2018 ජනවාරි 06 වන සෙනසුරාදා

ඒ ලෙවෙල්වලින් පස්සෙ...

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

ඉන්දියාව විතරක් නෙමේ, ඉංග්‍රීසිය දෙවැනි භාෂාවක් භාවිත කරන ලෝකෙ පුරා ඉන්න ගොඩක් මිනිස්සුන්ට වචනවලින් සමීප වෙච්ච චේතන් භගත් කියන ලේඛකයා කලකට ඉහතදී ලියපු ගොඩක් ජනප්‍රිය වෙච්ච නවකතාවක් තමයි ත්‍රී ඉඩියට්ස්. නමේ තියෙන්නේ ඉඩියට්ස් (මෝඩයෝ) කියලා වුණාට කතාව තුළ ඉන්න රන්චෝ කියන බුද්ධිමත් මිත්‍රයා තමන්ගේ හොඳම යාළුවෝ දෙන්නව ඔවුන් දකින සුබ අනාගතය වෙත එක්කන් ගිය හැටි බොහොම ලස්සනට ඒ පොතේ කියවෙනවා. 

මේ කතාවේ ඉන්න රන්චොගෙ එක යාළුවෙක්ට තියෙන්නෙ ඡායාරූප ශිල්පියෙක් වීමේ පිස්සුවක්. කවදාහරි කැමරාවෙන් වැඩකරුවෙකු වෙන්නයි ඒ යාළුවගේ ආසාව. හැබැයි ඒ ආසාවට මිනිහාගෙ ගෙදරින් කිසිම ඉඩක් නෑ. තාත්තට ඕනෙ තමන්ගෙ එකම කොල්ලා ඉංජිනේරුවෙක් වෙනවා දකින්න. ඉතින් තාත්තාගෙ හීනෙ පස්සෙ කොල්ලට දුවන්න වෙනවා. 

ඒත් කතාව ඉවර වෙන්නෙ මේ යාළුවෝ තුන්දෙනාම තම තමන් ආසා කරන ක්ෂේත්‍රවලින් ඉස්සරහට ගිහින්. තමන් ආසා කරන දේ තමන්ගේ රැකියාව කරගත්තොත් කවදාවත් රැකියාවක් කරනවා කියලා දැනෙන්නෙ නැතිවෙයි කියලා ප්‍රසිද්ධ කියමනකුත් තියෙනවා. මේ ගැන කතාකරන්න හිතුවේ ඒලෙවෙල් රිසාල්ට් ආපු හින්දයි. ඒ ලෙවෙල් කියන්නේ අපේ රටේ තීරණාත්මක විභාගයකට වඩා මාරාන්තික විභාගයක් විදිහටයි සලකන්නෙ. ඒලෙවෙල් පාස් වෙලා විතරක් මදි හොඳට පාස්වෙලා කැම්පස් රිංගගත්තොත් ජීවිතේ ගොඩ කියන එකයි අපේ මිනිස්සු බහුතරයකගේ අදහස. 

ඇත්ත කැම්පස් ජීවිතේ කියන්නේ වෙනම විස්මිත ජීවිතයක්. විශේෂයෙන්ම රජයේ විශ්ව විද්‍යාලයක ඒ ලබන අත්දැකීම් ටික ජීවිතේට එකතු කරන්නේ ලොකුම ලොකු පන්නරයක්. හැබැයි කැම්පස් යන නොයන එකෙන් අපේ රටේ තරුණ පරම්පරාවේ අනාගතය තීරණය වෙනවා කියන්නේ? ඒක සුනාමියටත් වඩා ලොකු ඛේදවාචකයක්. 

