2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ඡන්ද කාලෙට එන නත්තල් පප්පලා

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 123

හැත්තෑ හතෙන් පසු මෙරට දේශපාලන සංස්කෘතිය ගමන් ගත්තේ ගැඹුරු ආගාධයක් දෙස හැරුණු රොකට්ටුවකට සමාන ගමනකි. යහපත් සමාජයක් හදන බවට දුන් පොරොන්දු පුස්සක් බව අමු අමුවේම පිළිබිඹු කරමින් මුළුරටම තම අඬුවලින් වසාගන්නට මේ දේශපාලන බූවල්ලාට හැකිවිය. වර්තමානයේ අප රට තුළ පවත්නා දේශපාලන වටපිටාව පවතින්නේ අතිශයින්ම ජර්ජීර්ණ වූ බඩගෝස්තරවාදී, ගෝත්‍රික තැනක ය. මේ ගෝත්‍රික බඩගෝස්තරවාදී බව හොඳින්ම පෙනෙන්නේ මැතිවරණයක් ක්‍රියාත්මක වන විට ය.

මැතිවරණයකදී දේශපාලුවන් විසින් ජනතාවට ලොවෙත් නැති සිහින පෙන්වා මුලාවේ දමන අතරතුර පෝෂණ මල්ලේ සිට, පාසල් පොත් කට්ටලයේ සිට කුකුළු පැටවුන්, එළ හරකුන් දක්වා විවිධ දෑ ජනතාවට බෙදාදෙමින් ඔවුන්ගේ ඡන්දය ගසාකන්නට පවත්නා හුරුව ඇත්තෙන්ම හිරිකිතයකින් තොර ලාංකික දේශපාලනය පිළිබඳ හොඳම පිළිබිඹුවකි. පැවැති සෑම අාණ්ඩුවක්ම මෙම වරදට වගකිව යුතුය. 

තොරතුරු දැනගැනීමේ අයිතිය

පසුගියදා රූපවාහිනී සංවාදයකට එළඹෙමින් මැතිවරණ ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසූයේ තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ මෙවර මැතිවරණයට අදාළව ජනතාවට නැඟෙන බොහෝ ගැටලු නිරාකරණය කරගත හැකිවනු ඇති බව ය.

මැතිවරණය අතරතුර භාණ්ඩ බෙදාහැරීමේ සිදුවීම්වලට අදාළව ද ඒ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිය නිසි පරිදි භාවිත කිරීමේ අවස්ථාව මහජනතාවට හිමිවේ. එනම් යම් භාණ්ඩ බෙදාදීමක් සිදුවුවහොත් ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ අදාළ නිලධාරීන්ගෙන් ඒවා කුමන ප්‍රතිපාදන යටතේ ලැබුණු භාණ්ඩ ද ඒවා සඳහා අදාළ මුදල් උපයාගනු ලැබුවේ කෙලෙසින්ද ආදී කරුණු හෙළිකර ගතහැකිවනු ඇත. නමුත් අවාසනාවකට මෙරට තොරතුරු දැනගැනීමේ අයිතිය තවමත් පවතින්නේ ළදරු වයසේ ය. වෙසෙසින්ම භාණ්ඩ බෙදීම ආදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් යහමින් සිදුවන ග්‍රාමීය ප්‍රදේශවල සිදුවීම් පිළිබඳ ජනතාව කොතෙක්දුරට විමසිලිමත්ව සොයා බලයිද යන කාරණය පැහැදිලි නැත.

