වන ඉස්තරම්ම අමුද්‍රව්‍ය යොදාගෙන තමයි මේ අයිස්ක්‍රීම් හදන්නේ. ඒ නිසාම ඒවායේ රසයත් ගොඩක් ඉස්තරම්.

මේ අයිස්ක්‍රීම් එකතුවේ වර්ග තුනක් තියෙනවා. ඒ තමයි Flavours, Special Flavours සහ Limited Edition Flavours. ඒ වර්ගය අනුව අයිස්ක්‍රීම්වල මිල ගණනුත් ලොකු පරතරයකින් වෙනස් වෙනවා. මේ අතරින් රස වර්ග කිහිපයක්ම අපි අත්හදා බැලුවා.  Coffee with Oreo කියන්නේ Special Flavours වර්ගයට අයත්වන අයිස්ක්‍රීම් එකක්. මේකේ ලීටරයක් රුපියල් 1600ක් තරම් වෙනවා. නිව් ඔරිලියන්ස් වලින් ගෙන්වපු කෝපි සහ කෝපි අයිස්ක්‍රීම් මේකට යොදාගෙන තියෙනවා. ඒ වගේම Oreos කුකීස් හැපෙන නිසාම අයිස්ක්‍රීම් එකේ හොඳ රිච් ගතියක් තියෙනවා.  දොඩම් සහ චොක්ලට් කියන්නේ එකිනෙකට වෙනස් රස දෙකක්. පොඩි කාලෙ ඉඳන්ම අපි එහෙමයි හිතාගෙන ඉන්නෙ. හැබැයි ඒ අදහස වෙනස් කරන විදිහේ අයිස්ක්‍රීම් එකක් තමයි Orange Chocolate අයිස්ක්‍රීම් එක.
Flavours වර්ගයේ අයිස්ක්‍රීම් එකක් වන Salted Caramel මෙතැන වැඩිම ඉල්ලුමක් තියෙන අයිස්ක්‍රීම් වර්ගයක්. වැනිලා පසුබිමක් එක්ක සෝල්ට් කැරමල් යොදාගෙන හදලා තියෙන මේකත් ඇත්තටම හොඳ සුසංයෝගයක් කියල හඳුන්වන්න පුළුවන්. 

වැනිලා අයිස්ක්‍රීම්වලට පීනට් බටර් සහ නටර් බටර් කුකීස් පදමට දාලා හදලා තියෙන New York Nutter Butter අයිස්ක්‍රීම් එක අයිති වෙන්නේ Limited Edition Flavours වර්ගයටයි. ඒ නිසා ඒකෙ ලීටරයක මිල රුපියල් 2000ක් වෙනවා. 

Bali Summer කියන්නෙත් ඒ වගේම ටිකක් මිලාධික අයිස්ක්‍රීම් වර්ගයක්. කොකනට් ක්‍රීම් සහ කොකනට් චිප්ස් එකතු කරලා හදන කොකනට් අයිස්ක්‍රීම් එකක් ලෙස එය හඳුන්වන්න පුළුවන්. ඒකෙදි සාමාන්‍ය කොකනට් චිප්ස් විතරක් නෙමේ අවශ්‍ය නම් චොක්ලට් ලේයර් එකක් දවටපු චොක්ලට් කොකනට් චිප්ස් දාපු අයිස්ක්‍රීම් එකක් තෝරගන්නත් පුළුවන්.

පුංචි දෙයක් තියෙනවා. මේ ඕනම අයිස්ක්‍රීම් එකක් රස බලන්න කලින් පැය 48කට පෙර ඇණවුමක් ලබාදෙන්න සිද්ධ වෙනවා. 

 නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත