2018 ජනවාරි 06 වන සෙනසුරාදා

රජයේ අණපනත්වලට ජනතා විරෝධය - ජාතික ආර්ථිකයට ත්‍රස්ත බලපෑම්

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 97

2018 ජනවාරි 7 වන ඉරැදින උදේ 6.10ට ග්‍රහමණ්ඩලයේ සෙන්පති වූ අඟහරුත් බුද්ධියට අධිපති වූ බ්‍රහස්පතිත් අතර යුධ සංග්‍රාමයක් ඇති වනු ඇත. සිකුරුට අයත් තුලා රාශියෙහි ගුරුට අයත් විසා නැකතේ දී එකම අංශකයක් තුළ ග්‍රහයින් දෙදෙනා එකිනෙකා පසුකර යාමට උත්සාහ දැරීම මත අඟහරුගේත් බ්‍රහස්පතිගේත් අයහපත් වූ ග්‍රහ කිරණ පෘථිවිය වෙත එල්ලවේ. මෙහි බලපෑම ඉදිරි දින 60ක් යන තුරුම පවතී.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී රට තුළ අපරාධ ක්‍රියාවල ඉහළ යාමක් වාර්තා වන අතර විදුලි කේෂ්ත්‍රය ආශ්‍රිතව ප්‍රශ්න හා අර්බුද ඇති වනු ඇත. ඒ ආශ්‍රිතව කටයුතු කරන ප්‍රධානියකු මෙන්ම නීති අංශයේ ප්‍රධානියකුට මාරක අපල ගෙනදේ. රජය ඉදිරිපත් කරන අනපනත් සම්බන්ධයෙන් මහජන විරෝධය එල්ල වන අතර භූමියේ සෙලවීමක් ද නායයෑමක්ද වාර්තා වනු ඇත. විදේශීය වශයෙන් විමසා බැලීමේදී ත්‍රස්තවාදී ආක්‍රමණ හේතුවෙන් ජාතික ආර්ථිකයට බලපෑම් ඇතිවන අතර රාජ්‍ය ප්‍රධානියකුට මාරක උදාවේ. විදේශ සම්බන්ධතා හා ආයෝජන කටයුතුවලට බලපෑම් ඇතිවන අතර ජල ගැලීම්, සුළි කුණාටු හේතුවෙන් ජන ජීවිතවලට බලපෑම් ඇති වේ.

මේෂ - හවුල පරිස්සමින්

පවුල් දිවියේ සමාදානය අවුල්වීයාමක් ඇති විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ඔබට එරෙහි සැඟවුණු සතුරු බලවේගයක් ක්‍රියාත්මක වන වකවානුක් වේ. හවුල් කටයුතු කිරීමේදී ද කල්පනාකාරීවන්න.

වෘෂභ - ශරීර පීඩා

ඔබගේ කටයුතු අඩපණ වන වකවානුවක් වන අතර හදිසි ශරීර පීඩා ගෙන දෙනු ඇත. සතුන්ගෙන් ශරීර පීඩාවන් ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතුවේ.

මිථුන - අසත්‍ය පුවත්

අනවශ්‍ය බැඳීම් ඇතිවන වකවානුවක් වනු ඇත. හදිසි කේන්ති ගති පාලනය කරගත යුතු වකවානුවකි. අසත්‍ය පුවතක් අසන්නට ලැබීම නිසා කැළඹීමට පත්වනු ඇත.

කටක - රැකියා ගැටලු

ඔබට එතරම් බලපෑම් ඇති නොවූව ද පදිංචි භූමිය හා කරන්නා වූ රැකියාව ආශ්‍රිතව යම් යම් ගැටලු මතුවේ. පවුල් දිවියේ ද සමගියට බාධා ඇතිවනු ඇත.

සිංහ - සහෝදර මතභේද

කාර්මික කේෂ්ත්‍රයේ නියැලි අය තරමක් කල්පනාකාරීව කටයුතු කළ යුතුවේ. තම සහෝදරයන් සමඟ මතභේද උද්ගත වේ. උදව් බලාගෙන එන අයට උදව් කිරීමෙන් ඵල නොලබනු ඇත.

කන්‍යා - තැන්පත් ධනය වැයවේ

තැන්පත් ධනය වියදම් වීමට හේතු ඇතිවන වකවානුවක් වේ. හදිසි ශරීර පීඩා ඇතිවනු ඇත. මිතුරෙකුගේ ක්‍රියාවක් නිසා තමාට ගැටලු උද්ගත වේ. පවුලේ සමගිය ද අඩපණ වේ.

තුලා - පදිංචියේ ප්‍රශ්න

යම් යම් ප්‍රශ්න හේතුවෙන් සිතේ අවිවේකි ගති ඇති වනු ඇත. විශාල අන්දමේ මුදල් ගනුදෙනුවලදී පරිස්සම් වන්න. පදිංචි ස්ථානය ආශ්‍රිතව ගැටලු ඇතිවනු ඇත. හදිසි ශරීර පීඩාවකට ලක්විය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන්න.

වෘෂ්චික - අසත්‍ය පුවත්

ඔබගේ යම් යම් බලාපොරොත්තු කඩ වී යන වකවානුවක් වනු ඇත. තමන්ට එරෙහි අසත්‍ය පුවත් ප්‍රචලිත වනු ඇත. විශාල ධන හානි ඇති බව බැවින් ගනුදෙනුවලදී කල්පනාකාරීවන්න.

ධනු - සමාජ සේවාවලට හොඳයි

හවුල් කටයුතු සඳහා බාධා වීම් ඇතිවන අතර සමාජ සේවා කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. විරුද්ධ ලිංගිකයන්ගෙන් තමන් හට උදව් උපකාර අත්වන වකවානුවකි.

මකර - හදිසි කේන්ති ගති

භූමිය ආශ්‍රිත ප්‍රශ්න ඇතිවන අතර හදිසි කේන්ති ගති හේතුවෙන් සේවා ස්ථානයේ අනිකුත් සේවකයන් තමා සමඟ අමනාකම් ඇති කරගනු ඇත. පතල් ආශ්‍රිතව කටයුතු කරන අය ප්‍රවේසම් වීම වැදගත්ය.

කුම්භ - විදේශ ගමන් 

ඔබට එතරම් අයහපත් නොවන අතර සහෝදරයන් සමඟ ගැටලු මතුවන බැවින් කල්පනාකාරීව ඉවසීමෙන් කටයුතු කළ යුතුවේ. දුරගමන් විදේශ ගමන් යාමට අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත.

මීන - ශාරීරික පීඩා

මිතුරන්ගෙන් යම් යම් ප්‍රශ්න ඇතිවන බැවින් හොඳ කල්පනාවෙන් කටයුතු කිරීම වැදගත් වේ. තමන්ගේ කටයුතුවලට ද බාධා ඇතිවන අතර හදිසි ශාරීරික පීඩා ද ඇතිවනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය ඔලබොඩුව, ගෝනපල.