සිල් රෙදි

මෑත කාලයේදී මහත් ආන්දෝලනයකට ලක්වුණු අධිකරණ ක්‍රියාමාර්ගයක් ලෙස මීට මාස කිහිපයකට ඉහතදී කතාබහට ලක්වුණු සිල් රෙදි නඩුව සිහිපත් කළ හැක. 2015 ජනාධිපතිවරණ සමයේදී දිස්ත්‍රික්ක රැසක ජනතාව වෙත සිල් රෙදි බෙදාදීමට එවක රාජ්‍ය තන්ත්‍රය කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව පැවැති මෙම නඩුව මැතිවරණයකදී භාණ්ඩ බෙදාදීම සම්බන්ධයෙන් වූ ජනතා අදහස් නව මානයකට ගෙනඒමට සමත්විය. මෙම නඩුව හේතුවෙන් එවක රජයේ සිටි ඉහළම රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු වූ මොවුන් දෙදෙනා හට දින කිහිපයක් බන්ධනාගාරයේ ගෙවීමට පවා සිදුවිය. 

සිල්රෙදි බෙදීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇත්ත නැත්ත කවරක් වුවත් එම නඩු ක්‍රියාමාර්ගය සමඟ මෙරට රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය තුළ ඇතිවුණු ස්වාධීනත්වය ධනාත්මක පියවරක් ලෙස ගිනිය යුතුය. මන්ද යත් දේශපාලන විද්‍යාවේදී රටක ස්ථීර විධායකය ලෙස සැලකෙන රාජ්‍ය පරිපාලන අංශය මෙතෙක් කලක් මෙරට ක්‍රියාත්මක වූයේ දේශපාලකයින්ගේ එහෙයියන් රැළක් ලෙසිනි. එම තත්ත්වය මේ වනවිට මුළුමනින් හරිගැස්වී නොමැති වුවත් අනුන්ගේ පව් තමන්ගේ කර පිටින් යවා ගැනීමට වඩා විශ්‍රාමය සුදුසු බව බොහෝ රාජ්‍ය නිලධාරීන්ගේ මතය බවට පත්කරන්නට සිල්රෙදි නඩුව දැක්වූ දායකත්වය මහත් ය.

යහපාලන බෙදිල්ල

ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් ගාල්ල, මොනරාගල, මහනුවර සහ කොළඹ ආදී දිස්ත්‍රික්ක ගණනාවක ඡන්දදායකයින්ට අල්ලස් වශයෙන් බඩු බෙදාදීමේ නිරත බවට පොදුජන පෙරමුණේ ලේකම්වරයා වන සාගර කාරියවසම් මහතා චෝදනාවක් එල්ල කර තිබුණි. ඔහු පෙන්වා දුන්නේ සිමෙන්ති කොට්ට, සෙවිලි තහඩු, කුකුළු පැටවු, පොල්පැල, එළවළු බීජ හා පාසල් පොත් ආදී විවිධ දෑ ජනතාව වෙත බෙදාදෙමින් අයුතු වාසියක් ලැබීමට රජය උත්සාහ දරමින් සිටින බව ය. හිටපු ජනාධිපතිවරයා ද පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවා එවැනි භාණ්ඩ බෙදාහැරීමේ සිදුවීම් රැසක් වාර්තා වන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඒ කිසිවක් නොපෙනෙන බවත් ය. 

එහෙත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පවසන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. එනම් කල්තබා බෙදාහැරීමට සූදානම් කර තිබූ රැකියා අයදුම්පත් රාශියක් පවා මැතිවරණය හේතුවෙන් නොබෙදා සිටින ලෙස අගමැතිවරයා දැනුම් දී ඇති බවය. 

කොමිසමේ දැඩි තීරණ

මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ අන් කිසිදා නොපැවති සුවිශේෂී පාරිසරික තත්ත්ව කිහිපයක් යටතේ ය. ඒ අතුරින් වැදගත්ම තත්ත්ව සාධකයක් ලෙස මැතිවරණ කොමිසම ස්වාධීන කොමිෂන් සභාවක් බවට පත්ව තිබීමේ වැදගත්කම අති මහත්ය. ඒ උඩ මැතිවරණය ක්‍රියාත්මක වීමේදී මින් පෙර නොතිබූ විරෑ බලයක් මැතිවරණ කොමිසමට ලැබී ඇත. නීති කඩන්නන් මට්ටු කරන්නට පෙර මැතිවරණ කොමිසමට දැන් ඉඩ ඇත. තරවටු කිරීමේ සිට කෝටු පහර ගැසීමට පවා ඔවුන්ට දැන් පුළුවන.

