2017 ජනවාරි 07 වන සෙනසුරාදා

කටුනායක නිවාඩුවෙන් මහජරමර

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 347

 

ජනවාරි 06 සිට අප්‍රේල් මස 06 වැනිදා දක්වා දිනකට පැය 8ක පමණ කාලයක් තුළ ගුවන්තොටුපොළ වසා තබනවා. ඒ අනුව පැය 16ක කාලයක් තමයි අපිට ඉතිරිව තිබෙන්නේ. මේ කාලය තුළ මගියා ආරක්ෂිතව ගමනාන්තය දක්වා ගෙනයාම තමයි අපගේ අභියෝගය වී තිබෙන්නේ.

මෙම අත්‍යවශ්‍ය අලුත්වැඩියා සහ නවීකරණ කටයුතු සඳහා උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා කාලය තුළ ගුවන්තොටුපොළ වසා දැමීම හේතුවෙන් පෞද්ගලික, ව්‍යාපාරික කටයුතු මෙන්ම රටේ ආර්ථිකයට මහඟු දායකත්වයක් සපයන විදේශ සේවයට යන මගීන්ට මහත් අර්බුදකාරී සිදුවීම් රුසකට මුහුණපෑමට සිදුවීම වැළැක්විය නොහැක.

2001 වසරේ සිට පාලන බලයට පැමිණි ආණ්ඩුවල කඹ ඇදිල්ලෙන් ප්‍රමාදයට පත්වෙමින් තිබූ මෙම ගුවන් පථය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඇරඹීම යහපත් වුවද ඒ හේතුවෙන් මගීන්ට මුහුණදීමට සිදුවන අපහසුතා රැසකි. ගුවන්තොටුපොළ පරිහරණය කරන මගියා නියමිත වේලාවට වඩා පැය 05ක් ඉදිරියෙන් ගුවන් තොටුපළට පැමිණිය යුතු වීම එක් අපහසුතාවකි. මේ පිළිබඳව එක් මගියකු මාධ්‍යයට පවසා තිබුණේ මෙරට සිට ඉන්දියාවේ චෙන්නායි දක්වා විනාඩි 55ක් වූ දක්වා කාලයකදී ගමන් කළ හැකි වුවද පැය 5කට පෙර ගුවන්තොටුපළට පැමිණීමට සිදුවීම නිසා දැන් එම ගමනට පැය 6ක් ගතවන බවය.

පවුලේ සාමාජිකයකු රට යනවිට මීට පෙරදී නෑ හිතමිත්‍රාදීන් සමඟ ගුවන්තොටට පැමිණිය හැකි වුවත් මේ වනවිට පර්යන්තයට පැමිණිය හැක්කේ ගුවන් මගියාට පමණි. ගුවන් තොටුපොළෙහි පවතින තදබදය අවම කර ගැනීම මෙහි අරමුණයි. වයස්ගත අයකු හෝ කුඩා දරුවකු සමඟ මෙම කාලය තුළදී එක් අයකුට පමණක් ගුවන්තොටුපළට ඇතුළු විය හැක.

දිගින් මීටර 3350ක් හා පළලින් මීටර 45කින් යුත් මෙම ගුවන් පථය කැනඩා රජයේ මූල්‍යාධාර මත ඉදිවූයේ 1963 වසරේදීය. නෙදර්ලන්ත සමාගමක අධීක්ෂණය යටතේ චීන සමාගමක් මගින් මෙහි නවීකරණ කටයුතු සිදුකරන අතර ඒ සඳහා රුපියල් කෝටි 720ක පමණ මුදලක් වැයවනු ඇති. නවීන තාක්ෂණය යටතේ මෙම ගුවන් පථයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන අතර ගුවන් ගමන් ධාවනය එදිනෙදා යළි ඇරැඹීමට පැය දෙකකට පමණ පෙර එහි අලුත්වැඩියා කටයුතු නතර කරනු ඇති. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන කාලය තුළදී මත්තල ගුවන්තොටුපොළ භාවිත කිරීමට නොහැකිවන්නේ මන්ද යන කාරණය බොහෝ දෙනාට මතුවන පැනයකි. ඒ සම්බන්ධයෙන් ගුවන් සේවා සමාගමේ සැලසුම් නිර්මාණ පිළිබඳ සිවිල් ඉංජිනේරු අංශයේ ප්‍රකාශකයෙක් දේශයට මෙලෙස අදහස් දැක්වීය. කටුනායකට පැමිණෙන සෑම ගුවන් යානයකම ගමනාන්තය වන්නේ ලංකාව නෙවෙයි. සමහර ගුවන් යානා තිබෙනවා ඒවා තම ගුවන් මගෙහි අතරමැදි ගුවන්තොටුපොළක් ලෙස තමයි කටුනායකට පැමිණෙන්නේ. එම ගුවන් යානා මත්තලට ගියොත් එහි සමහර පහසුකම් නොමැතිකමින් මගීන් අපහසුතාවයට පත්වෙනවා. අනික සතියකට ගුවන් ගමන් 1126ක් විතර සිදුවෙනවා. ඉන් 130ක් පමණ ප්‍රමාණයක් තමයි අඩුවෙන්නේ. එය සාමාන්‍යයෙන් බැලුවොත් වෙන්නේ ගුවන් ගමන්වාර 10%ක විතර අඩුවීමක්. අනික කටුනායක ගුවන් ගමන් වැඩිහරියක් සිදුවෙන්නේ රාත්‍රී කාලයේ මේ ගුවන් පථය වසර ගණනාවකින් අලුත්වැඩියා කර නැහැ.

ගුවන් පථයෙහි අලුත්වැඩියා හේතුවෙන් ගුවන් ගමන් වාර 400ක් පමණ අවලංගුකර තිබේ. එය සතියකට ගමන් වාර 45ක් පමණ වන බව ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කරයි.

මෙලෙසින් ගුවන්තොටපොළ නවීකරණය හේතුවෙන් ගමන් වාර කාලසටහන වෙනස් කරවා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සෙසු රටවලින්ද උදව් ඉල්ලා තිබිණි. චීනය පමණක් එයට සහයෝගයක් දක්වා තිබුණේ නැත. ශ්‍රී ලංකා ගුවන් සමාගම චීන ගුවන් ගමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ සතියකට පැය 4ක් ඉදිරියට ගැනීමට හැකි වන සේ කාලසටහන සකසා දෙන ලෙසට සහාය දක්වන ලෙසටය. නමුත් එම ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබුණේ කාර්යබහුලත්වය හේතුවක් වශයෙන් සඳහන් කරමිනි. බීජිං සහ ෂැන්හයි ගුවන්තොටුපොළවල්වලින් මේ ඉල්ලීම සිදුකළද ඔවුන් එය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසන්නේ එය දේශපාලන තීන්දුවක් බවයි.

ලොව කාර්යබහුලම ගුවන් තොටුපළක් ලෙස හැඳින්වෙන ලන්ඩන්හි හීත්‍රෝ ගුවන් තොටුපළ පවා ශ්‍රී ලංකාව වෙනුවෙන් කාලසටහන වෙනස් කිරීමට සහාය ලබා දුන්නේ චීනය විසින් මෙසේ ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිල්ලක් දක්වා තිබියදීය.

චීන ගුවන්සේවා බලාධිකාරියේ මෙම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වඩාත් අපහසුතාවට පත්වන්නේ කොළඹ බීජිං-ෂැංහයි ගුවන්තොටුපොළවල් කරා ගමන් ගන්නා චීන ජාතික මගීන්ටය. ශ්‍රී ලංකාව සහ චීනය අතර ගමන් කාලය වෙනස් නොකිරීම නිසා මගීන්ට දැන් සිදුව ඇත්තේ කටුනායකින් ගුවන් ගත වී මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළෙහිදී පැය කිහිපයක් රැඳී සිටීමටය.

ගුවන් යානා නියමුවන් මෙන්ම ගුවන් සේවිකාවන්ටද පෙර තිබූ ආරක්ෂක වැඩපිළිවෙළ අත්හිටුවමින් විකල්ප මාර්ගයක් ඔස්සේ නියමිත යානයට ළඟාවිය හැකි ආකාරයට අලුත් සැලැස්මක් මේ වනවිට සකසා ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. මගීන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක්ද මේ වනවිට ගුවන් තොටුපොළ විසින් ක්‍රියාවට නංවා ඇත.

ශ්‍රී ලංකා ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකාර දීපාල් වී. පෙරේරා මහතා ගුවන්තොටුපොළ අලුත්වැඩියා කටයුතු අතරතුරදී ගුවන්තොටුපොළ කාර්යභාරය පිළිබඳව මෙලෙස පැහැදිලි කිරීමක් සිදුකළේය.

