2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

චිකන්, පෝක් ටර්කි වගේ ලොබ්ස්ටර් - ක්‍රෑබ් පිරිවරාගත් 31 වැනිදා රෑ කෑම වේල

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

නත්තල් දා රාත්‍රී ආහාරයට වගේම 31 රාත්‍රියේ ආහාර වේලටත් හිමිවන්නේ ලොකු වැදගත්කමක්. විශේෂයෙන්ම හොඳට කන බොන දවසක් විදිහට තමයි 31 රාත්‍රිය ගොඩක් අය අතර ජනප්‍රිය.  ඉතින් සාමාන්‍යයෙන් හෝටල් මට්ටමින් වගේම සමහරවිට ගෙවල්වල පවා 31 රෑට පිළිගන්වන ආහාරපාන කිහිපයක් ගැන කතා කරන්නයි මේ සූදානම. 

31 රාත්‍රී ආහාරවේලෙදි බත් වර්ග, නූඩ්ල්ස් වර්ග වගේ සාමාන්‍ය ආහාරවලට වඩා මූලිකත්වය ගන්නේ මස් වර්ගයි. ගොඩක් වෙලාවට මස් වර්ග කිහිපයක්ම එදා රාත්‍රියේ කෑම මේසයට එනවා. හෝටලයක දී චිකන් වගේම පෝක්, ටර්කි, හැම් ආදිය වරදින්නේ නැහැ. 31 රාත්‍රිය හොඳින් සමරන ගෙදරකදී වුණත් චිකන්වලට අමතරව බේක් කරපු පෝක් වගේ වෙනත් මස් වර්ගයක් කෑම මේසයට එන එක සාමාන්‍ය දෙයක්. මේ මස් වර්ග සාමාන්‍ය විදිහට බේක් කරලා ගන්නවා වගේම තවත් සමහර වෙලාවට ස්ටේක් විදිහට පිළිගන්වනවා. ඒ වගේම ලොබ්ස්ටර්, ක්‍රැබ් වගේ ආහාරත් ජපන් ආරේ සුෂී වර්ගත් හෝටලයක දී දකින්න පුළුවන්.

සාමාන්‍යයෙන් හෝටලයකදී නම් ගොඩක් වෙලාවට ටාර්ලට් වර්ග රාශියක් 31 රාත්‍රී ආහාරවේලට එකතු කරනවා. එළවළු වර්ග වගේම විවිධ ක්‍රීම් වර්ග සහ චීස් යොදලා සකස් කරන මේ ටාර්ලට්ස් වර්ග කොක්ටේල් එක්ක ගොඩක් හොඳට ගැලපෙනවා.

31 රෑ සාදයේ දී ගොඩක් වෙලාවට වයින් කියන්නේ නැතුවම බැරි දෙයක්. සාමාන්‍යයෙන් කාන්තාවන් වුණත් බහුලව වයින් පානය කරන නිසා රෙඩ් වයින් බෝතලයක් සහ වයිට් වයින් බෝතලයක් රෑ ආහාර මේසය අංගසම්පූර්ණ කරන අයිතමයක් විදිහට හඳුන්වන්න පුළුවන්.