ඉකුත් 12 වැනිදා අමාත්‍යංශ ලේකම්වරු ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් රැසක් ආමන්ත්‍රණය කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය යැවූ ලිපියකින් මැතිවරණය අතරතුර භාණ්ඩ බෙදීම මුළුමනින්ම තහනම් කරමින් සහ දැනට බෙදාහැරීමට ගෙනැවිත් ඇති භාණ්ඩ ඇත්නම් ඒවායේ අත්‍යවශ්‍යතාව මත 2017 දෙසැම්බර් අවසානයට පෙර සිදුකිරීමට කටයුතු යොදන ලෙස රාජ්‍ය නිලධාරීන්ට දන්වා යවා තිබේ.

තීරණය ජනතාව අතේ

දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් සිතන්නේත් වැඩ කරන්නේත් තමන්ට වුවමනා හැටියට ඡන්ද ව්‍යාපාරය ගොඩදමාගෙන කෙසේ හෝ කතිරය තමා ඉදිරියේ ගසා ගන්නට ය. ඒ වෙනුවෙන් හට්ටි මුට්ටි වළං බිඳින්නට නොව කක්කුස්සියට වතුර අදින්නට වුවද ඔවුන් සූදානම් ය. මැතිවරණය ඔන්න මෙන්න තිබියදී ඔවුහු කැන්වසින් යනවා යැයි කියමින් ගමේ ගොඩේ ඇවිදිමින් වයසක ඇත්තන්ගේ ඔළුව අතගාමින්, පොඩි එවුන්ගේ නිකටින් අල්ලා සොලවමින්, තරැණයින්ගේ කරේ අත දමමින්, තරුණියන් හා කොළොප්පම් කරමින් කතිර එක්කාසු කරති. එසේ එන බහුතරයක් දෙනා තමන් ළඟට එන්නේ තමා ගැන ආදරයෙන් නොව කෙසේ හෝ ප්‍රාදේශීය සභාවට, නගර සභාවට ගොඩවී තමාගේ ගොඩයෑම පිණිස බව ද ජනතාව හොඳාකාරව ම දනී. එසේ දැන දැනත් හොඳින් ම තමන්ගේ ඔළුව අතගෑ අපේක්ෂකයාට, වටිනා ම භාණ්ඩය දුන් අපේක්ෂකයාට ඡන්ද පොළේදී මනාපය පළ කරති. එතැන් පටන් ඉදිරියේ ගෙවෙන අවුරුදු හතරක් තුළ සිදුවන්නේ කුමක්ද යන්න ගැන ඔවුන්ට වගේ වගක් නැත.

දේශපාලන විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇරිස්ටෝටල් ජනතාවට තම පාලකයා තෝරාගැනීමේ ලා දුන් එක් ප්‍රධාන උපදෙසක් තිබේ. ඒ හොඳම කෙනා නොව, වඩාත් හොඳ කෙනා තෝරාගන්න යන්නයි. පවතින දේශපාලන සංස්කෘතිය තුළ අපට මැතිවරණයකදී හොඳම කෙනෙකු මුණනොගැසෙනු ඇත. එහෙත් සිටිනා අය අතුරින් වඩා හොඳ කෙනෙකු, (මැතිවරණ නීති උල්ලංඝනය නොකරන, කතිරය වෙනුවෙන් ජනතාවට අල්ලස් නොදෙන) පත්කර ගත හැකි නම් එය මෙරට දේශපාලන සංස්කෘතිය සමහන් කිරීමට ද නිසැක ඔසුවක් වනු ඇත. 


♦ රජිත ජාගොඩ ආරච්චි