ජනවාරි 06 සිට අප්‍රේල් මස 06 වැනිදා දක්වා දිනකට පැය 8ක පමණ කාලයක් තුළ ගුවන්තොටුපොළ වසා තබනවා. ඒ අනුව පැය 16ක කාලයක් තමයි අපිට ඉතිරිව තිබෙන්නේ. මේ කාලය තුළ මගියා ආරක්ෂිතව ගමනාන්තය දක්වා ගෙනයාම තමයි අපගේ අභියෝගය වී තිබෙන්නේ. ඒ වගේම තමයි නවීකරණයට පෙර ගමන් ගන්නා මගීන් පැය 3කට කළින් ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතව සිටියත් මගීන්ගේ පහසුව සඳහා සහ ආරක්ෂාව සඳහා පැය 5කට පෙර ගුවන්තොටුපොළට පැමිණෙන ලෙස ගුවන් ගමන් මගීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. මගීන්ට කිසිදු අපහසුතාවයකින් තොරව නියමිත ගමන්වාරය සඳහා යාමට අවශ්‍ය විධිවිධානවලට පහසුකම් සැලසීම සඳහා තමයි අප මේ පියවර අරගෙන තියෙන්නේ. ඒ වගේම ගුවන් යානාව ගුවන් ගතවීමට පැයකට පෙර අපි කවුන්ටරය වහනවා. එහෙම කරන්නේ මගීන්ගේම යහපත සඳහායි. ගුවන්තොටුපොළ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනකාලය තුළදී එක් මගියකු ප්‍රමාද වුවත් විනාඩි 15ක් 30ක් වගේ කාලයක් ප්‍රමාද වෙලා අපි ගුවන්වාරය ආරම්භ කළ අවස්ථාද තිබෙනවා. නමුත් දැන් අපිට එහෙම සිදුකරන්න බැහැ. හවස 4.30 සිට උදෑසන 8.30 දක්වා ගුවන් තොටුපොළ ක්‍රියාත්මක වන කාලය තුළ සතියකට ගුවන් ගමන් වාර 499ක් පමණ සිදුවෙනවා. එය දවසට 71ක් ලෙස තමයි සටහන් වන්නේ. ඉතින් එය විශාල අභියෝගයක්. ඒ වගේම පැමිණෙන මගීන් පරීක්ෂාව සඳහා අපි කවුන්ටර් 55ක් පමණ විවෘත කර තිබෙනවා. බීජිං සහ ෂැන්හයි බලා යන ගුවන් යානා මත්තලට ගිහිල්ලා තමයි යන්නේ. ඒකට ඕන විධිවිධාන අපි සූදානම් කරලා තිබෙනවා මේ වනවිට. මේ අපහසුකම් තාවකාලික බවත් සැලකිය යුතුයි.

ගමන් වාර කීපයක්ම අවලංගු කර තිබෙන අතර ඒවා මෙසේය.

• UL 308 කොළඹ - සිංගප්පූරුව සහ UL 309 සිංගප්පූරුව - කොළඹ
• UL 127 කොළඹ - චෙන්නායි සහ UL 122 චෙන්නායි - කොළඹ
• UL 133 කොළඹ - ට්‍රිච් සහ UL 132 ට්‍රිච් - කොළඹ
• UL 115 කොළඹ - මාලේ සහ UL 102 මාලේ - කොළඹ
• UL 167 කොළඹ - කොචින් සහ UL 166 කොචින් - කොළඹ
• UL 173 කොළඹ - බැංගලෝර් සහ UL 174 බැංගලෝර් - කොළඹ

අවලංගු කර ඇති අදාළ ගමනාන්ත වෙත එම දිනයන්හිම වෙනත් කාලසටහනක් යටතේ නොනවත්වා ශ්‍රීලංකන් ගුවන් සේවය මෙහෙයුම් සිදුකරනු ඇති. ගමන් වාර කිහිපයක් සඳහා විකල්ප කාල සටහනක්ද ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් ඉදිරිපත් කර ඇත. ඒවා මෙසේය.

• UL 868 කොළඹ - බීජිං
• UL 866 කොළඹ - ෂැංහයි
• UL 402 කොළඹ - බැංකොක් සහ UL 403 බැංකොක් - කොළඹ
• UL 318 කොළඹ - ක්වාලාලාම්පූර් සහ UL 319 ක්වාලාලාම්පූර් - කොළඹ
• UL 306 කොළඹ - සිංගප්පූරුව සහ UL 307 සිංගප්පූරුව - කොළඹ
• UL 161 කොළඹ - ට්‍රිවෙන්ඩ්‍රම් සහ UL 162 ට්‍රිවෙන්ඩ්‍රම් - කොළඹ
• UL 195 කොළඹ - නවදිල්ලිය සහ UL 196 නවදිල්ලිය - කොළඹ
• UL 183 කොළඹ - කරච්චි සහ UL 184 කරච්චි - කොළඹ

මෙලෙස ගුවන් තොටුපොළ අලුත්වැඩියාවට වැසීමෙන් පසුව මාස තුනක පමණ කාලයක් ගුවන්තොටුපොළ අවට මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවට නිවේදනයක් පසුගියදා පොලිස් මූලස්ථානය මගින් නිකුත් කෙරිණි.

එම විශේෂ රථවාහන සැලැස්ම මෙසේය.

