2018 ජනවාරි 06 වන සෙනසුරාදා

දෙපැත්ත කැපෙන පොලිතින් තහනම

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 260

මේ වැඩෙන් අපි හාන්සියි - ආපනශාලා හිමිකරුවෝ
නීති දැම්මේ රටේ හොඳටයි - මධ්‍යම පරිසර අධිකාරිය

පොලිතීන් භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් පොලිතීන් නිෂ්පාදකවරුන්, ආපනශාලා හිමිකරුවන් වෙළෙඳුන් මෙන්ම රටේ සාමාන්‍ය ජනතාවද පත්ව සිටින්නේ දැඩි අසීරුතාවයකටය. රටේ කසළ අර්බුදයට විසඳුම වන්නේ පොලිතීන් සහ ප්ලාස්ටික් තහනම් කිරීම නොවන බවයි මේ බහුතරයකගේ අදහස වන්නේ. පසුගිය වසරේ පැනවීමට යෙදුණ නමුත් කල්ගත වූ ලන්ච් ෂීට් ඇතුළු ඝනත්වයෙන් වැඩි පොලිතීන් භාවිතය හා ඒ ආශ්‍රිතව භාණ්ඩ නිපදවීම නිල වශයෙන් මෙම වසර මුලදීම බලපැවැත්වෙන පිරිදි ක්‍රියාත්මක වන බව මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දී තිබේ.

ලංකාවේ පොලිතීන් නිෂ්පාදනවලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. සෑම නිවසකම පාහේ කෑම එතීම සඳහා යොදාගනු ලබන්නේ ලන්ච් ෂීට්ය. එදා ගැමි නිවාසවල බොහෝවිට බත්මුල එතීමට කෙසෙල් කොළය, නෙළුම් කොළය යොදාගත්තද අද වෙද්දී ගැමි නිවෙස්වල එතෙන බොහෝ බත්මුල ඔතනු ලබන්නේද ලන්ච් ෂීට් එකකිනි. එයට හේතු දෙකක් බලපායි. ප්‍රධානම හේතුව පහසුවයි. දිනකට විවිධ පැතිවලින් බස් රථ මගින්, දුම්රියෙන්, පෞද්ගලික රථ මගින්, කොළඹ නගරවලට රාජකාරි සඳහා පැමිණෙන සේවක සේවිකාවෝ ලක්ෂ ගණනක් වෙති. මේ බොහෝ දෙනෙකු තම උදෑසන ආහාරයත් දිවා ආහාරයත් රැගෙන එනු ලබන්නේ ලන්ච් ෂීට්වල ඔතාගෙනය. එබැවින් කොළඹ නගරය පුරා දිනකට ලන්ච් ෂීට් එකතුවන්නේද ලක්ෂ ගණනිනි.

නමුත් අවසානයේදී මෙම කෑම එතීම සඳහා ගනු ලබන ලන්ච් ෂීට් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට හා ග්‍රොසරි බෑග් ඇතැම් ආහාර දවටන යනාදිය සඳහා භාවිතයට ගන්නා ඝනකම වැඩි පොලිතින් තහනම් කිරීමටද තීරණය කර ඇත.
පොලිතීන් ලන්ච් ෂීට්, පොලිතීන් බෑග් (සිලි සිලි බෑග්) ඇතුළු සියලුම HDPE (හයිඩෝන් සිටි පොලිඑතිලීන්) මළු හා කවර වර්ග, සියලුම පොලිස්ටයරීන් (රිජිෆෝම්) ලන්ච් බොක්ස් මෙසේ තහනමට ලක්විය. මේ අනුව මෙවැනි තහනමට ලක්වූ දෑ නිෂ්පාදනය හා විකිණීම, සැකසුම් කළ හා පිසූ ආහාර වර්ග පිරවීම, බහාලීම, ඇසුරුම් කිරීම හා ළඟ තබා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් වේ. එවැන්නන් වෙනුවෙන් මේ වනවිට නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී.

“තහනමට ලක්වූ දෑ ළඟ තබාගැනීම, විකිණීම, නිෂ්පාදනය කිරීම කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ අනුව එවැනි පුද්ගලයන් වෙනුවෙන් රුපියල් දසදහසකට නොඅඩු දඩයක් හෝ වසර දෙකක සිරගත කිරීමේ දඬුවමක් අපි නියම කරනවා. මෙයින් දඩය දෙන්නත් පුළුවන්. සිර දඬුවම දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ දඬුවම් දෙකම වෙන්නත් පුළුවන්.”

මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ පිළිබඳ අධ්‍යක්ෂ පී. අජිත් වීරසුන්දර මහතා එසේ කියයි.
මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට පළමුව ඒ සඳහා මාස කිහිපයක සහන කාලයක් ලබාදුනි. මේ අනුව බොහෝ පොලිතීන් නිෂ්පාදකවරු ඒ සඳහා වෙනත් විකල්ප මාර්ගයන් තෝරා ගත්තෝය. බොහෝ තොග වෙළෙන්දෝ මෙම තහනමට ලක්වන දෑ වෙනුවට ආදේශ දෑ වෙළෙඳාම් කිරීමට හැඩ ගැසුණෝය.

අපි තහනම් කරලා තියෙන්නේ ෂොපින් බෑග් එකයි. ඒ කියන්නේ සිලි සිලි බෑග් එකයි. ඒ වෙනුවට අද වෙළෙඳ පොළේ විකල්ප බෑගයක් හඳුන්වලා දීලා තියෙනවා. මේ වෙනකොට බොහෝ දෙනා පරිහරණය කරන්නේ, වෙළෙඳාම් කරන්නේ ඒ බෑග් එකයි. ඊට අමතරව ඝනකමින් යුත් කඩදාසි බෑගයක්ද අද වෙළෙඳපොළේ පවතිනවා. ඒවා පාවිච්චි කරන්න පුළුවන්... යැයි අජිත් මහතා පැවසීය.

නමුත් බොහෝ දෙනෙකු කරනු ලබන චෝදනාව වන්නේ ඒවා මිලෙන් වැඩි බවයි.

“ඇත්ත... මේක ටිකක් මිලෙන් වැඩියි තමයි. ලාභයට වඩා අපි අපේ සෞඛ්‍ය තත්ත්වය, අපේ පරිසරය ගැන හිතන්න ඕනේ නේද...? පොඩි මුදලක් නිසා ඇයි තමන්ගේ සෞඛ්‍ය, පරිසරය ගැන නොසිතන්නේ... ඒකයි අපිට තියෙන ප්‍රශ්නය... පොඩි මුදලක් හරි වැය කරලා හොඳ දෙයක් ගන්න එක වටිනවා නේද? මීට අමතරව අපි ලන්ච් ෂීට් එක තහනම් කරලයි තියෙන්නේ. මේ වෙනුවෙන් නිවසේ සිට බත් පත ගෙන එන අයට අපි බත් පත ප්ලාස්ටික් හෝ යකඩ පෙට්ටියක ගෙන එන ලෙස විකල්ප යෝජනාවක් ඉදිරිපත් කළා. ඊට අමතරව කෙසෙල් කොළයේ බත්පත එතීමත් ඉතා හොඳයි. රටේ මිනිසුන් ගැන හිතලා පරිසරය ගැන හිතල? ගත්තු මේ තීරණයට කවුරුත් සහයෝගය දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා...” යැයි අජිත් වීරසුන්දර අවසන් වශයෙන් ඉල්ලීමක්ද කළේය.

මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරියෙන් සොයාබැලීම් කටයුතු සිදුකරන අතර නීතිය කඩනා වෙළෙඳුන් හට නීතිමය ක්‍රියාත්මක වෙමින් පවතී. තමුන් මධ්‍යම පරිසර අධිකාරිය පවසන අන්දමට මේ දින කිහිපය ඇතුළත බොහෝ තැන්වල පරිහරණය කරනු ලබන්නේ හඳුන්වා දී ඇති නව පොලිතින් බෑගයන්ය. නමුත් දිගින් දිගටම මොවුහු ව්‍යාපාර මට්ටමින් සිදුකරනු ලබන තැන් වැටලීම් කරති.

මෙම නීතිය ක්‍රියාත්මක වීමෙන් බොහෝවිට බඩේ පහර වැදුණේ ආපනශාලා හිමිකරුවන්ට මෙන්ම කෑම වෙළෙඳුන්ටය. විශේෂයෙන් ලන්ච් ෂීට්වල මිල ඉහළ යාමත් සමග ඔවුහු කෑම පැකට්ටුවේ මිල ඉහළ යැවීමට මාන බලති. මේ අනුව එයින්ද සාමාන්‍ය ජනතාවගේ මුදල් පසුම්බියෙන් නැවතත් මුදලක් වැඩිපුර වැයවෙයි.

