2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

කිස් නැති ලව්!

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 478

ගම්පහ පොලීසිය ලැගුම්පොළක් වටලා යුවල තුනක් අල්ලයි - පුවතක්! 

ආ.. ද..ර..ය.. කියන වචන තුනට තියෙන්නේ පුදුමාකාර බලයක්. අකුරු මහාප්‍රාණ නොවුණත් මහාප්‍රාණ වචනයක් තමයි ආදරය කියන්නෙ. ඒ වචනෙට අදාළ මහාප්‍රාණ ගතිය කොයි භාෂාවටත් පොදුයි. ඒත් අපේ රටේ මිනිස්සු ආදරයට හිමි මහාප්‍රාණ බව හරිම කුජීත විදිහට අල්පප්‍රාණ කරන්න සූරයෝ. ඇත්තටම ආදරයට ආදරය නොකිරීම නිසා මතුවෙන කුජීත බවක් තමයි ඒක. 

අපි ජාතියක් විදිහටම ආදරේ කිරීමේදී අසමත් ජාතියක් ද කියලා හිතෙන තරමට අපි මහා සංස්කෘතික වැස්මකින් අපේ ආදර හැඟීම් වහගන්නවා. පූජනීය ආදරේ කියලා එකක් ප්‍රමෝට් කර කර ඒක තුළ ලිංගිකත්වය හෝ කාමය කියන දේ බිංදුවක්වත් නෑ කියලා කියන්නයි අපේ මිනිස්සු උත්සාහ ගන්නෙ. ඒත් ගැහැනියක් සහ පිරිමියෙක් අතින් අත අල්ලාගෙන ඉන්න එක තුළ පවා තියෙන්නෙ යම් තරමකින් කාමය පිරුණු සොඳුරු හැඟීමක්. සංස්කෘතිය කියලා එකක් මිනිහා පස්සෙ හදාගත්තට මේ විදිහට ඇතිවෙන කාමය සහිත සොඳුරු හැඟීම අතිශය ස්වභාවිකයි. 

සංස්කෘතිය කියලා කියන්නේ නරක දෙයක් නෙමේ. ආගම, චාරිත්‍ර වාරිත්‍ර වගේ ගොඩක් දේවල් එකට එකතු වෙලා හැදෙන සංස්කෘතියක් කියන්නෙ මිනිස්සුන්ගෙ අනන්‍යතාවය පිළිබිඹු කරන තැනක් බව ඇත්ත. ඒත් සංස්කෘතිය නාමෙන් අපේ ඇඟ ඇතුළෙ, මොළ ඇතුළෙ, කොටින්ම හදවතේ තියෙන ඇත්ත හැඟීම් යටපත් කරගන්නව නම් අර කිව්වත් වගේ සාරධර්මෙ බලු බල්ලට ගිහින් සදාචාරෙ මකබෑවිලා ගිහින් සංස්කෘතිය වලපල්ලට ගියාට කිසිම කාරියක් නැහැ. 

අපේ රටේ කෙල්ලන්ට කොල්ලන්ට ආදරය කරන්න හරිහමන් තැනක් නෑ. ගල්කිස්සෙ වෙරළෙ ගල් අස්සෙ, ඒසී බස්වල මුළු අස්සෙ, ෆිල්ම් හෝල් එකේ බොක්ස් එකේ තමයි උන්ට ලව් කරන්න වෙලා තියෙන්නෙ. එහෙමත් නැත්නම් රූම් එකක් කුලියට ගන්න වෙනවා. වරද්දගන්න එපා! මේ කියන්නෙ සෙක්ස් ගැන නෙමේ. කොල්ලා කෙල්ලගෙ අතින් අල්ලන එක, මූණට තොලට හාදුවක් දෙන එක, එකිනෙකාව වැළඳගන්න එක වගේ ආදරයක් තුළ තියෙන බොහොම සාමාන්‍ය දේවල්වලට පවා අපිට ඔය තැන් අවශ්‍ය වෙනවා. 

හැබැයි කැම්පස්වල තත්ත්වය සියයට සියයක් නොවුණත් යම් මට්ටමකට හොඳයි. අපේ රටේ හැම කැම්පස් එකකම ඉන්නෙ වයස අවුරුදු දහ අටට වඩා වැඩි තරුණ කට්ටියක්. ඉතින් පිටත සමාජෙන් ටිකක් ඈත් වුණු කැම්පස් එකටම අනන්‍ය වෙච්ච උප සංස්කෘතියක් එතැන තියෙනවා. ඒ ඇතුළෙ යම් විදිහකට ආදරණීය දැවටිලි, වැළඳගැනීම් වගේම හාදුවලටත් පිටතට වැඩි නිදහසක් තියෙනවා. ඒත් ඒක ප්‍රමාණවත් නැහැ කියලත් කියන්න ඕනෙ. මොකද බංකුවක් උඩට වෙලා අරව මේවා කිය කියා ටයිම් පාස් කරන කැම්පස් ජෝඩුවකට නිදහසේ කිස් කරන්න ලැබෙන්නෙ හැන්දෑවෙ හතට විතර පස්සෙ අඳුරු වැටීගෙන එද්දියි. එහෙම නැතුව මහ දවාලෙ කිස් කරන්න ගියොත් පංති තහනමට ලක්වෙන්නත් බැරි නෑ. 

ආදරේදි මතුවෙන සහ මතුවිය යුතු කායික ප්‍රකාශන ටික සොඳුරු විදිහට එළියට දාන එක අපි සමාජෙට දෙන්න ඕනෙ ගෙදරින්. අපේ රටේ සාමාන්‍ය පවුලක ළමයින්ට තමන්ගේ අම්මා තාත්තා රණ්ඩු කරගන්න එක එළිපිට පෙනුනත් ඒ දෙන්නා අතර තියෙන ආදරේ දකින්න ඉඩක් නෑ. නමුත් බටහිර රටක අම්මා තාත්තා සිපගන්න එක ඒ ළමයින්ට පොඩ්ඩක්වත් අමුතු දෙයක් නෙමේ. (හැබැයි ළමුන් ඉස්සරහා කරන ඒ සිපගැනීම් සරාගී සිපගැනීම් නෙමෙයි. බොහොම ආදරණීය සහ ගෞරවය මුසු වෙච්ච සිපගැනීම්) අපේ රටේදී සිප ගැනීම තියා අම්මා තාත්තා අතර ආදර දෙබසක් පවා හරිම අමුතු එකක් වෙලයි තියෙන්නෙ. 

මේ තත්ත්වෙ උඩදි කසාද ජීවිතයක් තුළ ආදරේ එක්ක ගැලපෙන කායික ප්‍රකාශන ටික මොකක්ද කියන එක අපි පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරන්නෙ නැහැ. හැබැයි අනූවෙන් පස්සෙ කාලෙදි ජීවිතේට කවදාවත් ප්ලේන් එකක නැගලා නැති එකාටත් හොලිවුඩ් චිත්‍රපටවලින් බටහිර දකින්න වරම් ලැබුණු හින්දා දැන් දැන් එළිපිට ආදරේ කිරීම අමුතු දේකුත් නෙමේ. 

ආදරේ ගැනත් ගැහැනිය සහ පිරිමියා අතර තියෙන විරුද්ධ ලිංගික ගනුදෙනුව ගැනත් තව තවත් විවෘතව දකින්න නම් අපිට ඒ වගේ සංස්කෘතියක අවශ්‍යතාව තදින්ම දැනෙනවා. 

• ජා