කැම්පස් නොයන එවුන් යන්නෙ කොහෙටද? උන් මොනවද කරන්නෙ? උන් තව ඉගෙන ගන්නවද? නැත්නම් උන්ට කරන්න රස්සා තියෙනවද? කැම්පස් යන එවුන් කැම්පස් නොයන එවුන් ඉස්සරහ පල් පාට් දාන එක කවද්ද නවතින්නෙ? ප්‍රයිවෙට් කැම්පස් යන එකා ආණ්ඩුවේ කැම්පස් යන එකා ඉස්සරහා පල් පාට් දාන එක නතර වෙයිද? මේ වගේ ප්‍රශ්න ගොඩක් ඒලෙවල් එක්ක පැන නඟිනවා. ඒත් ආණ්ඩුව තියා කිසිම කෙනෙක් මේ වගේ දේවල් ගැන හිතනවද කියන එක ප්‍රශ්නයක්. 
කතාවට කියන්නේ ‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කියලයි. ඒත් එහෙම කියන අපි ඉගැන්වීම කියන කාරණේදී, ඉස්කෝලෙදි, කැම්පස් එකේදී කොටින්ම මොන්ටිසෝරියෙදි පවා ඒ ගැන අබමල් රේණුවකට ගණන් ගන්නෙ නෑ. හැමෝම ගණන් පාස් වෙන්න ඕනේ. හැමෝම ඉංග්‍රීසි සුපිරියට කතාකරන්න ඕනෙ. හැම ළමයගෙම මතකෙ එක වගේ හොඳ වෙන්න ඕනෙ. අපේ අම්මලා තාත්තලා හිතන්නෙ එහෙමයි. 

හැබැයි ලෝකේ ඉස්සරහට ගිහින් තියෙන හැම රටක්ම ඔය සම්ප්‍රදායික චින්තනේට පයින් ගහලා ඉවරයි. එහේ ඔරලෝසු හදන මිනිහට වුණත් ගිනි නිවන භටයට වුණත් ගොඩක් ලොකු තැනක් තියෙනවා. හොඳ පඩි ලැබෙනවා. කාර් එකක් ගෙයක් කියන්නේ අපිට මහ දේවල් වුණාට ඒ මිනිස්සුන්ට බොහොම සරල දේවල්. 

මිනිස්සු හැමෝම එකවගේ නැහැ. හැමෝටම ගිටාර් ගහන්න බැහැ. හැමෝටම පියානෝ ගහන්නත් බැහැ. ඒ වගේම හැමෝටම රහට උයන්නත් බැහැ. ඉතින් පොඩි කාලෙම ළමයට තමන් ආස දේ ගැන හොයන්න ඉඩ දෙන එකයි අම්මලා තාත්තලාගෙ යුතුකම. අම්මලා තාත්තලා වගේම මුළු සමාජෙත් ඒකට වගකිව යුතුයි. පොඩි එකෙක් අලුත් අවුරුද්දට බුලත් දීලා වඳිනකොට අපි ඔලුව අතගාන්නේ හොඳට ඉගෙන ගනින් කියලයි. ඒක ඔහේ කියන වචනයක් වුණත් ඉගෙනගන්න කියලා කියනවා කියන්නෙම ළමයට මෙන්න මෙහෙන් පල කියලා පාර පෙන්නන එකයි. ඉතින් ළමයත් තමන් කොහෙට යනවද කියලා නොදැන ඔහේ යන්න යනවා. අන්තිමට නැතිවෙලා යන්නේ කවදහරි වැඩිහිටියෙක් වෙන ඒ ළමයගේ හිතේ සතුටම තමා. 

හැබැයි දැන් දැන් පොඩි එවුන් හරි ස්මාට්. උන් ඉන්ටර්නෙට් එකෙන් අම්මලා තාත්තලාට වඩා ලෝකෙ දකිනවා. ලෝකෙ නැති රස්සා ගැන, මිනිස්සු ආසාවට කරන කියන දේවල් ගැන දැන් උන් දන්නවා. තවත් පැහැදිලිව කිව්වොත් ඩොක්ටර්ටයි, ඉංජිනේරුවටයි එහා තව මහ විශාල ලෝකයක් තියෙනවා කියලා උන්ට පේනවා. තමන් යන්නෙ කොයි ක්ෂේත්‍රෙට උනත් තමන් වැඩකරු නම් ඉස්සරහට යන එක නවත්තන්න සක්කරයටවත් බෑ කියලත් උන් දන්නවා. උන්ගේ පරම්පරාවවත් මේ රට ගොඩගනී කියලා බලන් ඉන්න එකයි දැන් ලොකු උන්ගේ පරම්පරාවට ඉතුරැවෙලා තියෙන්නෙ. අඩුම තරමින් ඒකටවත් බාල්දිය නොදා හිටියොත් ඒක උපන් රටට කරන ලොකු සේවයක්. 

► ජා 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00