2018 ජනවාරි 06 වන සෙනසුරාදා

රට රත්කරන ඡන්ද නැකතක්

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

පළාත් පාලන මැතිවරණය පවත්වන දෙදහස් දහ අටේ පෙබරවාරි දහ වෙනිදා අව දශවක තිථිය සහිතව එදින මර පක්ෂියා වන කුක්කුට පක්ෂියාට හිමි දෙට නැකතට අයත් වන්නා වූ දිනයක් වෙයි. පෙ.ව. 06.29ට සූර්ය උදාව සිදු වෙමින් මකර ලග්නයේ කන්‍යා නවාංශකය ක්‍රියාත්මක වෙද්දී මුල් විනාඩි 48 මාරාන්තික අශුභ ඵල උදා කරනු ලබන මූසළ නම් වූ අටවිසි මහා යෝග අතර පවතින විනාශකාරී යෝගය ද ක්‍රියාත්මක වෙයි. එවිට මකර ලග්න කුණ්ඩලියේ රාජ්‍ය ස්ථානයේ ගුරු ග්‍රහයා ද පාර්ලිමේන්තු නිවේදක ස්ථානයේ කුජ චන්ද්‍ර දෙදෙනා ද තැන්පත්ව සිටිමින් හවුල් බන්ධන ස්ථාන රාහු ආක්‍රමණයකොට ඇත.

මේ අනුව පෙනී යන්නේ මැතිවරණය දා මිනිස් සිත කුපිත කරවන ග්‍රහචාරයක් ක්‍රියාත්මක වන බවය. පෙ.ව. 06.43 පමණ වනවිට ලග්න මාරුව කුම්භයට සිදුවීමත් සමඟ රවි ශනි යුවල රෝහල් බන්ධනාගාර නිවේදක ස්ථානයට පත් වීමේදී උපක්‍රමශීලී රාහුගේ සප්තමට දෘෂ්ටියට ලක් වන්නේය. 

එවිට ඡන්දය ප්‍රකාශ කෙරෙන මුල් පැය දෙක තුළ ඡන්දදායකයින්ගේ ද මනස අවුල් සහගත වනු ඇත. තමා විසින් භාවිත කළයුතු ඡන්ද ලකුණු පිළිබඳව ද ආකූල ව්‍යාකූල තත්ත්වයකට පත් වීමට ඉඩ තිබේ.

මේ නිසා මැතිවරණ ඉතිහාසය තුළ නරක්වන ඡන්ද සංඛ්‍යාව මෙම මැතිවරණයේදී වාර්තා තබමින් ඉහළ යනු ඇත. සියලුම වගකිවයුතු පාර්ශව ඡන්දය පාවිච්චි කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම වැදගත්ය. 

1999.12.31 රාත්‍රී දොළහට ක්‍රි.ව 2000 සිට 2100 දක්වා බලපවත්වන සංවත්සර උදා රාශ්‍රි කේන්ද්‍රයේ රාහු තැන්පත් ස්ථානයෙන් හත්වැන්නේ රවිද නමවැන්නේ කුජ ද ගමන් ගන්නා 2018.02.10 වෙනිදා දිනයේදී බන්ධනාගාරගතවන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇත. රෝහල්ගතවන්නන්ගේ සංඛ්‍යාව ද ඉහළ යයි. මේවාට තදාසන්න හේතුව වන්නේ මැතිවරණ ආධාරකරුවන්ගේ නොසන්සුන් තත්ත්වයන්ය. 

මේ නිසා අවම වශයෙන් සාමය සුරැකීම සඳහා පොලිස් ඇඳිරි නීතිය හෝ යෙදවීමට වෘශ්චිකයේ සහ කුම්භයේ ක්‍රියාත්මක වන කුජ ශුක්‍ර ග්‍රහ යුවල ක්‍රියා කරනු ඇත. දෛවෝපගත සිදුවීම වන්නේ සංවත්සර ආරම්භක දිනයේදී කුම්භයේ සිටි කුජ මතට ද වෘශ්චිකයේ සිටි සිකුරැ මතට ද ශුක්‍ර හා කුජ දෙදෙනා පැමිණ සිටීමය. 

මේ නිසා සියලුම දේශපාලන පක්ෂ නායකයින් විසින් තමාගේ විපක්ෂයට තරග කරන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ මෙන්ම අධාරකරුවන්ගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාව පුරා ප්‍රසිද්ධ වේදිකාවලදී පරෙවියන් ගුවනට නිදහස් කර යවන දේවාශිර්වාද ලබා ගත යුතුයි.

තවද ශ්‍රී ලංකාව පාලනය කරන ශ්‍රී විෂ්ණු දෙවියන්ට පුද පූජා තබා අවංකව ලක්බිම සුරකින පාලනයක් ගෙන යන බවට ප්‍රතිඥාවක් ලබා දෙමින් බාරහාර වීම් සිදුකොට ශ්‍රී ලංකාවාසී සමස්ත ජනතාවම ආරක්ෂා කර දෙන ලෙසට යැදීම ද පක්ෂ නායකත්වයන් විසින් සිදුකරනු ලබන්නේනම් සිදුවිය හැකි ව්‍යසනයන් අවම කරගත හැක.

ජයග්‍රාහී බලය ලබාදිය යුතු පක්ෂය කුමක්දැයි කියා ග්‍රහ බලය විසින් දැනටමත් තීන්දුකර හමාරය. 

ජ්‍යොතිර් විද්‍යාර්ථි
ගාල්ලේ, තලගන අක්මීමන
සුරා ශ්‍රී ගුණවර්ධන