2018 ජනවාරි 27 වන සෙනසුරාදා

උණවටුන අද්දර දිව්‍ය භවන විලා තව්තිසා

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 175

උණවටුන කියන්නේ ලෝකයේ ලස්සනම මුහුදු තීරයන් හතෙන් එකක්. අඩු වියදමින් සංචාරයේ යෙදෙන්නන්ට වගේම සුඛෝපභෝගී නිවාඩුවක් සොයා පැමිණෙන්නන්ටත් උණවටුන ගැලපෙන ගමනාන්තයක්. උණවටුන වෙරළ මායිමේ රූමස්සල කන්දට යාබදව පිහිටා තිබෙන විලා තව්තිසා හෝටලය ඇත්තෙන්ම මුහුදු වෙරළේ අසිරිය විඳින්න පැමිණෙන සංචාරකයන්ට දිව්‍ය භවනක් වගේ සුන්දර තැනක්. 

අක්කර 17ක් පුරා පැතිර පවතින හෝටල් භූමියට මහ මුහුදේ පුළුල් පරාසයක දසුන් වගේම උණවටුන වෙරළ තීරයේ විශාල ප්‍රදේශයක් දකින්න ලැබෙනවා. මේ හෝටලය සතුව සූපිරියර් හෙවන් මාදිලියේ කාමර 5ක් හෙවන් ඩිලක්ස් කාමර 11ක් හෙවන් ස්ටෑන්ඩර්ඩ් කාමර 6ක් සහ හෙවන් පෙන්ට් හවුස් මාදිලියේ කාමරයක් ඇතුළු කාමර 23ක් තිබෙනවා. මේ කාමර සියල්ලක්ම ඉතාමත් හොඳ ඉඩපහසුකම් සහිතව ඉදිරිපත් කර තිබෙනවා. 

මේ කාමර සියල්ලකම බැල්කනියට මුහු‍දෙ සුන්දර දර්ශනයක් දකින්න ලැබනවා. ඒ වගේම ඒ සියල්ලක්ම මිනි බාර්, පෞද්ගලික ජැකූසි තටාකයක් ඇතුළු අති නවීන පහසුකම්වලින් යුක්තයි. හෝටලය සතුව විශාල ප්‍රමාණයේ පිහිනුම් තටාක දෙකක් තිබීමත් විශේෂත්වයක්.

හෝටලයේ සිට මුහුදු වෙරළට ඇත්තේ අඩි සිය ගණනක දුරක් පමණයි. ඒ නිසා හිතෙන ඕනෑම මොහොතක වෙරළට ගොඩවැදී හුදෙකලාවේ හෝරා කිහිපයක් ගතකළ හැකියි. ඒ වගේම අසල පිහිටි ජන්ගල් බීච්හි නිර්මාණය කරන ලද හෝටලයේ ජල ක්‍රීඩා ස්ථානයත් සංචාරකයින්ගේ ඉහළ ආකර්ෂණයක් දිනාගෙන තිබෙනවා.

මීට අමතරව සංචාරකයන්ගේ ඉල්ලීම පරිදි විවිධ අත්දැකීම් ඔවුන් වෙත සමීප කරන්නත් හෝටල් කාර්ය මණ්ඩලය නිරතුරුව සූදානම්. විශේෂයෙන්ම මෙහි සිට බොහොම සුළු කාලයකින් මිරිස්ස වරායේ සිට තල්මසුන් සහ ඩොල්ෆින් නැරඹීමට යන්න පුළුවන්.

ඒ වගේම ඓතිහාසික ගාලු කොටුව, කොට්ටව රක්ෂිතය, කුළුබඩු සහ කුරුඳු වගාවන් ඒ වගේම ලෝකයේ මිල අධිකම තේ නිෂ්පාදනය කෙරෙන හිඳුනාගොඩ තේ වත්ත නැරඹීමට යාමටත් පුළුවන්. ඒ විතරක් නෙමේ කොග්ගල මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය, මඩොල්දූව, කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ ස්ථානය, අහංගම රිටි පන්නය, තංගල්ල හුම්මානය, යටගල හා රූමස්සල විහාර වගේ බොහෝ තැන් කරා යා හැකියි.

සනත් වීරසූරිය