2018 ජනවාරි 13 වන සෙනසුරාදා

පුංචි ඡන්දෙදි ලොකුවට කඩන නීති

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 166

පොලිස් මාධ්‍ය ප්‍රකාශක
ඡන්ද පැමිණිලි 96ක් නීති කැඩීම් 42ක්
නාමයෝජනා දීමෙන් පසු පැමිණිලි 511ක්

ලංකාවේ පැවැත්වූ සෑම මැතිවරණයකදීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීමේ ඉතිහාසයක් තිබේ. විශේෂයෙන් මේ තත්ත්වය ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට වඩා පළාත් පාලන ඡන්දයේදී වැඩිය. ඒ පවතින රජයේ බලය යටතේ ඡන්දය ක්‍රියාත්මක වීම නිසාය.  මෙවර පළාත් පාලන ඡන්දය පැවැත්වෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීමෙන් පසුවය. මේ නිසා මැතිවරණ නීති සම්බන්ධ බලතල තදින් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව තිබේ. එහෙත් එමගින් විවිධ නීති හා සීමා පැනවූවද ඒවාද උල්ලංඝනය කරමින් කටයුතු කරන්නට බොහෝ අපේක්ෂකයන් හා ජනතාව කටයුතු කරන බව පෙනෙන්නට තිබේ. මේ සටහන ගත වූ බ්‍රහස්පතින්දා (11)  තෙක් වාර්තා වූ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳවය.

පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත 2018 පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා බාර දීමෙන් පසුව ගතවූ කාලයේ ප්‍රචණ්ඩ ක්‍රියා අතුළු මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 500 ඉක්මවා තිබෙන බව පොලීසිය හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දත්ත පෙන්වා දෙයි. මේ අනුව පොලීසියට වාර්තා වී ඇති පැමිණිලි ගණන 138කි. පැෆරල් සංවිධානයට පැමිණිලි 259ක් සහ කැෆේ සංවිධානයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 114ක් ලැබී තිබෙන බව ද සඳහන්ය. 

පොලීසියට ලැබී ඇති පැමිණිලි 122 අතුරින් 42ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමය. සෙසු පැමිණිලි 96 මැතිවරණ පැමිණිලි වශයෙන් දක්වා තිබේ. කැෆේ සංවිධානය වෙත වාර්තා වී ඇත්තේ සිදුවීම්වලින් නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි 85ක් වන අතර සෙසු 29 ප්‍රචණ්ඩ ක්‍රියාවන්ය. මේ ප්‍රමාණය තුළ පහරදීමේ සහ තර්ජනය කිරීම් 26ක්, දේපළ හානි කිරීම් තුනක් ඇතුළත්ය. එම සංවිධානය ලැබී ඇති මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් අතරට මහජන දේපළ හා රාජ්‍ය සේවකයන් යොදා ගැනීම සහ පත්වීම් හා ස්ථාන මාරු කිරීමේ සිදුවීම් 30කි. නීති විරෝධී ප්‍රචාරණ සිදුවීම් 46ක් සමග භාණ්ඩ බෙදාදීමේ සිද්ධි 9ක් වාර්තා වී තිබුණි. 

