2018 ජනවාරි 13 වන සෙනසුරාදා

අන්තරේ ලොජික් පද්‍ය පන්තිය

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110
 
සයිටම් SLIT ද NSBM වසනූ
රොටරි අැතුළු  ටියුසන් කඩ හකුලාගනූ
සිඟිති ලිට්ල් කිඩ්ස් පෙර පාසල් වහනූ
සමාජවාදේ එනකන් උන් අතුගානූ
 
රජයේ යුනියෙ උන් පමණක් බුදුවේවා
අන්තරෙ එවුන් සැරියුත් මුගලන් වේවා
ප්‍රයිවට් යුනිවර්සිටි හැඳිගෑවී යේවා
නිදහස් මෙව්වා එක සැමදා සුරුකේවා
 
එක බංකුවේ හිඳ පහ වසරේ ඉඳලා
බත් පත කෑවාට උඹ හා පොරකාලා
ප්‍රයිවට් යුනිවර්සිටියට ගිය දා ඉඳලා
ධනපති කුමන්ත්‍රණ කාරිය උඹ විමලා
 
ලකුණු මදිවෙලා යුනි යන්නට බැරැව
ණය වී ගියා කියලා ප්‍රයිවට් එකට
අදාළ නෑ ඉගෙන ගන්න බෑ තොපිට
ඕක වහලා බැහැපන් මහ පාරකට
 
සීයට දාහතයි උගතුන් ඉන්නෙ රටේ
කැම්පස් යන්න බැරිනම් මෝඩයෙකි මලේ
අටපාස් එවුන් කට වහගෙන බල්ලො වගේ
මැරිලා පල කඹුරා තොපි අපි යටතේ
 
අවුරුදු දහතුනම පිනටම උගන්නපන්
ඊළඟ සිව් වසර ඒ විදිහට හිටපන්
පිකට් යන්න මහපොළ තව වැඩි කරපන්
එළියට ආවාම රස්සාවත් දීපන්
 
නිදහස් මෙව්වා එක රකිනට පණ වාගේ
කන්නන්ගර කවුද රෝහණ, චේ වාගේ
අන්තරේට බැඳිලා පිස්සෙක් වාගේ
වීරයො වෙයන් ඩෝ කැඳවුම්කරු වාගේ
 
දැයේ දරුවන්ගේ අධ්‍යාපනෙ රකිනූ
සමාජවාදෙමයි පිළියම හැඳිනගනූ
එය රැකගැන්මටම අන්තරයට බැඳෙනූ
බැරිනම් අලයො වී කොන් වී කල් ගෙවනූ
 
සමාන වෙන්න කොණ්ඩ රැවුල් කප්පවනූ
ඩෙනිම් ෆැෂන් හැර මල් ගවුමට බසිනූ
නවක වදය දී පෞරුෂ හැඩගසනූ
බැරිනම් කුලී ගේකදි හෙළුවෙන් සිටිනූ
 
හොර උපාධි කඩ ඔක්කොම අපි වහලා
ඒවයෙ ඉන්න උන් එළියට ඇද දාලා
ලිප්ටන් වටරවුම ඇතුළට කැඳවාලා
කඳුළු ගෑස් කමු බැරියර් පෙරළාලා
 
කන්නන්ගරලා ඇතුලත්මුදලිලා කවුද
විජේවීර චේ මාක්ස්ලා විය හැකිද
දිනක අපිත් වී උතුරේ කොරියාව
ලෝකෙට ටෝක් දෙමු කිම් ජොන් උන්සේම
 
 චමල් අකලංක පොල්වත්තගේ