“පොලිතීන් තහනම කියල ජනාධිපතිතුමාට මේ අදහස දාලා මධ්‍යම පරිසර අධිකාරිය කළේ ලන්ච් ෂීට් විතරක් තහනම් කරපු එක විතරයි. පොලිතීන් තහනම් නම් මේ රටේ ෂැම්පු පැකට්, ජෙල් පැකට්, බිස්කට් පැකට් ඇතුළු සියල්ලම තහනම් කළයුතු වෙනවා. ඒවායින් දවසකට මිලියන ගාණක් මේ පොළොවට එකතුවෙනවා. හැබැයි ඒවාට තහනම් නෑ. ඒවා ගැන කතා කරන්නේ නෑ. ලන්ච් ෂීට් විතරයි තහනම් කළේ. ඇත්තටම මේක පිටිපස්සේ තියෙන්නේ මහ වංචාවක්.” යැයි සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරයි.

ඔහු පවසන පරිදි දිනකට ලංකාවේ ලක්ෂ එක්ලක්ෂ විසිදාහක් පොලිතීන් භාවිතා කෙරේ. ගෙදර කිරිබතක් සෑදූ විටද බොහෝ ගෘහණියන් කිරිබත සකසනු ලබන්නේ ලන්ච් ෂීට් එකක් ආධාරයෙනි. ලන්ච් ෂීට් එක හඳුන්වා දෙනු ලැබුවේ සත විස්සෙනි. පසුගිය කාලය වනවිට එය රුපියල දක්වා වැඩිවිණි.

“සත විස්සේ තිබුණු ලන්ච් ෂීට් එක රුපියල දක්වා වැඩිවුණා. මේ අය පරිසර හිතකාමී නීතිය කියලා අද නීතියක් දාලා ඒක තුනයි පනහ දක්වා වැඩිවුණා. අලුත් ලන්ච් ෂීට් කිසිම පරිසර හිතකාමීයන් නෑ. දැන් වෙළෙඳ පොළට හඳුන්වා දුන් පරිසර හිතකාරී ලන්ච් ෂීට් එක පොළවට දිරනවාද කියල මේ කවුරුත් පරීක්ෂණ කරල නෑ. අපි ජනවාරි 01 වෙනිදා මේ අලුත් ලන්ච් ෂීට් පොළවේ වැළලුවා. මම ඒ දේවල් ජූලි 01 වෙනිදා ගොඩගන්නවා. එතකොට බලමු මොකද වෙන්නේ කියලා. පරිසර හිතකාමී නම් පොළවට දිරන්න ඕනේනේ. ඒත්.... මේවා දිරන්නේ නෑ. අද ඒ එක ලන්ච් ෂීට් එකක මිල රුපියල් තුනයි සත පනහයි...” ඔහු කියයි.

“පරිසරයට හිතකාමී නම්, පොළවට දිරනවා නම් අපි මේක තුනයි සත පනහට ගන්න ලෑස්තියි. හැබැයි පොළවට දිරනව කියල කිසිදු පර්යේෂණයක් නොකර මේ අය මේක නිර්දේශ කරනවා නම් ඒක හරි විහිළුවක්. මේ තුනයි සත පනහ සමහර තැන්වල රුපියල් පහටත් විකුණනවා. 

රුපියල් හතට තව කොළයකුත් මේ අය හඳුන්වා දීලා තියෙනවා. දවසකට ලක්ෂ එකසිය පනහක් ලන්ච් ෂීට් භාවිත කරනවා. එතකොට බලන්න කොච්චර නම් මුදලක් දවසකට අපේ රටේ පාරිභෝගිකයන් අමතර මුදලක් විදිහට වියදම් කරනවද කියලා. ඇත්තටම මේකෙන් වෙන්නේ කොම්පැනිකාරයෝ හදන එක විතරයි. ඒ ලන්ච් ෂීට්වල කොළපාටින් ප්‍රින්ට් එකක් ගහලා පරිසර හිතකාමී කියන අය කොහොමද කියන්නේ අර ප්‍රින්ට්වල තීන්ත ඇඟට අහිතකර නැහැ කියලා.”

අසේල සම්පත් වැඩිදුරටත් පවසයි.

අද වෙද්දී කොළඹ දිස්ත්‍රික්කයේ කෑම පැකට් දිනකට ලක්ෂ පහකට වඩා ප්‍රමාණයක් අලෙවි වෙයි. මේ සෑම කෑම පැකට්ටුවක්ම ලන්ච් ෂීට් එකකින් ආවරණය වේ. එදා ලන්ච් ෂීට් සියයක් සඳහා ගිය වියදම රුපියල් සියයකි. නමුත් අද වෙද්දී ලන්ච් ෂීට් සියයක මිල රුපියල් තුන්සිය පනහකට වැඩියි. 

මේ සම්බන්ධව පිටකොටුව මැනිං මාර්කට් හි වෙළෙඳාමේ නිරත ඒ. පුංචිහේවා මහතා මෙසේ අදහස් දැක්වීය.
“මේක හරියන එකක් නෙමේ. බඩු ගන්න ආවම අපෙන් බෑග් ඉල්ලනවා. බෑග් එකට රුපියල් දෙකක් ගන්න හැදුවත් මූණ දෙක වෙනවා. ඉතින් කොහොමද අපි රුපියල් තුනට හතරට ෂොපින් බෑග් අරගෙන නිකම් විකුණන්නේ. දැන් එළවළුත් හරිම ගණන්. මිනිස්සු එළවළු ගන්න එන්නේ ග්‍රෑම් දෙසීය පනහ ඒවා. ඒ අතරේ මෙහෙම ෂොපින් බෑග් විකුණන්න බෑ. දැන් ඉතින් ටික දවසක් බලලා එළවළු ටික පත්තර කොළවල ඔතලා තමයි දෙන්න වෙන්නේ... එහෙම නැත්නම් අපිට පිටකොටුවේ හිඟාකන්න තමයි වෙන්නේ.

ඔය බෑග්වලට එළවළු දාන්න බෑ. කඩා වැටෙනවා. අනේ මන්දා.... පරිසර හිතකාමී කියලා අපි ඉන්නේ මර බයෙන්. කොයි වෙලේ අපිව අල්ලන්න එයිද දන්නේ නෑ. ඒ වෙලාවට එළවළු ටිකත් උස්සගෙන දුවන්න තමයි වෙන්නේ...”
මේ සම්බන්ධව අපි පොලිතින් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතාගෙන්ද විමසීමක් කළෙමු.
“ඔය වෙලා තියෙන්නේ පොලිතීන් තහනමක් නෙමේ. ඝනත්වයෙන් වැඩි අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරන දේවල් තුන හතරක් තමයි මෙතනදී තහනම් වෙලා තියෙන්නේ. ලන්ච් ෂීට්වලට දැන් වෙන්න ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරනවා. දැන් අපි ඒ දේවල් නිෂ්පාදනය කරගෙන යනවා. හැබැයි ඔය අලුතින් හඳුන්වාදෙන බෑගය ශක්තියෙන් අඩුයි. ඒකට වැඩි බර ප්‍රමාණයක් දාන්න බෑ. කඩාගෙන වැටෙනවා. නමුත් එහි මිල වැඩියි. මේක මිනිසුන්ගේ සාක්කුවට ගහපු පහරක් විතරයි. ඉස්සර අපි සත හැත්තෑ පහට විකිණපු බෑගය දැන් රුපියල් එකයි සත විස්සක් පමණ වෙනවා. නමුත් ඒ බෑගය සවි ශක්තිය අඩුයි. ලොකු ගණනක් දීලා වැඩකට නැති දෙයක් තමයි මිනිසුන්ට හම්බවෙලා තියෙන්නේ. ඒක මොන අරමුණකින් කළාද කියන එක දැන් අපිට ගැටලුවක්.”

මේ අනුව මෙම ග්‍රොසරි බෑගය එක පැත්තකින් හිතකර වනවා සේම තවත් පැත්තකින් පාරිභෝගිකයාට සිදුකරනුයේ දරුණු පහර දීමකි. කර්මාන්තකරුවෝද ලොකු අර්බුදයකට මේ වනවිට පත්ව සිටිති. මේ වනවිට ඔවුන් නව ග්‍රොසරි බෑග් නිෂ්පාදන කරමින් පවතී. නමුත් මින් පෙර නිෂ්පාදනය කළ පැරණි නිෂ්පාදන ග්‍රොසරි බෑගයන් විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ ගබඩා කාමරවල ගොඩගැසී තිබේ. ඒවාට යටකළ මුදල ඒ ගොඩටම යටවී හමාරය.

 

♦ දිශානි ජයමාලි කරුණාරත්න