පළාත් පාලන මැතිවරණයට අදාළව පැෆරල් සංවිධානය වෙත දීපව්‍යාප්ත ලැබී ඇති මැතිවරණ හා නීති උල්ලංඝන කිරීම් ගණන 259කි. එහි සිදුවීම් 217ක් වන අතර බරපතළ ගණයේ සිදුවීම් 24කි. ඊට අදාළ නීති උල්ලංඝනය කිරීම් 32ක් වාර්තා වී ඇති අතර රෝහල්ගත වීමේ සිදුවීම් 4ක් වාර්තා වී ඇත. මේ ප්‍රමාණය ඇතුළත තර්ජනය කිරීම් හා  බිය වැද්දීම් 13ක්, පහරදීම් 8ක් හා නිශ්චල දේපළවලට හානි කිරීම් 4 ඇතුළත්ය. එමෙන්ම නීති විරෝධී ප්‍රචාරණ කටයුතු 78ක්, දේශපාලන අරමුණු ඇතිව සංග්‍රහ කිරීමේ සිදුවීම් 65ක්, රජයෙන් ලබාදෙන දීමනා ආධාර ද්‍රව්‍ය දේශපාලනික අර්ථයෙන් ලබාදීමේ සිදුවීම් 13ක් මහජනතාවට පීඩනය වන සහ බාධාවන අයුරින් මැතිවරණ කටයුතු සිදුකිරීම සහ බලපෑම් කිරීමේ සිද්ධි 13ක් සහ දේශපාලන කටයුතුවලට බාධා කිරීමේ සිද්ධි 6ක් වාර්තා වී තිබේ.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පොලීසියට වාර්තා වී ඇති සිදුවීම් 122 සඳහා සැකකරුවන් 42ක් අත්අඩංගුවට ගෙන සිටින අතර ඡන්ද අපේක්ෂකයෝ 8 දෙනෙක්ද ඊට ඇතුළත් වෙති. ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ අතර මැතිවරණ පැමිණිලි 84ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 38ක් ලැබී තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙසේ පොලීසියට වාර්තාකර ඇති පැමිණිලි අතර බැණ තර්ජනය කිරීම හා බියගැන්වීමේ සිදුවීම් 10කි. පහරදී තුවාල සිදුකිරීම් 10ක් ද්‍රව්‍ය හා උපකරණ බෙදීම් 7ක්, පෝස්ටර් කටවුට් ආදියට අලාභ කිරීම් 6ක් නිවෙස්වලට ඇතුළුවීම හා ගල් ගැසීමේ සිදුවීම් 5ක් මෙන්ම නිවාස බිඳ සොරකම් කිරීම, නාමයෝජනා ලැයිස්තු පැහැර ගැනීම, ඡන්ද පෝස්ටර් සන්තකයේ තබා ගැනීම, මුදල් බෙදාදීම, කාර්යාලවලට අලාභ හානි කිරීම, පෝස්ටර් බැනර් හා ධජ ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය, තහනම් ප්‍රචාරණ කටයුතු කිරීම, අත් පත්‍රිකා බෙදීම සහ රැස්වීම් භූමිය සම්බන්ධ ගැටලු ඒ අතරය.

පසුගිය 5 වැනිදා සවස බොරැල්ල හා නාරාහේන්පිට ප්‍රදේශයේදී ඡන්ද අපේක්ෂකයන් දෙදෙනකුට බැණ අපහාස සිදුකිරීමේ සිදුවීම් දෙකක් පොලීසියට පැමිණිලි කර ඇති අතර 6 වැනිදා කෝපායි පොලිස් වසමේ නිර්වේල් උතුර ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අපේක්ෂකයකු පසුපස පැමිණි නාඳුනන පුද්ගලයන් හතර දෙනකු තර්ජනය කර තිබුණේ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස කියමිනි. එදිනම පල්ලෙකැලේ මහවත්ත ප්‍රදේශයේ ඡන්ද අපේක්ෂකයෙක් සතු පෝස්ටර් ඉරාදමා පහරදීමට තැත් කිරීමේ සිදුවීමක් වාර්තා වූ අතර කුරුවිට අවටිකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකුට රෝද පුටුවක් ලබාදෙන බව කියා ඡන්දය ලබාදෙන්නැයි ආයාචනා කළ සිදුවීමක් වාර්තා වී තිබුණි.

ජනවාරි 7 වැනිදා මාවතගම, අරම්පොළ හන්දියේ නීති විරෝධී පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයන් තිදෙනකු පෝස්ටර් 91ක් සමඟ අත්අඩංගුවට ගත් අතර එදිනම මාළිගාවත්ත ප්‍රදේශයේදී කටවුට් ප්‍රදර්ශනය කිරීම හා ළඟ තබා ගැනීමට එරෙහි පැමිණිල්ලක් ලැබී තිබුණි. එසේම එදින පස්වරුවේ කටවුට් ගිනි තැබීමේ සිදුවීමක් වාර්තා වූයේ පනාමුර ප්‍රදේශයෙනි. එදිනම දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ආගමික ස්ථානයක රැස්වීමක් පැවැත්වීමට එරෙහිව ගම්මුන් විරෝධය පළකර පැමිණිල්ලක් සටහන් කර ඇති අතර ප්‍රදේශ ගණනාවකින් බැණ තර්ජනය කිරීම් වාර්තා වී තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය වාර්තා කරන පරිදි මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඡන්ද පෝස්ටර් හා කටවුට් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 57 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. එසේම පෝස්ටර්, බැනර් හා ධජ ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 16ක්ද අත්අඩංගුවට පත්ව සිටිති.

අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තංගල්ල නගර සභා අපේක්ෂක නීතිඥ නිශාන්ත පතිරණ පසුගිය 6 වැනිදා පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ එම නගරයේ කාර්යාලයක් විවෘත කිරීම සඳහා අවසර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම නිසාය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැර තිබුණි. මේ අතර මාවතගම ප්‍රදේශයේ සැකකරුවන් 3ක් සමග පෝස්ටර් තොගයක් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒවා මුද්‍රණය කළ අයෙක් හෝ මුද්‍රණය කළ ස්ථානයක් සඳහන් නොකර ප්‍රසිද්ධ ස්ථානවල අලවමින් සිටියදීය. මේ අතර මාතලේ නාඋල ප්‍රාදේශීය සභාවට තරග කරන පොදුජන පෙරමුණ අපේක්ෂකයෙක් සීවලී හාමුදුරුවන්ගේ රූපය සහ ගණ දෙවියන්ගේ රුව යොදාගෙන ආගමික සංකේත හා ඊට සම්බන්ධ අදහස් සහිතව මුද්‍රිත ප්‍රචාරක ද්‍රව්‍ය භාවිත කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කළේය. මේ පිළිබඳව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස්වරිය දැනුම්වත් කරන්නට එම පක්ෂය කටයුතු කර තිබුණි.

මේ අතර පැෆරල් සංවිධානය අනාවරණය කරන්නේ මැතිවරණය සමඟ මංමාවත් ප්‍රතිසංස්කරණය කිරීම හා භාණ්ඩ බෙදාදීම සීඝ්‍රයෙන් වැඩි වී ඇති බවය. මේ අයුරින් මාතලේ පිහිටි රාජ්‍ය වැවිලි සමාගමකින් පවුල් 4000ක් සඳහා බෙදාදීමට ආහාර මලු සූදානම් කර තිබියදී ඒ පිළිබඳව මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කරන්නට පියවර ගත් බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. එසේම මාතර ප්‍රදේශයේ ඡන්ද අපේක්ෂකයෙක් පාවහන් සඳහා වවුචර්පත් බෙදීමට සූදානම් වෙද්දී ඊට එරෙහි පැමිණිල්ලක් යොමුවිය. එම අපේක්ෂකයාගේ හිතවතකුගේ නිවෙසක සිට එම කාර්යය සිදුකළ බවට වාර්තා විය.

මේ අතර මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක සමින්ද ගුණසේකර මහතා පවසන්නේ නීති විරෝධී ප්‍රචාරණ කටයුතු දිවයින පුරාම සිදුවන බවය. ඒ අදාළ මැතිවරණ නීති ක්‍රියාත්මක වීමේ මන්දගාමී බව නිසා බවද කියයි. මෙවර මැතිවරණයේදී මනාප නොමැති බවත් කුඩා ඡන්ද කොට්ඨාසයකින් ඇති බවත් එබැවින් ප්‍රචාරණය අඩු වශයෙන් පැවතිය යුතු වුවද ඊට වෙහෙසීම හා වියදම් කිරීම නිශ්ඵල බවත් ඔහු පවසයි.

ඉහත කරුණු අනුව නව ඡන්ද ක්‍රමය පිළිබඳ අපේක්ෂකයන් දැනුම්වත් වී නොමැති බව පැහැදිලිය. මෙවර පැවැත්වෙන මැතිවරණය පෙර පැවති ඒවාට වඩා වෙනස්ය. එබැවින් ඡන්දය පැවැත්වෙන ආකාරය, අපේක්ෂකයන් තේරී පත්වීම පිළිබඳ අපේක්ෂකයන් මෙන්ම ජනතාවද දැනුම්වත් විය යුතුය. මෙසේ දැනුම්වත් කිරීම දේශපාලන පක්ෂවල වගකීමක් බව මැතිවරණ නිරීක්ෂණ ජාලය අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත්ව ඇත්නම් සහ ඡන්ද අපේක්ෂකයන් නීතිගරුක වන්නේ නම් සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට මෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් වාර්තා නොවනු ඇත.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර