2018 ජනවාරි 06 වන සෙනසුරාදා

කඩුව

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 244

මීට කලකට ඉහත මා ඉන්දියාවේ කළ සංචාරයක දී එරටට ආවේණික එහෙත් ලෝක ප්‍රකට “කඹ විජ්ජා දර්ශනයක්* නැරඹීමට ලැබුණි. වාර්ෂික මේලා උත්සව භූමියක පැවති කඹ “විජ්ජාව” ඇරුඹීමට පෙර සන්නාසියෙකුගේ පෙනුමින් යුත් විජ්ජාකාරයා මහා පුරසාරමක් ද දෙසා බෑවේය. තමා පැවත එන්නේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරැන්ගෙන් පවා සම්මාන ලැබූ කඹ විජ්ජා පරපුරකින් බව පැවසූ ඔහු ලන්ඩනයේ තිබූ මහා වෙළෙඳ ප්‍රදර්ශනයකට ද සහභාගිවී රැජන අතින් රන් පදක්කමක් දිනාගත් බවද ආඩම්බරයෙන් කියා සිටියේය. මා ඇතුළු දේශීය, විදේශීය නරඹන්නන් සියල්ලෝම විජ්ජා දර්ශන නැරඹීමට නෙත් අයා සිටියේ මහත් කුතුහලයෙනි.

එය ඇරඹුණේ පොල් ගසකට වඩා උසට යන සේ කඹයක් අහසට විසි කිරීමෙනි. ඉන්පසු අහසේ රැඳෙන ඒ කඹය දිගේ විජ්ජාකරැගේ ගෝලයා ඉහළට නැඟ නොපෙනී යයි. මොහොතකට පසු ඔහු ආපසු නොඑන තැන කෝපයට පත්වන විජ්ජාකරැ කඩුවක් රැගෙන කඹය දිගේ ඉහළ නගින්නට වෙයි. විජ්ජාකරැ අහසේ නොපෙනී යයි. ඉන් පසු ගෝලයාගේ ශරීරයේ කොටස් පහළට වැටෙන්නට පටන් ගනී. කඹ විජ්ජාව ඔන්න ඔහොමය. එය ඉතාම සිත්ගන්නා සුළු එසේම ඇඟ කිලිපොළා යන ඇස් බැන්දුමකි.

මට මේ කඹ විජ්ජාව මතකයට නැඟුණේ. අපේ ගරු ජනාධිපතිතුමා පසුගිය වසර අවසානයේ කියූ “කඩු කතාව” නිසාය. එහෙත් එතුමා තමාගේ ගෝලයින්ට කෑලිවලට කපා දමන නපුරු විජ්ජාකාරයෙකු යැයි මම කිසිසේත් නොපවසමි. දේශපාලන ලෝකයේ තිබෙන “ගැල විජ්ජා” ගැන නම් එතුමාට හොඳ අවබෝධයක් ඇති බව නම් අප කාටත් රහසක් නොවේ.

ලංකාවේ සිටින ලොකු කඩුකාරයන්ට පොළෙන්නරුවෙන් ආ ජනාධිපති සිරිසේනගේ “කඩුව* ගැන නොයෙක් ප්‍රශ්න තිබෙන බවද අපි දනිමු. එහෙත් හිටිහැටියේම එතුමා කඩුව පොලිෂ් කරන්නට යන බව දැන ගැනීමෙන් ඒ සැම බියෙන් සලිත වන්නට ඇතුවාට සැක නැත. රටේ ජනතාව නම් කියන්නේ එතුමාට කඩුව අදින්නට තිබුණේ මීට බොහෝ කලින්ම බවය. ඒ කතාවෙත් ඇත්තක් නැත්තේම නැත. යුද්දෙට නැති කඩුව කොස් කොටන්ටයැ? කඩුව නුහුරට ගත් කළ කොස් කොටන්නට නොහැකි යැයි කියමනක් ද ඇත.

සමහරුනම් කියන්නේ බලයට පත්වීමේදී දුන් පොරොන්දු ඉටුනොකළ වග යළි මතකයට එන්නේ තවත් ඡන්දයක් ළංවෙද්දී බවය. සිංහාසනයට නැගගන්නා බොහෝ අය ඉන්පසු හතුරුපිලේ අය සමඟ සව්දිය පුරමින් විවාහ මංගල්‍යයන්ට අත්සන් කරමින් එකපතේ කෑවුන් සේ කල්ගෙවන්නට වෙති. යළි කැසපට කවා කඩු මුගුරැ අමෝරා ගන්නේ ආසනය රත්වන විටය. එහෙයින් මෙදා පාරත් අප බලා ඉන්නේ ඉන්දියානු කඩු විජ්ජාවක්දැයි කෙනෙකුට සැක සිතුණොත් එහි වරදක් කියන්නටත් බැරිය. එසේම පුංචි ඡන්දයකදී කඩුව අදින්නේ නම් මහ ඡන්දයකදී මොන මොනවා ඇද ගනීදැයි කියන්නටත් බැරිය. 

කඩු ෆයිට් කරන්නට ගිය නළුවෙකු සිදුවූ අකරතැබ්බක් ද මෙහිදි අප මතකයට නැඟෙයි. මීට කලකට පෙර ප්‍රාදේශීය රඟහලක වේදිකාගතවූ නාට්‍යයක ප්‍රධාන චරිතය වූයේ ඉංග්‍රීසි සේනාපතිවරයෙකි. ඔහු සතුරු සේනාවේ නායකයෙකු සමඟ සටන් වදියි. එක් අවස්ථාවක ඔහු පිස්තෝලය ගෙන සතුරාට වෙඩි තබයි. එවිට වෙඩි හඬ නැඟෙන්නේ වේදිකාව පිටුපස සිට සහායකයෙකු විසින් පත්තු කරන තුන්හුලක් රතිඤ්ඤාවකිනි. මේ දවසේ සෙන්පතියා පිස්තෝලය ඇද “අද තොගේ හිස කුඩු කරන්නෙමි යි කියමින් බලා සිටී. එහෙත් රතිඤ්ඤාය පත්තුවෙන පාටක් නැත. වෙනත් උපායක් කල්පනා කළ සෙන්පතියා තම ඉණෙහි වූ කඩුව ඇද “ තට මගෙන් ගැළවීමක් නැතැයි” කියමින් පපුවට ඇන්නා පමණි. “ඩෝං” ගාමින් රතිඤ්ඤය පත්තු වුණේය.

කඩු සටන් මෙන්ම කඩු නිපදවීම ද කලාවකි. ඉන්දියාවේ මයිසූර් මාළිගයට යන්නෙකුට එහි ප්‍රදර්ශනය කර ඇති අත්‍යලංකාර හා නානාප්‍රකාර කඩු රාශිය දැකගන්නට ලැබේ. ලෝකයේ බොහෝ රටවල කෞතුකාගාරයන්හි කඩු අංශයක් ද ඇත. ලංකාවේ ජාතික කෞතුකාගාරයේ තිබූ කඩුවකට සිදුවූ දෙය දැන් හැමෝම දනිති. කඩු එකතු කිරීම ද සමහරුන්ගේ විනෝදාංශයකි.

සමහර කඩු පොට්ටය. සමහර කඩු මුවහත්ය. සමහර කඩු කොටය. තවත් සමහර කඩු දිගය. යකඩින් ලෝහයෙන් නොව රිදියෙන් රත්තරනෙ සැදුවත් කඩුව වනාහි නුසුදුස්සන් අත පත් නොකළ යුතු ආයුධයකි. එසේ කළහොත් සිදුවන්නේ හනුමාට ගිනි පන්දම දුන්නා වාගේ දෙයකි. වඳුරන්ගෙන් ද කඩු පරිස්සම් කරගත යුතුය. ස්වාමියාගේ ඇඟේ වැසූ මැස්සන් එලවීමට කඩුව වැනූ දා සිට කඩු භාවිතය සම්බන්ධයෙන් වඳුරන්ට ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයකි. වඩාත්ම භයානක කාරණය වන්නේ දේශපාලන ලෝකයේ භාවිත වන කඩු හැමවිටම දෙපැත්ත කැපෙන ඒවා වීමය. අනුන්ගේ පසුපස වල්ග කපන්නට දිව යන බොහෝ දෙනා අවසානයේ නොදැනුවත්වම වාගේ තමන්ගේ ඉදිරිපස වල්ගයද අහිමි කරගන්නේ එහෙයිනි.

සමහර කඩු බාලය. ඒවායින් හොඳ සටනක් දිය නොහැකිය. එහෙත් බාල කඩුවකට හෝ විස පොවා ගත් කල එය බලවත් වෙයි

කඩුව මෙන්ම නඩුවද බරක් කරගත යුතු නැතැයි කියමනක් ජනවහරේ එයි. එහි පඩිපෙළ වන්නේ සෑම දෙයක්ම සැහැල්ලුවෙන් සළකන පුද්ගලයාට ජීවත්වීම ද පහසු වන බවය. සමහරු ජීවත්වීම සඳහා කඩු ගිලිති. එහෙත් එසැණින් ඒවා වමාරන්නට ද පරිස්සම් වෙති. “කඩුව ගිල්ලා වාගේ” යැයි පිරුළක් ද ඇත. ඉන් අදහස් වන්නේ ගිලින්නත් බැහැ වමාරන්නත් බැහැ. කුමක් කරම්දැයි විනිශ්චය කර ගත නොහැකි තත්ත්වයේ හෝ ප්‍රශ්නයකි. 

විධුර ජාතක නාට්‍යයේ එන මේ කව ඊට රසවත් නිදසුනකි.

නඩුව එක ලෙසම නැතුවා ද මේ ර         ට
බඩුව ගන්ට තිබුවා ඔට්ටුවට ර               ට
කඩුව ගිලපු ලෙස වුණි ඒ කුරු රජු          ට
නඩුව කියන්නට යන් පණ්ඩිත රජු ළඟ    ට

දේශපාලනයේදී වැඩ නොකළ අය මෙන්ම වැරදි වැඩ කළ අයද ඡන්දයක් ළං වනවිට සිටින්නේ කඩු ගිල්ලා වාගේය. එය වසා ගැනීමට ඔව්හු බොහෝ විජ්ජා දමති. එහෙත් ඒ සියල්ල අලියා ගිලපු දිවුල් වාගේය

ඡන්ද කාලෙට එන විජ්ජා සහ රිළා නැටුම් ගැන ජනතාව හොඳින් දනිති. එහෙත් ඔවුන් හැමවිටම අමතක කරන එක දෙයක් ඇත. එනම් සැබෑ කඩුව ඇත්තේ තමන් අත බවය. එය කටුගෙයින් පන්නපු කඩුවලට ද වඩා මුවහත්ය. සවිමත්ය. බලවත්ය.

පෑන, කඩුවට වඩා බලවත්ය. එහෙත් ඒ පෑනෙන් ද “කොටන තාක් කල්” පමණි. දැන් නම් වැඩිපුර ඇත්තේ බෝල්පොයින්ට් පෑන් සහ සරැව පිත්තල කඩුය. නොමිලේම අතට ලැබී ඇති කඩුවෙන් හරි තැනට කොටන්ට නොදන්නා පිංගුත්තරයින්ට බඩ කඩුත්තුවකට එහා දෙයක් උරුම නොවනා බවද නොකියා නොහැක්කේය.

► කපිල කුමාර කාලිංග