අධිවේගී මාර්ගය 18 කණුව, කොළඹ හලාවත දෙස සිට පැමිණෙන වාහන - අධිවේගී මාර්ගයේ 18 කණුව කොළඹ සහ හලාවත දෙසින් ගුවන් තොටුපළට පැමිණෙන වාහන ගුවන් තොටුපළ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී පරණ JVP පර්යන්තය හරහා පිටවීමේ හා පැමිණීමේ පර්යන්තවලට ගමන් කළ හැකිය.

අධිවේගී මාර්ගය ඔස්සේ 18 කණුව සිට මිනුවන්ගොඩ කුරුණෑගල දක්වා ගමන්කරන වාහන - ඇවරියවත්ත නගරය දෙසට හැරී මල්ගස්හන්දිය කෝවින්න මාර්ගය ආඬිඅම්බලම පල්ලිය හන්දියෙන් මිනුවන්ගොඩ දෙසට හෝ හීනටියන යාගොඩමුල්ල මාර්ගයෙන් මිනුවන්ගොඩ දෙසට ප්‍රවිශ්ට විය හැකිය.

ගුවන් තොටුපළ අධිවේගී මාර්ගය 18 කණුව දෙසට පිටවී යන වාහන - ගුවන් තොටුපොළ ප්‍රධාන ඇතුළත් වීමේ දොරටුවෙන්ම නැවත පිටවිය හැකිය.

මිනුවන්ගොඩ සිට පැමිණෙන වාහන - මිනුවන්ගොඩ ගම්පහ හා කුරුණෑගල දෙස සිට ගුවන්තොටුපළට පමණක් පැමිණෙන වාහන ආඬිඅම්බලම නයිකන්ද මාර්ගයේ ගුවන් තොටුපොළට පැමිණ ගේට්ටු අංක 37න් ඇතුළු වී පැමිණීමේ සහ පිටවීමේ පර්යන්තවලට යා හැක.

මිනුවන්ගොට ගම්පහ කුරුණෑගල දෙස සිට කටුනායක අධිවේගී මාර්ගයට 18 කණුව දෙසට ගුවන් තොටුපළට ගමන් නොකරන වාහන - කොළඹ කුරුණෑගල - යාගොඩ හන්දියෙන්ද පීල්ලවත්ත කුරුස හන්දියෙන්ද හැරී මාදුව මල්ගස්හන්දිය මාර්ගයෙන් ආඬිඅම්බලම හන්දියෙන් හරවා කෝවින්න මල්ගස්හන්දිය මාර්ගයේ ඇවරියවත්ත නගරය හරහා සීදූව අධිවේගී මාර්ගයේ 18 කණුව දෙසට ගමන් කළ හැකිය. ආයෝජන ප්‍රවර්ධන කලාපයට ඇතුළුවන වාහන - කටුනායක පොලීසිය ඉදිරිපිට ප්‍රධාන දොරටුවෙන් හා ආයෝජන ප්‍රවර්ධන කලාප අංක 3 දොරටුවෙන් ඇතුළු විය හැකිය.

මිනුවන්ගොඩ, ගම්පහ, කුරුණෑගල දෙස සිට ආයෝජන ප්‍රවර්ධන කලාපයට දෙසට ගමන් කරන වාහන - කොළඹ කුරුණෑගල යාගොඩමුල්ල හන්දියෙන්ද පීල්ලවත්ත කුරුස හන්දියෙන්ද හැරී මාදුව මල්ගස්හන්දිය මාර්ගයෙන් හා ආඬිඅම්බලම හන්දියෙන් හරවා මල්ගස්හන්දිය කෝවින්න මාර්ගයේ ඇවරියවත්ත නගරය හරහා පොලිසිය ඉදිරිපිට ඇති ප්‍රධාන දොරටුව හා 2 හන්දිය හරහා තොරණ හන්දියෙන් ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පළමු දොරටුවෙන් ඇතුළු විය හැකිය.

ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළින් පිටවන වාහන - මල්ගස්හන්දිය කෝවින්න මාර්ගයෙන් ආඬිඅම්බලම දෙසින් මිනුවන්ගොඩට හා හීනටියන යාගොඩමුල්ල හන්දියෙන් මිනුවන්ගොඩ දෙසට හා ගම්පහ - ජා-ඇල දෙසට ගමන් කළ හැකිය.

මාස තුනක පමණ කාලයකින් පසුව මෙම ගුවන් පථය සම්පූර්ණයෙන් නවීකරණය කොට අවසන් කිරීමට නියමිතය. එයින් අනතුරුව අප රටටද විශාල ගුවන් යානා පැමිණීමට පහසුකම් සැලසීම තුළින් සංචාරකයන් විශාල ප්‍රමාණයක් රටට ඇතුළු කිරීමට හැකියාව ලැබේ. එය රටේ ආර්ථිකයට නව ජවයක් එක්කරනු ඇතැයි ගුවන් තොටුපොළ බලධාරීන්ගේ විශ්වාසයයි.

හසිත් අංජන

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00